English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සුස්මා - දෙජාස සාකච්ජා



ඉන්දීය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සහ විදේශ අමාත්‍යංශ ලේකම් සුජාතා සිංග් හමුවී දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ජා සාර්ථකවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පවතින වත්මන් තත්වය පිළිබඳව තොරතුරු ඔවුන් හා සාකච්ජා කළ බවත් එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන විවිධ ගැටළු ඔවුන්ට පෙන්වා දුන් බවත් ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේය.

රජයේ උනන්දුව

උතුරු නැගෙනහිර පලාත්වල ජන විකාශයේ වෙනස්කම් ඇති කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රජය ආරම්භ කොට ඇති වැඩසටහන් පිලිබඳවත් එම පලාත්වල සංස්කෘතික සහ භාෂා අනන්‍යතාවයට කෙරෙන බලපෑම ගැනත් සාකච්ජා කළ බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පිළිගත හැකි කිසිදු දේශපාලන විසඳුමක් කෙරෙහි රජයේ උනන්දුවක් නොමැති බව තමන් පෙන්වා දුන් බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසදුමක් නොවුවත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කලද අර්ථාන්විතව බලය බෙදීමක් ඇති කිරීමට රජය අපොහොසත් වී ඇති බව තමන් මේ සාකච්ජාවේදී පෙන්වා දුන් බව සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය.

සාධනීය ක්‍රියා

දෙමළ ජනතාවට බලපාන තවත් ගැටළු ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සමඟ සාකච්ජා කළ බව පැවසූ ඔහු කියා සිටියේ තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව ඉන්දියාව කිසියම් හෝ පියවරයක් ගත යුතු බවට ඉල්ලා සිටි බවයි.

එම ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ.

උපුටා ගැනීම - බීබීසී සංදේශය

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140822_sambanthan_india.shtml

-MMP





2014-08-22
Advertisement

Find us on Facebook