English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජිනීවා යෝජනා ඉදිරි දෙවසර තුල ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාව ඉල්ලයි
 

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව විසින් ගිවිස ගන්නා ලද පොරොන්දු නියමිත කාල සීමාව තුලදී ඉටු කරන ලෙස ඉන්දීය රජය අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයාගේ පස් දින ඉන්දීය නිල සංචාරයක් හමාරයේ  නිවේදනයක් නිකුත් කරන දිල්ලි පාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ප්‍රසාදය පල කොට තිබේ.

“සංහිඳියාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ නියමිත  අවුරුදු දෙකේ කාල සීමාව තුල සම්පූර්ණ කරනු ඇතැයි ඉන්දීය නායකත්වය තම අවංක විශ්වාසය පල කළේය,” යි දිල්ලි නුවරින් අප්‍රේල් 26 පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එට්කා ප්‍රමාදයි

අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඉන්දියාවේ සිදුකළ සංචාරයේ දී “ආර්ථික ව්‍යාපෘති වලදී සහයෝගිතාව” සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය, සුර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමල නගරය – වරාය හා ආර්ථික කලාප සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලූම් පර්යන්ත, කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන, ජල කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඉන්දීය සහයෝගීතාවය ලබා දීම සම්බන්ධව මේ ගිවිසුමෙන් මූලික අවධානය යොමු කොට ඇති බව ශ්‍රී ලංකා රජය පවසයි.

කෙසේ වෙතත්, මහත් ආන්දෝලනයට තුඩුදුන්  ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර අවසන් එකඟතාවකට එළැඹ නැත.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තවමත් කෙරෙන සාකච්ඡා ඉක්මනින් හමාරයකට පත් වනු ඇති බවට ඉන්දීය රජය විශ්වාසය පල කොට තිබේ.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉකුත් වසරේ මාධ්‍යවේදීන්ට කියා තිබුනේ එම අවුරුද්ද අවසන් වීමට පෙට එට්කා ගිවිසුම අත්සන් කරන බවයි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් මසුන් මැරීම නිසා දෙරට අතර මතුවී තිබෙන අර්බුදකාරී තත්වයද දෙරටේ නිල සාකච්ඡා වලට විෂය වී තිබේ.

ධීවර ගැටලුව

ඉන්දීය ධීවරයන් ගැඹුරු මුහුදේ මසුන් මරන්නට උනන්දු කරවීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කළ බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත ආණ්ඩු විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අනාවරණය කළ බවයි ශ්‍රී ලංකාවේ රජය පවසන්නේ.

“ඉදිරි වසර 3 ක කාලය තුළ ක්‍රමාණුකූලව ඒ සියළු ධීවරයින් ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තය සඳහා යොමු කෙරෙන අතර, මුල් කණ්ඩායම පුහුණු කිරීමේ කාර්යයන් දැන් ආරම්භ කර තිබේ. එසේම මතභේදයට තුඩු දී ඇති බොටම් ට්‍රෝලින් යාත්‍රා අලූතින් ලියාපදිංචිය දැන් ක්‍රමිකව අත්හිටුවමින් යන බව ද විදේශ ඇමතිනිය පෙන්වා දුන්නාය,” යි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.

ඉන්දීය සාගර කලාපයීය සාමය සහ නාවුක ගමනාගමන නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන සැලකිල්ල අගය කළ ඉන්දීය විදේශ ඇමතිනිය ඉන්දීය පදනම මගින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද පවසා තිබේ.

මෙම සමුළුවේ සම සභාපතිත්වය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග දරනු ඇත්තේ  ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් විසිනි.

උපුටා ගැනීම - ගගන




2017-05-18
Advertisement

Find us on Facebook