English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මොනරාගල දිළිඳුකම 2010දී 14% යි. 2013 දී 28% යි.


උපුල් කුමරප්පෙරුම

හෙට අනිද්දා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත ඌව වෙල්ලස්ස බදුල්ල සහ මොනරාගල ලක්ෂ දොළහමාරකට අධික ජනගහනයකින් යුක්ත ප‍්‍රදේශයකි. දිස්ත‍්‍රික්ක දෙකෙහිම ප‍්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර මොනරාගල දිස්ත‍්‍රික්කය ලංකාවේ දුෂ්කර දිස්ත‍්‍රික්කයක් ලෙස වර්ගීකරණයට ලක් වී තිබේ. බදුල්ල දිස්ත‍්‍රික්කයේ ද සැලකිය යුතු බිම් ප‍්‍රමාණයක් දුෂ්කර යන නාමකරණයට අයත් වේ.

පළාත් සභාවක් සඳහා නීතියෙන් නියම කර ඇති අමාත්‍ය ධුර සංඛ්‍යාව හතරකි. ඒ ප‍්‍රධාන අමාත්‍යධුරයට අමතරවය. පසුගිය ඌව පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති ධුරයට අමතරව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පළාත් සභාවේ මුදල්, නීතිය සහ සාමය, අධ්‍යාපන, පළාත් පාලනය, සංස්කෘතික කටයුතු, ප‍්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග, ආර්ථික ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය සංවර්ධන සහ ඉදිකිරීම් යන විෂයයන් සම්බන්ධ අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය.

වෙනත් පළාත් සභාවක ප‍්‍රධාන අමාත්‍යවරයෙකුට වඩා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සතුව තිබූ විශේෂත්වය වූයේ ඔහු රාජපක්ෂ පවුලේ කිට්ටු සාමාජිකයකු වීමත් එම සාමාජිකත්වය නිසාම ඔහු වෙත ලැබී තිබූ පුළුල් බලයත්ය. මේ විදියට අවශ්‍ය බලය සහ ඉඩකඩ පැවතුණත්, සිය පස් අවුරුදු පාලන කාලය තුළ ඌව පළාතේ ජන ජීවිතයේ වෙනසක් කරන්නට ඔහුට හැකි වූයේද? ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක සංවර්ධනයක් ඇත්තෙන්ම ඌවට සිදුවුණි ද?

2012 ජනසංගණනයට අනුව බදුල්ල දිස්ත‍්‍රික්කයේ ජනගහනය අටලක්ෂ එකොළොස් දහස් අටසියයක් වන අතර, මොනරාගල දිස්ත‍්‍රික්කයේ හාරලක්ෂ හතලිස් අටදහස් එකසියයකි. මෙම දිස්ත‍්‍රික්ක දෙකෙහිම අති බහුතරයක් ජනතාව කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් තොරාගෙන ඇති බව එහි දත්ත අනුව පැහැදිලි වේ. දිස්ත‍්‍රික්ක දෙකෙන් මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් වැඩි භූමි ප‍්‍රමාණයක් රජය සතු වන අතර, එයිනුත් වැඩි ප‍්‍රමාණයක් වනාන්තර වශයෙන් පවතියි. ප‍්‍රදේශයෙහි ජනතාව ප‍්‍රධාන වශයෙන් වී වගාව සහ හේන් ගොවිතැන සිදුකරන අතර ඔවුන්ගේ ප‍්‍රධානතම ගැටලූවක් වී අත්තේ වගාකිරීම සඳහා තමන් සතු ඉඩම් නොතිබීමයි. මෙම ප‍්‍රදේශයෙහි වැඩි ප‍්‍රමාණයක් ගොවීන් වගා කරන්නේ රජය සතු ඉඩම්වල හෝ රජයේ රක්ෂිත හෙළිකිරීමෙන් වන අතර මෙම ප‍්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දී එම ගොවීන්ගේ ඉඩම් ප‍්‍රශ්නය විසඳීමට පසුගිය පළාත් ආණ්ඩුව කිසිදු ආකාරයකින් කටයුතු කර නොමැත.


මොනරාගල ගොවීන්ගේ ඉඩම් ප‍්‍රශ්නය මේ ආකාරයෙන් පවතිද්දී ආණ්ඩුව කරන්නේ කුමක්ද? එම ප‍්‍රදේශයේ ඉඩම් විවිධ සමාගම්වලට කෘෂිකාර්මික හා වෙනත් කටයුතු සඳහා දීර්ඝ කාලීනව බදු දීමයි. ඒ අනුව විවිධ සමාගම් මගින් බඩඉරිඟු හා කෙසෙල් වගාව වැනි දේවලට මේ ඉඩම් මහා පරිමාණයෙන් යොදාගන්නා බව පෙනෙයි. ප‍්‍රදේශයේ ඉඩම් හිමි හා අහිමි සාමාන්‍ය මිනිසුන්ට සිදුවී ඇත්තේ ඒ මහා පරිමාණ සමාගම්වල එදිනෙදා කුලියට වැඩ කරන ශ‍්‍රමිකයන් බවට පත්වීමටයි.

මෙසේ ඉඩම් සමාගම්වලට බදු දෙන්නේ ආණ්ඩුව විතරක් නොවේ. තම කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධනය සහ ඒ සඳහා නිසි ප‍්‍රතිපත්තියක් නොමැති වීම නිසා ප‍්‍රදේශයේ ජනතාව ද තමන් සතු ලොකු කුඩා ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දෙන හෝ විකුණන තත්ත්වයක් දකින්නට ලැබේ. එහෙත් ඒ ඉඩම් ගනුදෙනු සිද්ධවන්නේ ඉතාමත් අසාධාරණ කොන්දේසි යටතේ අසාධාරණ ලංසුවකටය. එපමණක් නොවේ. කනගාටුදායක කාරණය වන්නේ, තමන් විසින් බදු දුන් හෝ විකිණූ තමන්ගේ ඉඩමේ අන් කෙනකු කරන වගාවෙහිදී දෛනික කුලීකාරයකු ලෙස පෙර ඉඩම් හිමියා වැඩකරන්නට සිදුවීමයි.

මොනරාගල ප‍්‍රදේශයේ වර්ෂාව සැප්තැම්බර් සිට ජනවාරි දක්වා කාලයට සීමා වන අතර බොහෝ විට වර්ෂා ජලයෙන් පමණක් කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නෝ මෙම කාලයට පමණක් වගා කටයුතු සිදුකරති. ගොවීන් වසරේ ඉතිරි කාලයේදී වෙනත් රැුකියාවක් සොයාගෙන යන අතර අනවසර මැණික් පතල් කැණීම්, ජලය පවතින කුඹුරු හිමියන්ගේ ඉඩම්වල ශ‍්‍රමිකයන් සේ සේවය කිරීම්, වෙනත් කුලී වැඩකිරීම් මේ අතර ප‍්‍රමුඛ වේ.

මොනරාගල පිරිමි කම්කරුවෙකුගේ සාමාන්‍ය දෛනික වැටුප දහවල් කෑමවේල සමග රුපියල් අටසියයකි. ගැහැනු කම්කරුවකුගේ එය රුපියල් හත්සියයක් පමණ වෙයි. කම්කරුවෙකුට සාමාන්‍යයෙන් උපරිම දින තුනකට වඩා දෛනික වැටුපට හෝ රැුකියා අවස්ථාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරෙකිනි. අද ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් තුන් දහසක් බවට රජය ප‍්‍රකාශ කළද, දිනක ආදායම ඇමරිකානු ඩොලර් දෙකකට (රුපියල් දෙසිය හැත්තෑ පහක්) අඩුවෙන් උපයන්නන්ගේ ප‍්‍රමාණය මෙම ප‍්‍රදේශවල සැලකිය යුතු ප‍්‍රතිශතයක් ගනියි. රටක් වශයෙන් ගත් කල ඇමෙරිකානු ඩොලර් දෙකකට වඩා අඩුවෙන් ආදායම් උපයන ජන ප‍්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 42%ක් පමණ වේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2013 දී නිකුත් කළ සංඛ්‍යා දත්ත වාර්තා අනුව මොනරාගල දිස්ත‍්‍රික්කයේ දිළිඳු ජන ප‍්‍රතිශතය 28.8%ක් වෙයි. එ 2010 වසරේදී පැවතී ඇත්තේ 14.5%ක තරම් අඩු අගයකය. මින් පෙනෙන්නේ කුමක්ද? ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ජනාධිපති ඥාතියාගේ පළාත් ආණ්ඩුව මොනරාගල ගෙනගොස් ඇත්තේ හරියටම දෙගුණයකින් දිළිඳුකමේ දිසාවට බවය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් කරන ලද සමීක්ෂණවලින් ඌව පළාතෙහි අධ්‍යාපනය විෂයය ගැන මැවෙන්නේ පහත ආකාරයේ චිත‍්‍රයකි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ගුරුවරයෙකු හෝ දෙදෙනෙකු සිටින පාසල් ප‍්‍රතිශතයක් ලෙස 29.2%කි. එය ලූණුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි 25.7%කි. මොනරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි වැසිකිළි නොමැති පාසල් සංඛ්‍යාව 64.3%කි. රටෙහි සාක්ෂරතාව ජනතාවගෙන් 91% ක් ඉක්මවන නමුත්, මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාක්ෂරතාව 72.7% කි. කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි එය 75.8% ක් වන අතර, ලූණුගල දී 79%කි.

අපොස උසස්පෙළ ප‍්‍රතිඵල සැලකීමේදී 2012/13 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් නව නිර්දේශය මත ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, අණුක ජීව විද්‍යාව යන විෂයන් හැදෑරීම සඳහා අදාළ පීඨ වෙත තෝරාගැනීමේ අවම ලකුණු මට්ටම අඩුම දිස්ත‍්‍රික්ක පහ අතරටද මොනරාගල දිස්ත‍්‍රික්කය එකතු වී තිබේ. මොනරාගලට අමතරව් කිළිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත‍්‍රික්කත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයත් මෙකී ලකුණු අවම මට්ටමේ පවතියි. මෙයට අමතරව විශ්වවිද්‍යාලය සඳහා තෝරාගනු ලබන අනෙකුත් බොහෝ විෂය ධාරාවන්හි ද අවම ලකුණු ඇති දිස්ත‍්‍රික්ක පහ තුළ මොනරාගල දිස්ත‍්‍රික්කය අඛණ්ඩව ස්ථානගත වී ඇත. විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහ ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්ද කටයුතු කරන පරිසරයක ඌව පළාතේ අධ්‍යාපනය මෙතරම් පසුගාමී තත්ත්වයක තිබීමත්, ඔහු නියෝජනය කරන මොනරාගල දිස්ත‍්‍රික්කයේ අධ්‍යාපනය අනෙක් දිස්ත‍්‍රික්කවලට සාපේක්ෂව පසුගාමී තත්වයක පැවතීමත්ය.

යුනිසෙෆ් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2012 දී නිකුත් කළ වාර්තාවකට අනුව ඌව පළාතේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් වයසට සරිලන උස නොමැති වීම හෙවත් කුරු වීමෙහි ප‍්‍රතිශතය බදුල්ල දිස්ත‍්‍රික්කයේ 22.3%කි. මොනරාගල දිස්ත‍්‍රික්කයේ එය 14.2%ක ප‍්‍රතිශතයක එම තත්වය පවතින බව අනාවරණය වී ඇත. මෙම ප‍්‍රතිශත දෙකම ජාතික මට්ටමෙන් කුරු වීමේ අනුපාතය වන 13.2% ට වඩා ඉහළ අගයන් වේ. මොනරාගල ලේ හිඟකමින් පෙළෙන ප‍්‍රතිශතය (අනීමියා) ජනගහනයෙන් 27.5%ක් වන අතර බදුල්ල දිස්ත‍්‍රික්කයේ 15.9%ක් වේ. මෙයින් පැහැදිලි වන්නේ මෙම තත්ත්වය ඇතිවී තිබෙන එක් හේතුවක් වන්නේ නිසි පෝෂණය නොමැති වීම බවයි.

අද රටේ දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක් හඳුනාගෙන ඇති අතර එයින් හතරක් එනම් රිදීමාලියද්ද, මීගහකිවුල, කන්දෙකැටිය, ලූණුගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඌව පළාත තුළ පවතී. මේ අනුව බලද්දී පැහැදිලිව පෙනීයන කාරණය වී ඇත්තේ පෝෂණය නොලැබීම, පෝෂණ අධ්‍යාපනය නොලැබීම සහ දරිද්‍රතාව යන හේතූන් මත මෙම සෞඛ්‍ය ගැටලූ ඌව වසාගෙන පැතිර ඇති බවයි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ ජනගහනය ලක්ෂ අටකට මඳක් වැඩිය. එයින් 72%ක් සිංහල බෞද්ධයෝ වෙති. මොනරාගල දිස්ත‍්‍රික්කයේ ජනගහනය හාරලක්ෂ පනස් දහසකට ආසන්නය. එයින් බෞද්ධ ජනගහනයේ ප‍්‍රතිශතය 94.5% ක් වේ.

ඉහත සඳහන් කරන ලද සියලූ අඩුලූහුඬුකම් මකාගනිමින් මීට වසර පහකට පෙර අවසන් කළ යුද්ධය නැවත නැවතත් ජනතාව තුළ අලෙවි කරමින් සහ අවසන් කළායැ’යි කියන එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය නැවත ඇතිවන බවට ජනතාව ත‍්‍රස්ත කරමින් අවස්ථාවාදී දේශපේ‍්‍රමය සහ ජාතිවාදය නැවතත් මැතිවරණ වේදිකාව මත කථා කරන්නට මොනරාගල අඳුරට ගෙනගිය දේශපාලකයන් සැරසෙන්නේ නම් ඔවුන්ගේ වචන පිළිගන්නා ඔවුන් පසුපස යන්නවුන්ද ලජ්ජා විය යුතු නොවේද?

එදා රත්න ශ‍්‍රී විජේසිංහ දුටු වෙල්ලස්ස නම් පුණ්‍ය භූමියේ මනරම් මාලිගාව ඇත්තෙන්ම කොහිද? එය බහුජාතික සමාගමක් විසින් පමණක් විනාශ කොට ඇත්තේද? එසේත් නැත්නම් පවතින ආණ්ඩුව විසින්ම විනාශ කොට ඇත්තේද?

උපුටා ගැනීම - රාවය පුවත්පත 
-MMP



2014-08-23
Advertisement

Find us on Facebook