English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථා සංශෝධන විරෝධීන්ගෙන් ගාල්ලේ දී බාහුට තර්ජන

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව ප්‍රසිද්ධියේ ජනතාව දැනුවත් කිරීමකදී නව සමසමාජ පක්ෂයේ නායකයාට එරෙහිව පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරුනු දැඩි සිංහල මතධාරී පිරිසකගේ බාධා මැඩගෙන ජනහමුව පවත්වාගෙන යාමට සංවිධායකයන් සමත් වී තිබේ.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ බලවේග වල ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් කලහකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ කළත් එය වලක්වා ගෙන සම්මන්ත්‍රණය සැලසුම් කළ පරිදි අවසන් කළ බව සංවිධායකයෝ ගගන හා පැවසූහ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ දේශනය අවසන් වීමත් සමග නැගී සිටි සභාවේ කිහිපදෙනකු බලහත්කාරයෙන් අදහස් පල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ සභාව මෙහෙයවූ ගාලු පුරවැසි සංසදයේ සභාපති ලලිත් සේනානායක ඇතුළු සංවිධායකයන් දැනුම් දී ඇත්තේ අවසන් කථිකයා වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන නියෝජිත කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායකගේ දේශනයෙන් පසු ප්‍රශ්න විමසිය හැකි බවයි.

“දෙමළ මිනිහගේ ප්‍රශ්නේ”

සභාපති වරයාගේ ඉල්ලීම නොතකා “දෙමළ මිනිහට තියෙන ප්‍රශ්නේ මොකක්ද, ඩොලර් කාක්කෝ, කොටියෝ,” ආදී වෛරක්කාරී  භාෂාවෙන් මෙන්ම අසභ්‍ය වචනයෙන්ද බැන වැදුනු කලහකාරීන් කීපදෙනා ට සභාවේ බහුතරයේ අනුමැතිය පල වී නැත.

ගාල්ල ක්‍රීඩා මණ්ඩපයේ පැවති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ සංවාදය කඩාකප්පල් කිරීමට ඒ පිරිස කල්තියා සැලසුම් සහතව පැමිණ සිටි බව සංවිධායකයෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පාර්ශවයේ ක්‍රියාකාරී නීතිඥයන් තුන් දෙනකු කලහකාරීන්ට නායකත්වය ලබා දුන් අතර ඔවුන් බීමතින් සිටි බවයි ගාලු පුරවැසි සංසදයේ කමිටු සාමාජික කීර්ති ජයනාත් ගගන හා කියා සිටියේ.

සංවිධායකයන් විසින් ජන හමුව තාවකාලිකව අත් හිටුවා ඇති අතර පොලිස් නිලධාරියකුද මැදිහත් වීමෙන් අනතුරුව කඩාකප්පල්කාරී ලෙස හැසිරුනු පිරිසට සභාවෙන් පිටව යාමට සිදුවී ඇත.

ඉන් පසුව සම්මන්ත්‍රණයේ කටයුතු සැලසුම් කළ පරිදි සවස හය දක්වා පවත්වාගෙන ගොස් තිබේ.


උපුටා ගැනීම - ගගන



2017-03-30
Advertisement

Find us on Facebook