English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘අවස්ථාව ගිලිහී යාමට පෙර’ යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස රජයට බලපෑම්

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා අවුරුද්දක් ගතවීත් අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවා නැතිවීම  සම්බන්ධයෙන් බරපතල අවධානය යොමුකරන ජාත්‍යන්තර නීතිවේදී සංවිධානයක් යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා දුන් පොරොන්දු තවත් කල් නොයවා ඉටු කරන ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකර සිටී.

නීතිගත කොට ඇති OMP කාර්යාලය ක්‍රියාත්මක කිරීමේත්, යුද අපරාධ ඇතුළු ජාත්‍යන්තර පරිමානයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේත් ප්‍රමාදය, වත්මන් රජය බලයට පත් කිරීමට බහුතර ඡන්දයක් ලබා දුන් දෙමළ ජනතාවගේ විශ්වාසය ගිලිහී යාමට හේතුවනු ඇති බවට ජාත්‍යන්තර නීතිවේදී කොමිසම (ICJ) රජයට අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග 2015 ඔක්තෝබරයේදී ගිවිසගත් පරිදි ශ්‍රී ලංකාවේ රජය සංක්‍රාන්ති යුක්ති අධිකරණ යාන්ත්‍රණයක් සහ සත්‍ය කොමිසමක් පිහිටුවීමටත් වන්දි ලබාදීම සහ  පුනරාවර්තනය වැළැක්වීම ක්‍රියාමාර්ග ගැනීමට කොමිසමක් ස්ථාපිත කිරීමටත් බැඳී සිටී.

ජාත්‍යන්තර වශයෙන්ද දේශීය වශයෙන්ද දුන් පොරොන්දු “ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ සඳහා ලැබී ඇති මහඟු අවස්ථාව ගිලිහී යාමට පෙර” ඉටු කරන ලෙසට ICJ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් දැඩි ලෙස ඉල්ලීමක් කර තිබේ.

මනෝරි මුත්තෙට්ටුවේගම

ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගමගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය දීප ව්‍යාප්ත මත විමසීමකින් අනතුරුව ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමද මානව හිමිකම් උල්ලංඝනයට ලක්වූ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කිරීම සඳහා කළ යුත්තක් බව එම නිවේදනය අවධාරණය කරයි.

යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා විභාග කෙරෙන අධිකරණයක් සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් ඇතුලත් කරගත යුතු බවට ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම ගේ නායකත්වයෙන් යුත් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) මේ වසර මුලදී කරන ලද නිර්දේශය රජය විසින් පසුදාම ප්‍රතික්ෂේප කරන ලදී.

“සංක්‍රාන්ති යුක්ති න්‍යාය පත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබීම තවදුරටත් සිදුවීම වලක්වා පීඩාවට ලක් වූ ප්‍රජාවගේ අපේක්ෂා කඩ නොකර, ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණයක් සඳහා ලැබී ඇති මහඟු අවස්ථාව ගිලිහි යාමට පෙර සිය වගකීම ඉටු කිරීමට රජය දැන් දැන්ම ක්‍රියාත්මක විය යුතුයි,” යනුවෙන් ICJහි ආසියා ශාන්තිකර කලාපීය ප්‍රධානී ෆ්‍රෙඩ්රික් රෝව්ස්කි කියා සිටී.

යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට මෛත්‍රී රනිල් පාලනය පොරොන්දු අතරින් එකක් වන අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටුවීම පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද්දේ 2016 අගෝස්තු මසදීය.

OMP සහ ජනාධිපති

එහි කාර්යභාරයද වෙනම අමාත්‍යංශයක් වෙත භාර නොදී ජනපතිවරයා සන්තකයේ තබා ගැනීම ව්‍යවස්ථා විරෝධී බවට  ICJ විසින් හෙලා දැක ඇත.

අතුරුදහන් පුද්ගලයන් පිලිබඳ සොයා බැලීම සඳහා වන ස්ථාවර වරමක් සහිත OMP වැනි වැදගත් කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුල විධිවිධාන අනුගමනය නොකිරීම නිසා එහි අනාගතය අවිනිශ්චිත වනු ඇති බවට ICJ බිය පල කරයි.

කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා දීර්ඝ සහ අනවශ්‍ය ලෙස කල් ගැනීමත් තවදුරටත් පීඩිත ජනතාවට ඉවසා දරා ගත නොහැකි වනු  ඇති බවට ICJ අනතුරු අඟවා සිටී.

අතුරුදහන් සිය සමීපතමයන් ගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින්  ඥාතීන් විසින් මාස 6 ක කාලයක සිට අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන විරෝධතා වලින් පෙන්නුම් කෙරෙන්නේ රජය කෙරේ මහත් විශ්වාසය තැබූ දෙමළ ජනතාවගේ නොසන්සුන්තාව බව ජාත්‍යන්තර නීතිවේදී කොමිසම අවධාරණය කරයි.

“සිදු වී ඇති ප්‍රමාදය, රජයේ සංක්‍රාන්තික යුක්ති න්‍යාය පත්‍රය කෙරෙහි ජනතාවගේ සිතේ තිබු බලාපොරොත්තු සහ විශ්වාසය දැනටමත් කඩ කොට ඇති බව උතුරේ අඛණ්ඩ පැවැත්වෙන විරෝධතා මඟින් පෙන්නුම් කෙරේ,” යනුවෙන් ICJහි ආසියා ශාන්තිකර කලාපීය ප්‍රධානියා වැඩිදුරටත් පවසයි.

උපුටා ගැනීම - ගගන




2017-08-27
Advertisement

Find us on Facebook