English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් ජාතිබේද, ආගම්බේද ඇතිකරනවා නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාකරනවා

          

ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (19) මන්නාරමේදී පැවැසීය.

දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව යහපාලන රජයෙන් බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් බිහිවනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බව ද පැවැසීය.

අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් කවුරුන් හෝ තවත් අයට හිරිහැර කරනවා නම් ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාකරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත අහිමිවූයේ ශ්‍රී ලාංකිකයන්ගේ බව කිවයුතුයි. ඔවුන් විදේශිකයන් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන දෙපාර්ශ්වයෙන්ම ජීවිතයෙන් වන්දි ගෙව්වා. යුද්ධය නිසා අහිංසක ජනතාව මරුමුවට පත්වුණා. 1983 සිට ශ්‍රී ලාංකික ජනතාව යුද්ධය නිසා මියගියා. එලෙස මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිං පමුණුවමු. බොහෝ ජනතාව තමන්ගේ මියගිය ඥාතීන් පිළිබඳව කල්පනා කරනවා. අපත් ඔවුන් පිළිබඳව එක සිතුවිල්ලකින් කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් සංහිඳියාව ඇතිකර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා.

කොටි සංවිධානය මේ ප්‍රදේශය පාලනය කරන සමයේ මෙහි තරුණ තරුණියන්ට ඔවුන් යටතේ විවිධ දේ සිදුකරන්නට යොමුවුණා. ඒ අය කිසිවිටකත් කොන්කළ යුතු නැහැ. ඔවුන් ද සමාජයට ඇතුළත් කොට සංවර්ධනයට එකතුකරගත යුතුව තිබෙනවා.

පළමුවෙන්ම අප මෙහි සංවර්ධන කටයුතු ඇරඹිය යුතුයි. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.

උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙනවා. මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මානත්ය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ අප සාකච්ඡා කරමු. මේ සියලු දේ සාර්ථක වන්නේ සංහිඳියව සහ දේශපාලන විසඳුමක් ලබාදුනහොත් පමණයි.

එම දේශපාලන විසඳුම ලබාදීමට ශ්‍රී ලංකාවේ නායකයන්ට හැකියාව තිබෙන බව ලෝක නායකයන් පවා පිළිගෙන තිබෙනවා. යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ අප දැන් පියවර ගන්නවා.

සියලුදෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එම වැඩකටයුත්ත සිදුකළ යුතු බව මා හමුවූ සියලුම ලෝක නායකයන් මට පැවසුවා. ජපාන අගමැතිතුමා මට ඒ බව පැවසුවා. මෝදි අගමැතිතුමා මෙහි පැමිණ අප සමඟ කතා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟත් මා සමඟත් ඉන්දීය අගමැතිවරයා කතා කළා. ඉක්මනින්ම මේ අර්බුදය ගැන විසඳුමකට එන්නැයි දැනුම් දුන්නා.

ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය මේ පිළිබඳ යොමුවී ඇති බවත් ඒ ගැන මූලික සාකච්ඡා සිදුකෙරෙන බවත් ඊළඟ මාස දෙක ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මා ඉන්දීය අගමැතිවරයාට දැනුම් දුන්නා. අපට මේ ප්‍රශ්නය දිගින් දිගටම අදිමින් ඉදිරියට ගෙනයන්නට බැහැ. ලබන සුමානයේ සිට අප එම සාකච්ඡා ආරම්භ කරනවා. මූලික එකඟතා ගණනාවකට එළැඹිය හැකියි. ඉතිරි ප්‍රශ්න පිළිබඳව අපට සාකච්ඡා කළ හැකියි.

ජාතිවාදී හා ආගම්වාදී ස්ථාවරයේ සිට මේ ප්‍රශ්න විසදීමට හැකියාවක් නැහැ. රට බෙදනවා. වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. රට නැතිවෙනවා ආදී කතා කියමින් ප්‍රශ්න විසඳන්නටත් හැකියාවක් නැහැ. අප සියලුදෙනා එක්වී ඒ වැඩකටයුත්ත කළ යුතුයි. දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සාධාරණ බලය බෙදීමේ වැඩසටහනක් ද බලාපොරොත්තු වෙනවා.

ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් ජනතාවගේ අපේක්ෂාවයි. රටට ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය අනුව ක්‍රියාත්මක කරන බව මා මෙහිදී අවධාරණය කරනවා.

මෙරට බහුතර ජනතාවක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළේ මෙරට ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය නිසයි. මැතිවරණයේදී ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් දැන් ඒ විසඳුම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලෝකයත් එම විසඳුම බලාපොරොත්තු වෙනවා. කකුලෙන් අදිමින් එම විසඳුම පමාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාත්, මමත්, විපක්ෂ නායකතුමාත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂයේ සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමට අප සූදානම්.

දේශපාලන විසඳුම වෙනුවෙන් කැපවී ඊළඟ මාස කිහිපයේදී රටට හොඳ වාර්තාවක් ලබාදී හොඳ ව්‍යාවස්ථාවක් නිර්මාණය කර අනුමත කරගැනීම අපේ අරමුණයි. නව ව්‍යවස්ථාව පැමිණි විට සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ වෙනුවෙන් අප සියලුදෙනා බේද අතහැර කැපවෙමු. මෙහි ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතියක් පුදකරනවා.

 

උපුටා ගැනීම - (අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, ඕමන්ත ප්‍රියන්ත හේවගේ සහ වන්නි රොමේෂ් මධුසංඛ)




2017-05-22
Advertisement

Find us on Facebook