English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සුළු කොට නොදැකිය යුතු ජිනීවා ජයග්‍රහණය - නීතීඥ සුදර්ශන ගුණවර්ධන


                                                නීතීඥ සුදර්ශන ගුණවර්ධන

රටවල් 47ක සාමාජිකත්වයෙන් යුතු වූ මානව හිමිකම් කවුන්සිලය පිහිට වූ වකවානුවේ ඒ සඳහා ආසියාව තුළ මූලිකත්වය ගෙන ක්‍රියා කළ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකිය. ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයකුද විය. එලෙස මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක්ව හිඳිමින්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට තමන් විසින් ගනු ලබන පියවර පිළිබඳව අදහස් දක්වමින් සිටියේ ය.

2005 දී බලයට පත්වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද යුදමය වශයෙන් පියවර ගැනීමට ප්‍රථම මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කළේය. 2006 දී ශ්‍රී ලංකාව තුළ යුද්ධය නැවත ඇතී වීමට පෙර සිටම හමුදාව සහ එල්.ටි.ටි.ඊ ය යන දෙපාර්ශ්වයටම මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා එල්ලවී තිබුණි.

එසේ තිබියදී, යුද්ධය ආරම්භ වීමත් සමඟ දෙපාර්ශ්වයෙන්ම සිදු විය හැකි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා ගේ ක්ෂේත්‍ර කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙස යෝජනා විය. එවකට ශ්‍රී ලංකා ආණ්ඩුව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නමුත්, ඒ වෙනුවට දේශීය වශයෙන් පරීක්ෂණ කොමිසන් සභාවක් උදලාගම විනිශ්චයකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටු වන බව දැන්වීය. එහිදී වින්දිතයන්ගේ පාර්ශවයෙන් පරීක්ෂණවල ස්වාධීනතාවය පිළිබඳ සැකයක් මතු වන නිසා මෙය අධීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මණ්ඩලයක් පත්කිරීමට ආණ්ඩුව එකඟවිය.

ඒ මණ්ඩලය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළේද එම රටවල් විසින්ම වන අතර, ලංකා ආණ්ඩුව ද ඊට ඉඩ දුන්නේය. එය හැඳින්වූයේ ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයයන්ගේ කණ්ඩායම (IIGEP) ලෙසය. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සෑදීමට ක්‍රියා කළ යාන්ත්‍රණය මඟින් සාධාරණයක් ඉටු නොවේය යන හැඟීම (විශේෂයෙන්ම යුද්ධයේ පැවති වාර්ගික ස්වභාවය අනුව) වින්දිතයන් තුළ එදා සිටම පැවති බවයි. එනිසා 2007 දී බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගමගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කොමිසන් සභාව පිහිටු වූයේ ජාත්‍යන්තර අංගයක්ද සහිතවය.

මූන්-මහින්ද ප්‍රකාශය

යුද්ධය අවසාන වූ වහාම එක්සත් ජාතීන්ගේ එවකට මහ ලේකම්ව සිටි බැන් කී මූන් මහතාශ්‍රී ලංකාවට පැමිණියේය. අනතුරුව ඔහු යුද්ධයෙන් පසු තත්ත්වය විමසා බලා එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. එම ඒකාබද්ධ ප්‍රකාශය මගින් ලංකා ආණ්ඩුව යුද්ධයෙන් අවතැන්වූවන් කඩිනමින් පදිංචි කරන බවටත්, මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවත්, යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් හඳුන්වා දෙන බවටත් ප්‍රකාශ කළේය.

මෙලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළද රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා පියවර ගැනීමට අපොහොසත් විය. ඒ හේතුවෙන් ඉදිරියේදී තමා විසින් ගත යුතු පියවර පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මර්සුකි දරුස්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් වෘත්තිකයින්ගේ මණ්ඩලයක්(P.O.E) පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ක්‍රියා කළේය.

මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලංකා අණ්ඩුව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (L.L.R.C) පත් කළේය. මෙම කොමිසමේ වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයන් වන ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල් එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රාජපක්ෂ ආණ්ඩුවට දැනුම් දුන්නේය. එයද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 2012 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත්විය.

ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ 2012 යෝජනාව මගින් කියා සිටියේ ලංකා ආණ්ඩුව මඟින් ඉදිරිපත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (L.L.R.C) නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් උදවූ ලබාගන්නා ලෙසයි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ද රාජපක්ෂ ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් නොදැක් වීම හේතුවෙන් එක්සත් ජනපදය විසින් 2013 මාර්තු මාසයේදී නැවතත් යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඒ සම්බන්ධයෙනුත් සාධාරණ ප්‍රතිචාරයක් ශ්‍රී ලංකාව ආණ්ඩුව පැත්තෙන් නොලැබිණි. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී එම යෝජනාව සම්මත වූ අතර, ශ්‍රී ලංකාව ඊට විරුද්ධ විය. දෙවැනි යෝජනාව ද ඊටත් වඩා වැඩිඡන්ද සංඛ්‍යාවකින් සම්මත වූ නමුත් ශ්‍රී ලංකාව ඊටද විරුද්ධ විය. මේ අතර ලංකා ආණ්ඩුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කරනවා වෙනුවට අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර නින්දිත ක්‍රියාමාර්ගයකට ද එළිඹියේය.

විධායකයේ බලතල පාවිච්චි කරමින් අධිකරණයේ නිශ්චිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව අග්‍රවිනිශ්චයකාරවරිය සිය ධූරයෙන් පහකර තමන්ට හිතවත් අයකු අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත් කිරීමය. මේ සියලු කරණු හේතුවෙන් 2014 වන විට සාධාරණ පරීක්ෂණයක් පවත්වා බරපතළ මානව නීති කඩවීම හා වගවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම සිහිනයක් යන අදහස ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇති විය.

ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුය බවයි. ඒ අනුව 2014 මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ප්‍රකාරවශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණය(O.I.S.L) නමින් ජාත්‍යන්තර පරීක්ෂණ ආයතනයක් පත් කළේය. මේ යෝජනාවට ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව විරුද්ධ විය. එසේ වුවත් ඔවුන් මෙම පරීක්ෂණ දිගටම සිදුකළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය නොලැබුණු තැන පිටත සිට තම කටයුතු සිදු කළේය.

නොසැලකීමේ විපාක

2014 දී සිදුවූ මෙම ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානවවාදී නීති කඩවීම් හා වගවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට මෙන්ම එල් ටී ටී ඊ සංවිධානයටත් ඉතාම බරපතළ චෝදනා එල්ල වී තිබුණි. ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා වගවීම සහතික කිරීමට ආණ්ඩුව ඒ සඳහා කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බව, ආණ්ඩුව එවක ක්‍රියා කරමින් සිටි ආකාරය අනුව සක්සුදක් සේ පැහැදිලිවීය. මේ හේතුවෙන් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කිරීමට ඉඩහසර විවර විය.

එසේම මෙම යෝජනාව සම්මත වුවත් නැතත් ඉහත පෙන්වා දුන් ජාත්‍යන්තර යෝජනා නොසලකා හැරීම් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය සහ ඉන්දියාවේද සහයෝගය ඇතිව බලවත් රටවල් විසින් මේ සම්බන්ධයෙන් ඉතාම බරපතළ ලෙස ක්‍රියාත්මක වෙමින් සිටියේය. ඒ අනුව යුරෝපා සංගමයෙන් හා ඇමරිකාවෙන් සම්බාධක පැනවීමේ අවදානමක් ද නිර්මාණය වෙමින් තිබිණ.

කෙසේ වුවත් මෙරට ජනතාව ඉතා බුද්ධිමත්ව සිතා බලා හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකර නව ජනාධිපතිවරයෙක් බලයට ගෙන ආවේය. එසේ බලයට පත් වූ නව රජය, මුලින්ම සිදුකළේ දින සියයක කාලයකට තාවකාලිකව පිහිටුවාගත් ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වහාම නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යැවීමය.

මංගලගේ කරුණු කීම

එහිදී රජයේ නියෝජිතවරයා ලෙස මංගල සමරවීර ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නව ආණ්ඩුවක් බලයට පැමිණ ඇති බවත්, එනිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවා ගෙන කටයුතු කරන තෙක් අපට කාලය ලබා දෙන ලෙසයි. මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නකු ලෙස ජාත්‍යන්තර තුළ පිළිගැනීමට පාත්‍රවූ අයෙකි. එවැන්නකු පැමිණ මෙවැනි ප්‍රකාශයක් කළ විට එයට විශාල බරක් ලැබුණු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මේ පිළිබඳව සිය සාමාජික රටවලින් විමසා සිටියේය. එ අනුව ශ්‍රී ලංකාවට තව මාස හයක කාලයක් ලබාදීමට ඔවුන් තීරණය කළේය. සැප්තැම්බර් මාසය දක්වා එම වාර්තාව ප්‍රකාශයට පත්කිරීම කල් ගියේ මෙකී හේතුව නිසාය.

 දින සීයයක කාල සීමාවකට යටත්ව පිහිටුවාගක් තාවකාලික ආණ්ඩුව 19වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනතාවය ඇති කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා පාර්ලිමේන්තුවේ බලය වැඩි කළේය. මෙනිසා ජනාධිපතිවරයාගේ බලතල අඩු විය. ඉතාම සාධාරණ ඡන්දයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදීමය ආකාරයට බලයට පැමිණීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය.තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබාදුන්නේය. ඒ අනුව විවිධ ප්‍රජාතන්ත්‍රවාදීමය කරණු කාරණා රාශියක් ඉෂ්ටසිද්ධ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තවත් පුළුල් කිරීමට කටයුතු කළේය.

2014 දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිරිහුණු වාතාවරණයක් තුළ ජාත්‍යන්තරය විසින් සකස් කළ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව 2015 සැප්තැම්බරයේදී ඉදිරිපත් වන්නේ මෙවන් වාතාවරණයක් තුළ දී ය. එම වාර්තා සහ මහකොමසාරිස්වරයාගේ වාර්තාව පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් වූවිට වත්මන් ආණ්ඩුව ඉතාම විශ්වාසයකින් යුතුව එයට මුහුණ දීමට කටයුතු කළේය.

2015 මාර්තු වන විට මෙම වාර්තා කෙටුම්පත් කර අවසන් ව තිබූණ ද ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුව ඇති ප්‍රජාතන්ත්‍රවාදීමය වෙනස් කම් සම්බන්ධයෙන් එහි හැදීන්වීමේ යම් පිළිගැනීමක් කර තිබුණි. එහෙත් පසුගිය සමයේ පැවති අධිකරණමය තත්ත්වය, ස්වාධීන කොමිසන් සභාවල තත්ත්වය, රටේ සුළු ජාතීන් කෙරෙහි දැක්වූ මරදනකාරී පිළිවෙත, මාධ්‍යවේදීන් ඝාතනය කීරීම හා ඊට එරෙහිව පොලීසිය හෝ අධිකරණය පියවර නොගැනීම ආදී කාරණාමත ජාත්‍යන්තර මානව නීතිය ඉදිරියේ ඉතාම බරපතළ තත්ත්වයකට අප රට පත්ව සිටියේය.

අලුතින් ආ යෝජනාව

මේ නිසා යෝජනා වී ඇත්තේ එසේ සිදුවූවා යැයි කියන බරපතළ මානව හිමිකම් නීති උල්ලංඝණය වීම් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය සම්බන්ධ වෙමින් දෙමුහුන් අධිකරණයක් පිහිට විය යුතු බවයි. මීට නිර්භීතව මුහුණ දෙමින් ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ, මහ කොමසාරිස්වරයාගේ යෝජනාවට තමන් එකඟවන බවත්, මේ සඳහා පංගුකාරයන් ලෙස කටයුතු කරමින් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බවත්ය. ඒ අනුව ආණ්ඩුව මහ කොමසාරිස්වරයාගේ යොජනාවට හා ඊට ප්‍රථම ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ පරීක්ෂණය (O.I.S.L) පදනම් කරගෙන ඉදිරිපත් කළ යෝජනාවට දායක වීම සිදුවිය.

සමහරුන් චෝදනා නගන්නේ කුමන හේතුවක් මත ඊට දායක වූයේ ද කියාය. නමුත් මේ නිසා සිදුව ඇත්තේ දේශීය වශයෙන් මීට පිළිතුරු ලබාදීමට හැකි පසුබිමක් නිර්මාණය වෘමය. ඒ අනුව සියලු පාර්ශ්ව එකඟ වූයේ දේශීය වශයෙන් සත්‍ය, යුක්තිය, හානිපූර්ණය හා යළි සිදුවීම් වැලැක්වීම යන පදනම් මත කිසියම් ව්‍යූහයක් ගොඩනැගිය යුතු බවයි. අප එහි දී මහජන අදහස් විමසා ඒවා සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් මැදිහත්ව ක්‍රියා කරන බව දන්වා සිටි අතර, ඒ සඳහා පළ වූ එකඟත්වය හේතුවෙන් යෝජනාව සඳහාශ්‍රී ලංකාවට අවශ්‍ය කාරණාවක් ඇතුළත් කිරීමට හැකියාව ලැබුණි.

එනම්, “ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ ආණ්ඩුව විසින් යුද්ධය සඳහා හමුදා භටයින් යෙදවීම හා ඔවුන් ක්‍රියා කළ ආකාරය සාධාරණය. එහිදී ඔවුන් කිසියම් වරදක් සිදු කර ඇත්නම් එම වරද සොයා බැලීම කළ යුතුය “. මෙරට හමුදා නිලධාරියාගේ ගෞරවය හා අභිමානය රැකෙන පරිදි මෙම යෝජනාව සඳහා ශ්‍රී ලංකාව පැත්තෙන් සාධනීය කරුණු එකතු කිරීමක් සිදු කිරීමට ඉඩ ලැබීම ජාත්‍යන්තර වශයෙන් ලද ජයග්‍රහණයකි.

නමුත් අධිකරණයේ සිදුවූ ගැටලු හා යුදඅපරාධ වැනි දේ වලක්වාලීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය තුළ ප්‍රතිපාදන නොවීම හා මේ නිසාශ්‍රී ලංකාවේ අධිකරණයට, විනිශ්චයකාරවරුන්ට, අභිචෝකයින්ට, විත්තියේ නීතීඥයින්ට මේ කරුණු සම්බන්ධයෙන් අවබෝධය මද බැවින් මේ සඳහා ජාත්‍යන්තර සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවන්, අභිචෝකයින්, අපරාධ පරීක්ෂකයින් හා විත්තියේ නීතීඥයන් ගේ දායකත්වය ලබාගත යුතුය යන යෝජනාව ඉදිරිපත් විය.

මොවුන් නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනවාද නඩු ඇසීමට දායක වනවාද යන්න කොතැනකවත් සඳහන් වී නොමැත. මෙනිසා ඒ සම්බන්ධයෙන් අපට අවශ්‍ය ආකාරයට කටයුතු කළ හැකිය. එසේ සිදුවුවත් එය අලුත් තත්වයක් නොවේ. රාජපක්ෂ රජය සමයේ මුත්තූර්වල සිදු වූ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුව නිරීක්ෂණය කිරීම පිණිස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම විසින් ශ්‍රි ලංකා ආණ්ඩුවේ අවසර ඇතිව බ්‍රිතාන්‍යයේ මහා රැජිණගේ නීතීඥවරයකු සහභාගි කරවීය.

 

එසේම එම ආණ්ඩුව විසින් අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසමට ද එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමක් සම්බන්ධ කර තිබුණි. මෙය දේශීය වශයෙන් පවතින කුසලතාවය, පලපුරුද්ද හා දක්ෂතාවය මත ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මත මතුව ඇති තත්වයකි.

විරුද්ධ මත පරාජය වීම

මේ කරුණු සලකා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි කියන කාරණයේදී ශ්‍රී ලංකාව එකඟත්වය ප්‍රකාශ කර ඇත. මෙහිදී ස්ථාවරයන් දෙකක් ඇති වී තිබුණු අතර, මෙරට සිටින උතුරු නැගෙනහිර සිවිල් සංවිධානවල හා රටින් පිට සිටින සමහර පිරිස් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රගතියක් පෙන්නුම් කර නැති බවයි.

ඒ නිසා මෙවැනි ඉඩක් ලබාදීම සාධාරණ නොවන බවයි. ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන එන්නේ නැතිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (I.C.C) යොමු කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා ඉදිරිපත් විය. නමුත් බහුතර පිරිසක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. හැබැයි ඒවා ප්‍රමාණවත් නැහැ, අවශ්‍ය වේගය නැහැ, ඒ වෙනුවෙන් පෙනී ඉදීමින් ජයග්‍රහණය කරන්න පුලුවන් පිරිසක් ඔවුන්ට නැහැ එවන් තත්වයක් යටතේ වුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කිසියම් ආකාරයකට සාධනීය මැදිහත් වීමක් කර තිබෙනවා.

මින්සුන්ට නිදහසේ ක්‍රියා කිරීමේ අවස්ථාව, සාමකාමීව රැස්වීමට, කැමති මතයක් දැරීමට... ආදී වශයෙන් ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති නිසා තවත් අවස්ථාවක් ඔවුන්ට ලබාදිය යුතු බවයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් බොහෝ රටවල එකඟතාවය හිමි වුවත් රට තුළ සිටින සහ රටින් පිටත ක්‍රියාත්මක වන වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින සමහර සංවිධාන මීට විරුද්ධ විය.

එහෙත් ඔවුන්ගේ ඒ විරෝධතාවය නොතකා ශ්‍රී ලංකා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය සැලකිල්ලට ගනිමින් තවත් වසර දෙකක කාලයක් මේ වෙනුවෙන් කටයුතු කිරීමට ලංකා ආණ්ඩුවට අවස්ථාව හිමි විය.


උපුටා ගැනීම - http://www.dinamina.lk




2017-03-27
Advertisement

Find us on Facebook