English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සංහිඳියාව තවත් කල්මැරිය නොයුතුයි - නීතිය හා සමාජ භාරය
 
සඳුන් තුඩුගල

ප‍්‍රධාන ආගම් 4ක් අදහන රටක තවමත් සැබෑ සංහිඳියාවක් ගොඩනැගී නොතිබීම ඉතාම අවාසනාවක් බවත් , යුද්දය අවසන්වී වසර හතක්ද ගෙවී ගොස් ඇති නමුත් පීඩිතයින් හට යුක්ති සාධාරණය ඉටුවිය යුතුමුත්, ඉටුවීමට කල්ගන්නා මෙකී සැබෑ සංහිඳියාව තවත් කල්නොමරා ඇතිකර ගතයුතු බවත් ඒ සඳහා ආගමික නායකයින් හට ද විශාල වගකීමක් ඇති බවත් නීතිය හා සමාජ භාරය (එල්. එස්. ටී. ආයතනය) ප‍්‍රකාශ කරයි. එමෙන්ම, යුද්දයේදි රජයෙන් ජනතාවට යම්කිසි වරදක් සිදුවු බව රජය පිළිගත යුතුය යන මතය සංහිඳියාව අපේක්‍ෂාකරන ජනතාව තුළ පවතින බවද ඔව්හු පැවසුහ.  

සංහිඳියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකාය විසින් ජනවාරි මස 03 වෙනිදා ආණ්ඩුවට භාරදෙනු ලැබු සිය අවසන් වාර්ථාවේ විධායක සාරංශය හා නිර්දේශ පිළිබඳව, දේශපාලන පෙරළියක් තුළින් යහපාලන ආණ්ඩුවක් බිහිකර ගැනීම සඳහා ග‍්‍රාමීය මට්ටමින් දැවැන්ත මෙහෙවරක් ඉටුකළ ප‍්‍රජා නායකයින් දැනුවත් කිරීම සඳහා පැවැති වැඩසටහනේ දි මෙසේ ප‍්‍රකාශ විය.

දේශපාලන වෙනසක් අපේක්‍ෂා කරමින් යහපාලන ආණ්ඩුවක් බිහිකර ගැනීම සඳහා නොයෙකුත් තර්ජන ගර්ජන මද්ධ්‍යයේ ක‍්‍රියාකළ ග‍්‍රාමිය නායකත්වය විසින් මෙකි සංහිඳියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කළ නිර්දේශ මොනවාද යන්න වටහා ගැනීම සහ ඒවා ක‍්‍රියාත්මක කරවා ගැනීමට යළි යළිත් දායක වීම අත්‍යවශ්‍ය බැවින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කළ බව නීතිය හා සමාජ භාරයේ වැඩසටහන් ප‍්‍රධානි සඳුන් තුඩුගල ප‍්‍රකාශ කළා.



මහින්ද රාජපක්‍ෂ රෙජීමය පලවා හරිමින් දේශපාලන පෙරළියක් තුළින් බිහිකරගත් යහපාලන ආණ්ඩුව තුළින් පුරවැසියන් අපේක්‍ෂා කළ වෙනස සිදුවන්නේ නැතිනම්, ඔවුන් දුන් පොරොන්දු ඉටුකිරීම නොසළකා හරින්නේ නම්, සිවිල් සංවිධාන විසින් ඒවා ඉටුකරගැනීම සඳහා ආණ්ඩුවට බලකර සිටිය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

සංහිඳියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකායේ ජනතා අදහස් ලබාගැනීමේ ක්‍ෂේත‍්‍ර වැඩපිළිවෙල තුුළ ක‍්‍රියාකාරි මෙහෙයක් ඉටුකළ නිළධාරීන් දෙදෙනෙකු විසින් සිය අත්දැකීම් බෙදාගත් අතර, යුද්දය නිම වී වසර 07ක් ඉක්මවා ගොස් ඇති නමුත් යුධ වින්දිතයින්ගේ ප‍්‍රශ්න ගැටළුවලට තවමත් තිරසාර විසඳුම් ලබානොදීම, ඉතාම අසාධාරණ සහ අයුක්ති සහගත බවත්, තවදුරටත් සංහිදියාව ඇතිකිරිම ප‍්‍රමාද වීම තුළ විසඳිය නොහැකි උග‍්‍ර ගැටළු පැනනැගීමට බොහෝ ඉඩකඩ ඇති බවට කාර්ය සාධක බලකායට ඉදිරිපත් වු ජනතා අදහස්වලින් පැහැදිළිව පෙනෙන්නට ඇතැයි ඔවුන් පැවසූහ.

අනුෂ්කා කහඳගමගේ

අත්දැකීම් බෙදාගනිමින්, සංහිදියා කාර්ය සාධක බලකාය පිළිබඳවත් එහි කාර්ය භාරය පිළිබඳවත් රජය විසින් නිසි දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව අනුෂ්කා කහඳගමගේ පැවසු අතර දේශපාලනික වශයෙන් අදහස් ලබාදීමට කිසිඳු දේශපාලනඥයෙක් හෝ නියෝජිතයෙක් සහභාගි නොවු බවද යුද්දයෙන් පසුව අතුරුදහන්වුවන් පිිළිබඳව තොරතුරු විමසීම සිදුකළද 71 , 88 කාලවාකවානු තුළදී අතුරුදහන්වුවන් පිළිබඳව පවා විමසීම හා දැනුම්දීම සඳහා එම ඥාතින් පැමිණි බවත් අතුරුදහන්වුවන් හට සිදුවුයේ කුමක් ද යන්න දැනගැනීම, සංහිඳියාව ඇතිකිරීමේ කාර්යයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් වී ඇති බව ඉන් පෙනී යන බව අනුෂ්කා කහඳගමගේ පැහැදිළි කළේය.

එමෙන්ම, යුද්දයේදි ජනතාවට රජයෙන් වරදක් සිදුවු බව රජය පිළිගන්නේ නම් එය යුධ පිඩිතයින් අපේක්‍ෂා කරන සංහිදියාවේ විශේෂ අවශ්ථාවක් බවත් පෙන්වාදුන් ඇය, උතුරු නැගෙනහිර ජනතාව සිය ප‍්‍රශ්නවලට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව හා දේශපාලනීක වශයෙන් විසඳුම් අපේක්‍ෂාකරන බව ද පැවසීය.


   ප‍්‍රියන්ත දීපාල්

යුද්දෙදී මිය ගිය, අතුරුදහන් වී ඇති සිය ඥාතින් පිළිබඳව දැඩි කම්පාවෙන් කථාකළ ඇතැම් දමිළ පුරවැසියන් පලිගැනීමකින් තොරව තමන්ට වරද කළ පාර්ශවයන් හට සමාව දීමට සුදානම් යැයි ප‍්‍රකාශකළ විට යුද්දයේම වින්දිතයින් වු තවත් කොටසක් කියා සිටින්නේ තමන්ගේ අධ්‍යාත්මීක කටයුතු කරන්නවත් නිසි අයිතියක් ලබා දී නැති තැන කුමන ආකාරයක සංහිඳියාවක් ගැන කථාකරන්නේ ද යන්න ප‍්‍රශ්නයක් බව අත්දැකීම් බෙදාගැනීමට එක්වෙමින් ප‍්‍රියන්ත දීපාල් පෙන්වා දුණි.

පරම්පරා හතක් තිස්සේ වැන්ද කෝවිල තාමත් තියෙන්නේ හමුදා කඳවුර ඇතුලෙ නම්, අපේ මිනිහෙක් මැරුනහම වල්ලන කනත්ත තියෙන්නෙ තාමත් හමුදා කඳවුර ඇතුලෙ නම් අපි කොහොමද හිත හදා ගන්නේ ? කොහොමද ඉදිරියක් ගැන හිතන්නේ ? යැයි දෙමළ යුධ අනාථයින් දැඩි වේදනාවෙන් යුතුව ප‍්‍රශ්න කළ බව ඔහු පැවසීය.

"පොලීසියට අරංගිය මගේ ළමයා හමුදා කඳවුරේ ඉන්නවා මම දැක්කා. දවස් දෙක තුනක් ම මම දැක්කා ළමයා හමුදා කඳවුර අතුගානවා. මම හොඳටම දැක්කා. ඊටපස්සේ දවසක මම ගියා ළමයාව බලන්න. එතකොට කිව්වා එහෙම ළමයෙක් මෙහෙ නැහැ කියලා මාව එළව ගත්තා. ඒත් ආයෙමත් දවසක ගියා ළමයව අද කොහොමහරි බලනවාමයි කියලා හිතාගෙන. ගිහිං ළමයාව අහපුවම කිව්වා අන්න අර කාමරේ බලපන් කියලා. මම ගිහිං බලපුවාම, ළමයා වෙනුවට මම දැක්කේ ළමයගේ මස් කෑලි ...... ලේ......විතරයි.” කියලා එක අම්ම කෙනෙක් අඬ අඬා අපට කීවා.
 


"එහෙත්, එවැනි ඉරණමකට මුහුණ දුන්න ඒ අම්මා කියනවා වෙච්ච දේ වෙලා ඉවරයි. මට මගේ පුතා අහිමිවුණාට පස්සේ කාගෙන්වත් පලි අරගෙන වැඩක් නැහැ. නමුත් මගෙ එකාට සිද්දවෙච්ච දේ තවත් එකෙකුට සිද්ධ වෙන්න ඉඩ දෙන්න බැහැ මහත්තයෝ. ඒ කට මොනවාහරි කරන්න. සමාව දෙන්න අපි සුදානම්. අපිට  ඕනේ් අපේ ජිවිත යළි සකස්කර ගෙන ඉස්සරහාට යන්න. අපේ ගමේ අඩුපාඩු සකස් කරලා දෙන්න කියන්න."
 
"අක්කර 7ක් 8ක් හිමිව හිටපු මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ පර්චස් 40ක් වැනි කුඩා බිම් ප‍්‍රමාණයක්. ඒ මිනිස්සු අපෙන් අහනවා ඒවගේ පුංචි ඉඩක අපි කොහොමද රැකියාවක්  කරගෙන ජීවත් වෙන්නෙ කියලා. ඒවගේම මහවැලි කළාපවලත් දැවැන්ත ගැටළු පවතිනවා. මහවැලි බලධාරීන් විසින්ම මිනිසුන්ගේ ඉඩම් මංකොල්ලකා තිබෙනවා. රජයේ නිළධාරින් ගැන සාමාන්‍ය ජනතාව දැඩි කලකිරීමෙන් පසුවෙන්නෙ." යැයි ප‍්‍රියන්ත දීපාල් ප‍්‍රකාශ කළේය.

එමෙන්ම," අපි පරම්පරා ගානක් අදහපු අපේ කෝ්විල අපිට දෙන්න කියන්න. අපේ මුතුන් මිත්තෝ වැලලිලා ඉන්න ඒ මිනි කනත්ත අපිට දෙන්න කියන්න. රැකියාව කරලා නිදහසේ ජිවිත් වෙච්ච අපේ මුහුද, අපේ ඉඩම් ටික අපිට දෙන්න කියන්න. අපේ ජිවිත දැන්වත් නැවත පටන් ගන්න, අපේ දේවල් අපිට නැවත දෙන්න කියන්න."යැයි කඳුළු සළමින් උතුරේ මිනිස්සු අපි ඉදිරියේ හඬා වැටුණා.
 
මේකී සංහිඳියාව ලබාදීමට දැන්වත් කටයුතු කිරීමට රජයේ ප‍්‍රධාන වගකීමක් බව පෙන්වා දුන් ඔහු, ප‍්‍රමාද වෙමින් පවතින සංහිඳියාව කඩිනමින් ඇතිකරගැනීම සඳහා මෙරට ජනතාව අදහන ප‍්‍රධාන ආගම් හතරේ නායකයින් වෙත විශාල වගකීමක් ඇතැයි ද පැවසීය.  



නීතිය හා සමාජ භාරය විසින් සංවිධානය කරතිබු මෙම වැඩසටහන ජනවාරි 24 වෙනිදා කොළඹ දී පැවැත්විණ්. දිස්ත‍්‍රික්ක කිහිපයකම ප‍්‍රජා නායකයින් සහභාගි වුහ.

සටහන සහ ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා



2017-01-30
Advertisement

Find us on Facebook