English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඡන්දයේ තීන්දුව නොතැකීමෙන් උණ්ඩය පැමිණීමේ අවදානමක්: සම්බන්ධන්

ජනතාව විසින් මැතිවරණයේදී දෙනු ලබන වරම අනුව ආණ්ඩුව කටයුතු නොකිරීමෙන් සන්නද්ධ ක්‍රියාකාරිත්වය ඉස්මතු වීමේ අවදානම ගැන ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයා ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සමුළුවකදී අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාව නිදහස ලබා දශක තුනක් ගතවීත් දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි දේශපාලන වෙනස නොලැබීම නිසා තරුණයන් ආයුධ සන්නද්ධ වූ බව දෙමළ ජාතික සන්ධාන නායකයා පෙන්වා දුන්නේ දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කල් ගැනීම ගැන උතුරු  නැගෙනහිර යුද පීඩිතයන් අතර නොසන්සුන්තාව ඇවිලෙමින් තිබෙන අවස්ථාවකය.

“මෙය ඡන්දයේ අසාර්ථකත්වය විසින් ඇති කරනු ලබන හිඩැස පිරවීමට උණ්ඩය පැමිණීම පිළිබඳ විශිෂ්ඨ උදාහරණයකි,” යි විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියා සිටියේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගිය 14 වැනිදා ආරම්භ වූ තුන්වැනි ත්‍රස්තවාදය වැළක්වීමේ සමුළුවට එක්වෙමිනි.

“මෙය ඡන්දයේ තීන්දුවට ගරු කිරීමේත්, එය පිලිගැනීමේත් වැදගත්කම අවධාරණය කරයි. උණ්ඩයේ අවශ්‍යතාව නැති කර දැමීමේ නොවරදින මාර්ගය එම ගරුත්වය හා පිළිගැනීමයි.”

පාලන රටාවේ වෙනසක්

රාජ්‍ය පාලන රටාවේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමට 1956 සිට මේ තාක් පැවති සියලුම මහ මැතිවරණ සහ කුඩා මැතිවරණ වලදී දෙමළ ජනතාව දුන් ඡන්දය නොතකා හැරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය කෙරේ විශ්වාසය නැතිවීමට මග පෑදු බව විපක්ෂ නායකයා කලාපීය නායකයන් අමතා අවධාරණය කර තිබේ.

සත්‍යය හා යුක්තිය වෙනුවට දේශපාලන බලය ලබාගැනීමේ හා රැකගැනීම සඳහා බහුජාතියට අධිකාරී බලයක් හිමිකර දෙන සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ දිගටම පැවතීම අවාසනාවන්ත දෙයක් ලෙස ඔහු විසින් හඳුන්වන ලදී.

එමනිසා “ඡන්දයට ඉඩදී උණ්ඩය සදහටම දුරු කරලීමට ලැබී ඇති මේ අවස්ථාව” මගහැර නොයන ලෙස  විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේය.

ඉන්දියානු පදනම විසින් සංවිධානය කර තිබූ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කරමින් සහභාගී වී සිටියේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකයි.

උපුටා ගැනීම - රේඩියෝ ගගන




2017-03-22
Advertisement

Find us on Facebook