English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපි කිසිසේත් අසතුටුදායක තත්ත්වයක නෑ.


ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ කථිකාචාර්ය දඹර අමිල හිමියන් සමඟ දිනමිණ පුවත් පත කළ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද්දකි.

* යහපාලන ආණ්ඩුවට වසරක් ගෙවිලා. ආණ්ඩුවේ ගමන්මඟ දෙස බලන විට මෙතෙක් ළඟාකරගෙන ඇති ප්‍රගතිය ගැන ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

 

අපි කිසිසේත් අසතුටුදායක තත්ත්වයක නෑ. අපට තව ළඟාකරගත යුතු දේවල් ගොඩක් තියෙනවා. කාටවත් කලකිරෙන්න දෙයක් නෑ. තිබුණු ආණ්ඩුවට වඩා සියයට දාහක් මේ ආණ්ඩුව රටට යහපත්. අපට අලුත් ව්‍යවස්ථාවකට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රටේ ආයතන ප්‍රජාතන්ත්‍රීකරණය වෙලා තියෙනවා. ණය බරක් තිබුණු රටක් ලෙස ආර්ථිකමය වශයෙන් අපට අභියෝගයන් තියෙනවා.

 

ජනතාවට යම් තරමක පීඩනයක් දැනෙන බව අපි දන්නවා. නමුත් මේ ආණ්ඩුව පටන් ගත්තේ ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල අඩු කරලා ‍රජයේ සේවකයන්ගේ වැටුප් දහදාහකින් වැඩි කරලා. මේ කාරණා දිහා බැලුවම ජනතාවට යම් සහන ප්‍රමාණයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාව තුළ තිබුණු රාජ්‍ය ත්‍රස්තවාදයේ බිය තුරන්වෙලා තියෙනවා. මනුෂ්‍යත්වය අගයන සමාජයක්, සහජීවනයෙන් පිරි සමාජයක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා.

 

*ඔබවහන්සේ ඔහොම ප්‍රකාශ කළාට කොළඹ නගරයේ සෑම දිනකම රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පැවත්වීම සිදුවෙනවා. මේවායින් කියාපාන්නේ රටේ ජනතාව රජයේ වැඩපිළි‍වෙළ කෙරෙහි තෘප්තිමත් නෑ කියන එක නේද?

 

මේ උද්ඝෝෂණ අතර දෙයාකාරයක පිරිසක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම ප්‍රශ්න තියෙන උදවිය තමන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලා බය නැතිව දැන් පාරට බහිනවා. ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ. මොකද පසුගිය වසර දහය තුළම විසඳුවේ නැති ප්‍රශ්න ගොන්නක් රටේ ඉතිරිවෙලා තියෙනවා. ඒ ප්‍රශ්න ගැන කෙලින් කතා කරන්න බයේ පීඩාවට පත්වුණු පිරිස දැන් නොබියව පෙරට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒවා සාධාරණ උද්ඝෝෂණ. මේවා විසඳන්න රජය මැදිහත් වෙන්න ඕනෑ.

 

හැබැයි තව පිරිසක් ඉන්නවා අවුරුදු දහයක් බලයේ ඉඳලා තවම පරාදවෙලා නෑ කියලා හිතාගෙන. විපක්ෂයේ ඉඳලා පුරුදු නැති, තමන්ගේ සාක්කුවේ සල්ලිවලින් කෑම කාලා පුරුදු නැති පිරිසක් තමන්ගේ අනුගාමිකයන්ව පාරට බස්සනවා. එහෙම පාරට බැස්සා කියලා ලබාගත් ප්‍රතිඵලයක් නෑ. ඔවුන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තරයට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවරයි කියන පණිවුඩය දෙන්නයි. අපේ රටට එන ආයෝජකයන් වළක්වන්නයි. සැබෑ ලෙසින්ම මේවා ජාතිද්‍රෝහී ක්‍රියා. මෙවැනි ව්‍යාජ උද්ඝෝෂණ වළක්වන්න පියවර ගැනීම රටේ අනාගතය වෙනුවෙන් කළ යුතුයි.

* ඒකීය රටක බලය බෙදීම තුළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගේන්න හැකියි කියලා ඔබවහන්සේ විශ්වාස කරනවාද?

 

ඔබ ඔය අහන්න හදන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා මම විරුද්ධ වුණේ ඇයි කියන කාරණයයි. ඒකට උත්තරයක් දීලා ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැහැල්ලා පළාත් සභාව හඳුන්වා දෙනකොට රටේ කොටසක් එල්. ටී. ටී. ඊ. අවිගත් කොටි කණ්ඩායම් පාලනය කළා. ඒ මොහොතේ තිබුණු තත්ත්වය මතයි අපි එදා 13 වැනි සංශෝධනයට විරුද්ධ වුණේ. රට බෙදන්නට පිරිසක් ආයුධ අතට අරගෙන ඉන්න මොහොතක බලය බෙදීමක් නොකළ යුතුයි කියන එකයි අපි කිව්වේ.

 

එදා අපි පාරට බැහැලා උද්ඝෝෂණය කළේ ඒකයි. නමුත් අද තත්ත්වය ඊට වෙනස්. අද මුළු රටම ලංකා ආණ්ඩුව පාලනය කරනවා. අද උතුර නියෝජනය කරන ප්‍රධාන පක්ෂයේ නායකයා රටේ විපක්ෂ නායකයා. අද සම්බන්ධන් මහත්තයා කතා කරන්නේ ඒකීය රටක් තුළ බලය බෙදීමක් ගැනයි. අද රටේ බෙදුම්වාදය අහෝසි වෙලා. දැන් අපි නැවත බෙදුම්වාදයකට නොයන පරිදි බලය බෙදීම කළ යුතුයි.

* බෞද්ධ ආගම රාජ්‍ය ආගම විය යුතුයි යැයි කියන මතය ගැන ඔබවහන්සේගේ අදහස කිව්වොත්?

 

බෞද්ධ ආගම රාජ්‍ය ආගම විය යුතුයි. තිබුණු සම්ප්‍රදාය වෙනස් නොවිය යුතුයි කියලා කතෝලික ආගමේ කාදිනල්තුමා පවා කිව්වා.

 

මේ ගැන මගේ මත දෙකක් තියෙනවා. මේ රටේ බෞද්ධ සංස්කෘතිය නොවෙනස්ව තිබිය යුතුයි. බෞද්ධ සංස්කෘතිය තුළ ගොඩනැඟුණු රටක් තුළ අන්‍ය ආගමිකයන්ට තමන්ගේ ආගමික විශ්වාස අනුව කටයුතු කරන නිදහස තියෙනවා. සහජීවනය තුළ සියලු ජාතීන්ට ජීවත්විය හැකියි. බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රමුඛත්වය දීම තුළින් රටේ සියලුදෙනාටම යහපතක් සිදුවෙනවා. සියලු දෙනාටම රැකවරණය ලැබෙනවා. ඒ අනුව තමයි කාදිනල්තුමත් බුදුදහම රාජ්‍ය ආගම විය යුතුයි කිව්වේ කියලා මම විශ්වාස කරනවා.

 

 

උපුටා ගැනීම - දිනමිණ

2017 මාර්තු 20




2017-03-20
Advertisement

Find us on Facebook