English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලුත් ව්‍යවස්ථාවකට හොඳම වෙලාව මෙයයි - දඹර අමිල හිමි
කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ.  සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ පැවසූහ.

 දඹර අමිල හිමියන් ඒ බව පැවසුවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා වන ජාතික ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වූ මහජන හමුවක් අමතමිනි. 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, ඇමැතිවරුන් වන සරත් ෆොන්සේකා, මංගල සමරවීර සහ මහින්ද අමරවීර මහත්වරුද එම අවස්ථාවට සහභාගී වූහ.

‘දැන් ආගමික සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ජාතින් අතර සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ඇඳුම් පැළැඳුම් විවිධත්වය හොඳ බව නිතර කියනවා. ඒ වගේම තමයි ජාතීන් අතර විවිධත්වයත් ඉතා හොඳයි“ 

‘‘දෙමළ ජනතාව දැන් වෙනම රටක් ඉල්ලන්නෙත් නෑ. මුස්ලිම් ජනතාව ඉල්ලන්නෙත් නෑ. විදෙස් රටවල් අපට දැන් වෙට්ටු දාන්නෙත් නෑ. මේ කාලය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න හොඳම කාලේ“ යැයි ද දඹර අමිල හිමියෝ කීහ.

නීතීඥ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා -

‘අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ අනාගතයක් නැති දේශපාලනඥයන්. හිටපු ජනාධිපතිටත් දේශපාලන අනාගතයක් නෑ. ඒ නිසා තමයි ඔහුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අපොදු අපේක්ෂකයා වීමට පෙර අපි සමඟ කටයුතු කළේ නෑ. අපි සමග කිසිම විරෝධතාවයකට ආවේ නෑ. නමුත්  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එන්න කොන්දක් තිබුණු නිසා අපි ඔහුට ගරු කරනවා. අපි ජනාධිපතිවරයාට කියන්නේ පොරොන්දු ඉෂ්ඨ කරන්න කියලයි. දෙමළ ජනතාවටත් පිළිගත හැකි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.‘

 කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය -

‘1994 වසරේ මහ මැතිවරණය අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව. (එහි වගන්ති කිහිපයක් කියවයි) ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්න බැහැ අලුත් ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ කියලා. එදා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් චන්ද්‍රිකා මහත්මිය ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපය ඊට විරුද්ධ වුණා. උත්ප්‍රාසය වන්නේ එදා විරුද්ධ වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්න පෙරමුණ ගැනීමයි. එය දෛවයේ සරදමක් ලෙස අපි කියන්නේ නෑ. එදා ශ්‍රීලනිපයට නොලැබුණු සහයෝගය අද ලැබී තිබෙනවා. මේ අවස්ථාව මග හැරියොත් අපට අනාගතයක් නෑ. ‘

බෝහෝ අවස්ථාවල ජාතික ව්‍යාපාර නම භාවිත කරන්නේ ජාති බේද ඇති කරන වැඩ වලට බව නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කීවේය. 1978 විධායක ජනාධිපතික්‍රමය ඇති කිරීමෙන් පසු මහජන ඡන්දයකින් ගෙදර යැවූ එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ගුණවර්ධන මහතා පැවසීය.

නීතීඥ ජේ සී වැලිඅමුණ, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, උදේනි දිසානායක සහ සමන් රත්නප්‍රිය මහත්වරු ද අදහස් දැක්වූහ.

උපුටා ගැනීම - ලංකාදීප


(තරිඳු ජයවර්ධන/ ඡායාරූප ඉසංක සුනිමල්)




2017-03-16
Advertisement

Find us on Facebook