English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍යය නිවෙසක් වේ, ව්‍යවස්ථාව වහලක් වේ: නාලක ගුණවර්ධන

ව්‍යවස්ථාව යනු රටක ඉහළම නීතිය හා උත්තරීතර නීතිය බව පෙන්වා දෙන විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන එය හරියට හදා ගැනීම රටේ නිසි රාජ්‍ය පාලනයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද ඉතා වැදගත් බව පවසයි.

රාජ්‍යය නිවෙසකටත් ව්‍යවස්ථාව යනු එහි පියැස්සටත්  ඔහු උපමා කරයි.

“නිවසේ කෙතරම් විසිතුරු හා වටිනා බඩු තිබුණත්, නිවැසියන් කෙතරම් අගනා ඇඳුම් ඇන්දත් හරි හමන් වහලයක් නැත්නම් සියල්ල නිරාවරණය වෙලා, ඒ කියන්නේ නිවැසියන් හා එහි සියල්ල අනතුරේ!” යි නාලක පවසයි.

“ශ්‍රී ලංකා රාජ්‍යයේ දැන් පවතින ‘වහලය’ කල් පැන ගිය එකක්. බොහෝ සිදුරු හා පළුදු සහිතයි. සමහර ජන කොටස්වලට හා සුළුතරයන්ට රැකවරණය හොඳටම මදි. සියලු ජනයා යම් යම් ලෙසින් අනාරක්ෂිතයි.”

අපි කුමක් කරමුද යනුවෙන් ප්‍රශ්න කරන ඔහු විමසා සිටින්නේ “පරණ වූ වහලය තැනින් තැන සිදුරු වසමින් සිටිමුද? වසින වෙලාවට ලීක් වන තැන්වල යටින් බාල්දි තබමින්, දුව පනිමින් කල් ගෙවමුද? නැත්නම් වහලයක් අලුතෙන්ම හදා ගනිමුද?” යන්නයි.

වහලයක් ගසන්නේ පරම්පරාවක් දෙකක් කල් පවතින ආකාරයෙන් බව පෙන්වා දෙන නාලක ගුණවර්ධන අවධාරණය කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්නේත් එලෙසම හොඳට කලක් වැඩ ගන්නට බවයි.

එක, දෙක සහ තුන

එසේ හදන විට පැරණි වැරදිම දැන දැන යළිත් කරන්නේ දැයි විමසන ඔහු පෙන්වා දෙන්නේ එය අප හමුවේ පවතින තීරණාත්මක අභියෝගය ලෙසයි.

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතා තුනක් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

එහි පළමුවැන්න ලෙස ඔහු සදහන් කරන්නේ “පරිනත රාජ්‍යයක නිසි ලෙස බල විභජනයක් හා බල තුලනයක් තිබිය යුතුයි. එනම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් අතර නිසි තුලනයක් අවශ්‍යයි. විධායකයට අධික ලෙස බලතල තිබීම මේ තුලනයට හානිකරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යයි මැතිවරණ පොරොන්දු දී බලයට පත් වූ මේ රජය එම පොරොන්දුව දැන් ඉටු කළ යුතුයි,” යන්නයි.

දෙවැන්න “රට තුළ බලය විමධ්‍යගත කිරීම තවමත් කැරෙන්නේ දෙගිඩියාවෙන්. අපට යා හැකි කුඩාම බිම් මට්ටමේ ඒකකය දක්වාම බලය ගෙන යාමට ව්‍යවස්ථාවෙන් මග පෙන්වීමක් ඕනෑ. එය උතුරට – දකුණට – බටහිරට හා නැගෙනහිරට එක සේ බලය බෙදා දීමයි”.

තෙවැන්න ලෙස ඔහු සඳහන් කරන්නේ “මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය අද බෙහෙවින් පුළුල් වෙලා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලුවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ අභියෝගත් අද මතු වෙලා තියෙනවා. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් අද නොතකා හරින්න බෑ. ඒ අයගේ අයිතිවාසිකම් රැක ගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා,” යන්නයි.

උපුටා ගැනීම - රේඩියෝ ගගන




2017-05-03
Advertisement

Find us on Facebook