English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණ වෙනවා…

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණ වන බවත් ආණ්ඩුවේ තර්ජනයට එරෙහිව මහා ජන පවුරක් ගොඩනැගිය යුතුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යම කාරක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද රතු මැයි රැලිය මෑත කාලයේදී ජවිපෙ විසින් සංවිධානය කළ සාර්ථකම මැයි රැලිය ලෙස හැඳින්විය හැකියි. ජාත්‍යන්තර කම්කරු දිනයේ ඉතාමත් වැදගත්ම කාර්ය භාරයක් ඉටුකරන වැඩකරන ජනතාව වෙනුවෙන් විශාලතම පංගුවක් නියෝජනය කරන රාජ්‍ය, පෞද්ගලික, වතු වෘත්තීය සමිති ව්‍යාපාරයත් ගොවි ව්‍යාපාරයත්, ධීවර ව්‍යාපාරයත්, තරුණ ව්‍යාපාරයත් යන වැඩකරන ජනතාව නියෝජනය කරන විශාල පිරිසක් රතු මැයි රැලියට සහභාගි වුණා. ඒ වගේම ජවිපෙ රතු මැයි රැලිය ඉතාමත් සංවිධානාත්මක ඉතාමත් සටන්කාමී, විනය ගරුක මැයි දින රැලියක් බවට පත්කිරීමට අප සමත් වුණා. බීලා බජව් දමමින් පාරේ යන ජනතාවට හිරිහැර කරමින් පෙළපාලි ගිය විකාරරූපී මැයි දින වෙනුවට ඉතා විනය ගරුක සාර්ථක මැයි දිනයක් කරන්න අපි සමත් වුණා. අපි විශ්වාස කරනවා, මේ රට ගොඩනැගිය හැක්කේ එවැනි විනයගරුක සංවිධානාත්මක සටන්කාමී ව්‍යාපාරයකට පමණයි කියලා. දස දහස් ගණනක ජනතාවක් සංවිධානාත්මකව, විනය ගරුකව මෙහෙයවමින් ජවිපෙ සංවිධානාත්මක ව්‍යාපාරයක් බව තහවුරුකර තිබෙනවා.

මෙවර මැයි දිනය අරමුණු දෙකක් වෙනුවෙන් සංවිධානය කළා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව වැඩකරන ජනතාව පීඩාවර පත්කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් යන ගමනක් තිබෙනවා. විශ‍්‍රාම වැටුප් කප්පාදු කිරීමට උත්සාහ කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමට ඉඩ දුන්නා. ඒ විතරක් නොවෙයි අර්ථ සාධක අරමුදල්වලින් ලැබෙන ලාභය මත බදු අයකරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ ආකාරයට රාජ්‍ය පෞද්ගලික සේවකයන් පීඩාවට පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීමක් ලෙස මෙම මැයි රැලිය සංවිධානය කළා. ඒවගේම මේ වනවිට ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය කප්පාදු කොට තිබෙනවා. කන්න තුනක් නියඟයට මුහුණ දී ගොවි ජනතාව පීඩාවට පත්වෙලා තිබෙනවා. රැකියා විරහිත තරුණයන්ගේ, අධ්‍යාපන කප්පාදුවට එරෙහිවන තරුණයන්ගේ විරෝධතාවය පළ කිරීමට මේ මැයි රැලිය සංවිධානය කළා. ඒ වගේම එදිනෙදා ඉල්ලීම්වලින් ඔබ්බට ගිය වැඩකරන ජනතා බලයක්, වැඩකරන ජනතා පාලනයක් ගොඩනැගීමේ ඉලක්කයන් සහිතව මෙම මැයි දිනය සංවිධානය කළා.

මේ ආණ්ඩුව මැයි දින සැමරුමෙන් ජනතාව ලබාදුන් සංඥාව තේරුම් ගත යුතුව තිබෙනවා. මෙම සංඥාවෙන් ඇඟවෙන්නේ වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්තිය හා දේශපාලන න්‍යාය පත‍්‍රය ජනතාව අනුමත නොකරන බවයි. මේ ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම කුමක්ද? රනිල් වික‍්‍රමසිංහගේ මැයි දින වේදිකාවේදී පවා එළියට ආවේ අපේ රටේ ස්වභාවික සම්පත් විකිණීමේ අරමුණයි. වරාය, ඉඩම්, ඛනිජ සම්පත්, තෙල් සංස්ථාවේ ටැංකි, විදුලිබලාගාර, සහ අධිවේගී මාර්ග පවා විකිණීමේ සූදානමක් තිබෙනවා. මේ තත්වය තුළ අපේ මැයි දින සැමරුම ආණ්ඩුවේ මෙම විකිණීමේ න්‍යාය පත‍්‍රයට එරෙහි සටනක ආරම්භයක්. රනිල් ඇතුළු සහචර කණ්ඩායමට එරෙහිව සටන් ව්‍යාපාරයක් අපි දියත් කරනවා. මෙම පාලකයන් මුහුණ දෙන ආර්ථික අර්බුදයේ තීව‍්‍රතාවය මත ඔවුන් අනිවාර්යයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. මැයි දිනය ආසන්නයේ ඇමතිවරුන් සිදු කළ ප‍්‍රකාශයන්වලිනුත් ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ගවලිනුත් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළීමයි.

2015 ජනවාරි 08 වැනිදා රනිල්-මෛත්‍රී රට හමුවේ තැබූ ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවයි. මෛත්‍රීපාල සිරිසේනගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේදීත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදීත් පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කථාවේදීත් සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේදීත් සපථ කරමින් කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනයි. 19වෙනි ව්‍යාවස්ථා සංශෝධනය මගින් සිදු කළේ පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් ලබාගනිමින් විධායක ජනාධිපති ක‍්‍රමයේ සිදුකළ හැකි සංශෝධන පමණයි.  නමුත් ඔහුට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි. එමනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී අවතීර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ලෙස හෝ සංශෝධනයක් ලෙස හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නව ඡන්ද ක‍්‍රමයක් සකස් කිරීම සහ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථානුකූල රැකවරණයක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. ඒ නිසා අපි මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකොට තිබෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මොකද ඔහු ලබාදුන් එකඟතාවයට මේ වනවිට වසර දෙකක් ගතවී හමාරයි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයකට යෑම යන කඩඉම් තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් එකඟකර ගත හැකි සියලු පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කළ යුතුව තිබෙනවා.

ඒ වගේම මේ වනවිට ආණ්ඩුව මර්දනකාරී පිළිවෙතකට එළඹිලා තිබෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත අරගල කරන සිසුන් වෙත, ගොවි ජනතාව වෙත, මර්දනය එල්ල කර තිබෙනවා. මේ ආණ්ඩුව මැයි දිනයෙන් ලබාදුන් පාඩම් ඉගෙන ගන්නවාට වඩා අරගල කරන ජනතාව වෙත මර්දනයේ හස්තය දිගු කිරීමට පියවර ගනිමින් තිබෙනවා. මේ ආණ්ඩුවේ තර්ජනයට එරෙහිව මහා ජන පවුරක් ගොඩනැගිය යුතුව තිබෙනවා. එසේ නොවන්නට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල කුඩුපට්ටම් කිරීමට ආණ්ඩුව කටයුතු කටයුතු කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

“විමල් වීරවංශ වාචාලකමට කියන කතා අපි එතරම් සැලකිල්ලට ගන්නේ නැහැ. ඔහු එකවතාවක් ගූගල් වර්ජනයක් ගැන කතා කළා. මැරෙන තුරු උපවාස කරනවා කියලා දෙවතාවක් උපවාස කළා. එනිසා ඔහු එක එක වෙලාවට ඔළුවට එන අදහස් ප‍්‍රකාශ කරන විකෘති චරිතයක් බවට පත්වෙලා ඉවරයි. ඒ කෙසේ වෙතත් ඉන්දියාව පිළිබඳව අපිට ස්ථාවරයක් තිබෙනවා. ඉන්දියාවේ අධිපතිවාදී ව්‍යාප්තවාදී දේශපාලන ප‍්‍රතිපත්තිය ආක‍්‍රමණශීලී ඩැහැගැනීම ඉලක්ක කරගත් ආර්ථික ප‍්‍රතිපත්තියක් පිළිබඳව අපිට දේශපාලන පක්ෂයක් ලෙස ස්ථාවරයක් තිබෙනවා. ඒ නිසාම ඉන්දියාව සමග දේශපාලන, ආර්ථික, සම්න්ධතා අත්හැරිය යුතු නැහැ. ලෝකය වෙළඳපොළ මඟින් තාක්ෂණය, ගමනාගමනය මඟින් කිට්ටුවෙමින් තිබෙනවා. එනිසා කුමන හෝ රාජ්‍යයකට හුදකලාව ඉන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඉන්දියාවේ මෙම ආක‍්‍රමණශීලී, අධිපතිවාදී බලපෑම්වලට එරෙහිව අපි පක්ෂයක් ලෙස දිගටම සටන් කළා. නමුත් දැන් ඉන්දියාවට එරෙහිව සටන් කරන මේ අය ඔවුන්ගේ වසර 10ක පමණ කාලය තුළ මොකද කළේ?

කිලෝ මීටර් 265ක් වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු සමාගමකට දුන්නා. දුම්රිය දෙපාර්තමේන්තුව එක කිලෝ මීටරයක් සඳහා ඩොලර් ලක්ෂ 04ක් ඇස්තමේන්තු කර තිබියදී මහින්ද රාජපක්ෂ එක සාකච්ඡාවකින් පසුව ඉන්දියානු ඉර්කෝන් සමාගමට කිලෝ මීටරය ඩොලර් ලක්ෂ 22කට දුන්නා. අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 84කට ව්‍යාපෘතිය ඉර්කෝන් සමාගමට දුන්නා. මාතර – කොළඹ දකුණු දුම්රිය මාර්ගය අධිවේගී මාර්ගයක් කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියානු රයිට් සමාගමට ඩොලර් මිලියන 150කට දුන්නා. දොරේ අප්පා කී‍්‍රඩාංගණයේ අලුත්වැඩියාව, පලාලි ගුවන්තොටුපළේ අලුත්වැඩියාව ඉන්දියානු සමාගම්වලට දුන්නා. රාජපක්ෂ පාලන කාලයේ කල්පිටිය දූපත් 14න් 2ක් වික්කා. ඉන් එකක් දුන්නේ ඉන්දියානු සමාගමකටයි. නිලාවෙලි මනරම් මුහුදු තීරයේ අක්කර 04ක් හෝටලක් ඉදිකිරීම සඳහා ඉන්දියානු සමාගමකට දුන්නා. කොම්පඤ්ඤවීදියේ ඉඩමක් පදිංචිව සිටි ජනතාව පලවා හැරලා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියානු ටාටා සමාගමට දුන්නා. නාමල්ගේ ‘ක්‍රිෂ්’ මුදල් ගනුදෙනුව හා සම්බන්ධ කොටුවේ අක්කර 04ක ඉඩම දුන්නෙත් ඉන්දියානු ‘ක්‍රිෂ්’ සමාගමටයි. සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය ඉන්දියාවට දුන්නා. සාම්පූර් ආර්ථික කලාපයක් ලෙස නම් කර අක්කර එක්ලක්ෂ හැටහත්දහස් පන්සියයක් ඉන්දියාට දුන්නා. සාම්පූර් ජනතාව ඉඩම් නැතිව අනාථ කඳවුරුවල සිටියදී. රාජපක්ෂ ගැසට් එකක් නිකුත් කළා එම ආර්ථික කලාපයට ඇතුළු වෙන්න බැරි වෙන්න. මන්නාරම් ද්‍රෝණියේ තෙල් බිම් කොටස් හතකට කඩලා එක කොටසක් ඉන්දියාවේ ‘කායින්’ සමාගමට දුන්නා. බැසිල් රාජපක්ෂ පනතක් ගෙනල්ලා එම සමාගම සියලු බදුවලින් නිදහස් කළා. වීරවංශ මන්ත‍්‍රීවරයා නිවාස ඇමතිවරයාව සිටියදී මිහිඳුපුර නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශයේ ‘සී.ටී.සී.ඉන්ඩස්ට්‍රෙියෙල්’ සමාගමට කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා ලබාදුන්නා. හෝමාගම ‘මවුන් ක්ලිෆඩ්’ ව්‍යාපෘතිය ඉදිකිරීම් ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදුන්නේ ඉන්දියානු සමාගමකටයි.

දැන් හනුමා පාලම ගැන කතා කරනවා. 2011 ජනවාරි විමල් වීරවංශ නිවාස ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් තමයි ඔහු මෙම හනුමා පාලම යෝජනා කළේ. ආසියානු මහා මාර්ගය හා අන්තර් ආසියානු දුම්රිය මාර්ග ජාලය මගින් දකුණු ආසියාතික රටවල් සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම මඟින් ශ්‍රී ලංකාව දකුණු  ආසියාතික රටවල් හා ඉන්දියාව සමග පවතින වෙළඳ හා හුවමාරු පැහැදිලි ලෙසම වර්ධනය වන බව වීරවංශ එම වාර්තාවෙන් ඉදිරිපත් කොට තිබෙනවා. ඔහු ඒ වෙනුවෙන් ගැසට් නිවේදන කැබිනට් පත‍්‍ර ඉදිරිපත් කොට තිබෙනවා. එනිසා මොවුන් ඉන්දියාවේ වුවමනාවට කටයුතු කරපු සුරතලූන්. දේපළ විතරක් නොවෙයි ඔවුන් දරුවන් පවා ඉන්දියාවට දුන්නා. බැසිල් රාජපක්ෂගේ දරුවන් විවාහ වුණේ ඉන්දියානුවන් සමඟ. ඒ තරමට ඉන්දියාව සමග කටයුතු කරපු මොවුන් කළු කොඩි ඔසවන්න කීම තරම් දේශපාලන තක්කඩිකමක් තවත් නැහැ. ආණ්ඩුවේ ඉන්නතාක්කල් ඉන්දියාවේ වුවමනාවන් අනුව වැඩකරලා දැන් ජනතාවට කළු කොඩි ඔසවන්න කියනවා. මම අභියෝග කරනවා විමල් වීරවංශ වේදිකාවල කරන ප‍්‍රකාශ පුළුවන්නම් මහින්දට හෝ බැසිල්ට කරන්න කියලා. දේශපාලන තක්කඩීන් අද දේශප්‍රේමය තවරගෙන ප‍්‍රකාශ කරනවා. නමුත් අපි සාම්පූර් විදුලිබලාගාරයට එරෙහිව නඩු දැම්මා. උද්ඝෝෂණ දියත් කළා. දුම්රිය මාර්ග ‘ඉර්කෝන්’ සමාගමට දෙන්න එපා කියලා විරෝධය පළ කළා. තෙල් සම්පත ‘කායින්’ සමාගමට දෙන්න එපා කියලා රාජපක්ෂට ලියුම් ලිව්වා. ඒ කිසිවක් නොසලකා සියල්ල ඉන්දියාවට දුන්නා. ඉන්දියාව සමග සයනයේ සැතපිලා දැන් කළු කොඩි ඔසවන්න කතා කරනවා. ජනතාව කළු කොඩි ඔසවන තැනක් තිබෙනවා. එම ස්ථානයේ ජනතාව කළු කොඩි ඔසවයි කියලා අපි විශ්වාස කරනවා.

සයිටම් තක්කඩි හොර උපාධි කඩයට එරෙහිව කරන අරගලවලට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා.

සයිටම් තක්කඩි හොර උපාධි කඩයට එරෙහිව කරන අරගලවලට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. එම හොර උපාධි කඩය අනිවාර්යයෙන් අහෝසි කළ යුතුයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබෙන වෘත්තීය අරගලයට අපගේ වෘත්තීය සමිති සහාය ලබාදෙනවා. ක්‍රියා මාර්ග මොනවාද කියලා ඔවුන්ගේ සාකච්ඡාවලින් තීරණය කරාවි.

විධායක ජනාධිපති ධුරයට බලය ලැබෙන්නේ ඔහු වෙනම මැතිවරණයකින් පත්වීම තුළයි. එවිට ඔහුට ව්‍යවස්ථානුකූල බලයට වඩා ජනතා ඡන්දයෙන් ලැබෙන බලයක් තිබෙනවා. අපේ යෝජනාව තිබෙන්නේ අගමැතිවරයා තෝරා පත්කර ගත යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන් බවයි. එවිට අගමැතිවරයාගේ බලය පාර්ලිමේන්තුවට යටත්. විධායක ජනාධිපති ධුරයේ බලතල බෙදී යාමේදී ඉන් කොටසක් අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉන් පහළ ආයතනවලටත් ස්ථානගත විය හැකයි. අපගේ ස්ථාවරය වන්නේ විධායක ජනාධිපති බලතල මුළුමනින්ම අගමැතිවරයාට නොයා යුතුය යන්නයි. විධායක ජනාධිපති ධුරයේ බලය විසුරුවා හැරිය යුතුයි.

තෙල් වෘත්තීය සමිති තෙල් ටැංකි ඉන්දියානු සමාගමට පැවරීමට එරෙහිව සක්‍රීයව මැදිහත් වෙනවා. අපි මෙම තෙල් ටැංකි ඉන්දියාවට, චීනයට ලබාදෙනවාද යන්න මත නොවෙයි මීට විරෝධය පළ කරන්නේ. 1930 ගණන්වලදී ඉදිකළ මෙම තෙල් ටැංකි තෙල් සංස්ථාවට පවරා ඉන් රටට විශාල ආදායමක් ලබාගත හැකි යන ස්ථාවරයේ අපි ඉන්නවා. මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 102ක් පමණ තිබුණා. ඉන් දෙකක් යුද්ධයේදී විනාශ වුණා. එකක් දිරාපත් වුණා. ඉතිරි තෙල් ටැංකි 99ය 2003දී ඉන්දියානු අයි.ඕ.සී. සමාගමට ලබාදෙන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එහි තිබුණා මාස 06ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. නමුත් එම බදු ගිවිසුම අත්සන් කළේ නැහැ. ඒ නිසාම අවබෝධතා ගිවිසුම අහෝසි වුණා. ඉන් පසුව 2013 සිට තෙල් ටැංකි 16ක් අයි.ඕ.සී.ය භාවිතා කළා. වසර 13ක්ම ඉතිරි තෙල් ටැංකි භාවිතා නොකළ ඉන්දියානු අයි. ඕ.සී. සමාගමට දැන් ඒ තෙල් ටැංකි ගැන කැක්කුමක් ඇතිවුණේ මොකද? දැන් එම තෙල්  ටැංකි තෙල් සංස්ථාවට පවරා ගැනීමට යාම තමයි එකම හේතුව. මේ විතරක් නොවෙයි අයි.ඕ.සී.යට අයත් තෙල් ටැංකි සංස්ථාව කුලියට ගැනීම නිසා 2005 සිට 2009 දක්වා සංස්ථාව අයි.ඕ.සී. සමාගමට මිලියන 692ක් ගෙවා තිබෙනවා. නමුත් අයි.ඕ.සී. සමාගම එම කාලය ඇතුළත රජයට ගෙවා ඇත්තේ මිලියන 75ක් පමණයි. මෙම තෙල් ටැංකි පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක් තිබෙන හතර දෙනයි ලංකාවේ ඉන්නේ. ඉන් එක් පුද්ගලයෙක් සහිත කමිටුවකින් එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබාදී තිබෙනවා. ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුවයි. රාජිතට කියන්න පුළුවන් දතක් දිරාපත්වුණාම ඒක ගලවනවා ද? නැත්නම් පුරවනවාද? කියල. තෙල් ටැංකි ගැන රාජිත දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ පිළිබඳ ප‍්‍රවීණයන් විසින්.


උපුටා ගැනීම - http://www.lankatruth.com




2017-05-04
Advertisement

Find us on Facebook