English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාව නො ගෙනාවොත් ආණ්ඩුවේ සංහිඳියාව අනතුරේ – එස්.එම්. මරික්කාර්

” සංහිඳියාව ඇතිව මේ ආණ්ඩුව ගෙනිච්චට, ආණ්ඩුවේ ඉන්න පක්ෂවලට විවිධ ඉලක්ක තියෙනවා. මම කියන්නෙ ඇත්ත. උදාහරණයක් ගත්තොත්, මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනට තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කිසිදු උවමනාවක් නෑ. ඒ ගොල්ලන්ට  තියෙන ලොකුම උවමනාව තමයි කොහොමද යූ ඇන් පී යට ෂොට් එකක් දෙන්නෙ කියලා හොයන එක.”  යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී  එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

එස්.එම්. මරික්කාර් මහතා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ, එක්සත් ජාතික පක්ෂයේ පැරිස් සංවිධානය විසින් පසුගියදා පැරීසියේදී පැවැත්වු වාර්ෂික සුහද හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම සුහද හමුවට වත්මන් යහපාලන රජයට සම්බන්ධ දේශපාලන පක්ෂවලට අනුබද්ධ පැරීසියේ ක්‍රියාත්මක සංවිධානවල නියෝජිතයන්  මෙන්ම විවිධ සමාජ සංවිධානවල නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

එ. ජා. ප. පැරිස් සංවිධානයේ සභාපති නාලක දේවේන්ද්‍රන් මහතා මුලසුන හෙබවූ මෙම උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූ එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා තව දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් වත්මන් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ලොකු උවමනාවක් තියෙනවා. නමුත් සංහිඳියා ආණ්ඩුවට පස්සේ එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර උදවියට  වත්මන් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කිසිම උවමනාවක් නෑ.

මේ අයට ඕනෙ 20 වැනි සංශෝධනය සම්මත කර ගන්න විතරයි. ඒකට විතරක් එකඟ වෙලා අපි ඒකට බෙල්ල දෙන්න යන්න ඕනෙ නෑ.  මොකද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට එහා ගිය රටේ අනාගත දියුණුව වෙනුවෙන්  පුලුල් ලෙස ඉටු කර ගත යුතු කාරණා ගණනාවක් තියෙනවා. ඒවායින් ප්‍රධාන දේ තමයි නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ  “මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ” කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත්, 2017 ජනවාරි 17 එළිදක්වපු එ.ජා.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් පැහැදිලිව තියෙන්නේ ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් සිදු කරනවා කියන එකයි.  මේකට තමයි ජනතාව වරම දුන්නේ. ඒ නිසා මේ පොරොන්දුව එ.ජා.ප. යටත් ජනාධිපතිවරයටත් වෙනස් කරන්න බෑ.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උවමනාව මේ නායකයෝ දෙන්නටම තියෙනවා. නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට ඒක නෑ.කොහොම වුණත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුත්ත සිදු නොකරනවා නම්  ආණ්ඩුව තුළ තියෙන මේ සංහිඳියාව දිගටම පවත්වාගෙන යන්න නම් බැරිවෙන එක ස්ථීරයි. ”

එ. ජා.ප. යේ පැරිස් සංවිධානය විසින් පැවැත්වූ මෙම සුහද හමුවේ දී එ.ජා.ප. යේ විදේශගත ශාඛා ඇතිවීමේ ආරම්භය පිළිබඳව, පැරීසියේ එ.ජා.ප. පුරෝගාමියෙකු වූ රණවි බණ්ඩාර මහතා සිය අතීත අත්දැකීම් ලියකියවිලි සහිතව සභාවට පැහැදිළි කළ අතර, එ. ජා.ප. පැරිස් සංවිධානය වෙනුවෙන් කැපවී සේවය කළ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇගයීමකට ලක් කරමින් , එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අතින් ඔවුනට සහතිකපත් ප්‍රධානයක් ද සිදු කැරිණ.

උපුටා ගැනීම - ලංකා ස්කයි

17265076_1312428325483336_1813616244389745664_n

17190967_1071886079624405_8227260623703569556_n       17309067_1071886106291069_9013802168602002326_n




2017-03-16
Advertisement

Find us on Facebook