English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන ප්‍රතිසංස්කරණය හා අනාගතය

දේශපාලන විසඳුමක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව සංවාදයක් රට තුළ යළි ආරම්භ වී ඇත. එය වැදගත් වූත්, සාධනීය වූත් තත්ත්වයකි. එය එක් අතකින්, 2015 ජනවාරි අටවැනිදා මහපොළොවේ ඇත්තක් බවට පත් වූ “නිහඬ විප්ලවය” ට සාධාරණයක්, ඉටුකිරීමකි. අතිශය තීරණාත්මක වූ එම ජනාධිපතිවරණයේ දී රටේ බහුතරයක් ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා ඒකරාශී වූයේ හොරකම, දූෂණය, වංචාව, ඥාති සංග්‍රහයට එරෙහිවීම පිළිබඳ අදහසකින් පමණක්ම නොවේ. රටට ශාපයක් වී ඇති ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳ අදහසක්, ස්ථිරසාර සාමයක් පිළිබඳ වූ දේශපාලන අභිලාෂය ද ඒ සමඟ ගැට ගැසී තිබිණි.

ජාතිවාදී මඩගොහොරුවේ පිහිනමින් සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියව රටේ, බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කරත්දී තමන් උපන් රටේ සමාන පුරවැසියන් ලෙස ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් වූ අදහසක් ද ඔවුන් තුළ විය. ඔවුන් හඬ නැගුවේ සීමාවක් තුළ ‍කොටු වී ඇති වාර්ගික අයිතීන් පිළිබඳ නොව පොදු මිනිස් අයිතීන් ගැනය. ඔවුන් පෙනී සිටියේ සියලු දෙනාට පොදු, ප්‍රජාතන්ත්‍රවාදය, සාමාජ සාධාරණත්වය යහපාලනය, නිදහස, මානව දයාව යන විශ්ව ව්‍යාප්ත වටිනාකම් වෙනුවෙනි. 
 
දේශපාලන විසඳුම් යෝජනා පිළිබඳ අපට ඇත්තේ “අමිහිරි” ඉතිහාසයකි. පශ්චාත් නිදහස් ශ්‍රී ලංකා දේශපාලනය තුළ විසඳුම් යෝජනා නොඑසේ නම් ප්‍රතිසංස්කරණ උත්සාහයන් බොහෝවිට අවසානයේ නතර වූයේ දේශපාලන ලේඛනාගාරය තුළය. ඒ පිළිබඳව ඇති උදාහරණ බොහෝය. දේශපාලන විසඳුම් යෝජනා ප්‍රායෝගික ලෝකය තුළ ඇත්තක් නොවීම සම්බන්ධයෙන් පටු දේශපාලන අවස්ථාවාදය මෙන්ම ජාතිවාදයේ බලපෑම ද එක සමාන භූමිකා නිරූපණය කළේ ය. මූලිකවම ගත් විට සිංහල සමාජය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇත්තේ අනියත බියකි. ඒ සමඟ “සිංහලයාගේ අවසානය” ගැටගැසී ඇති බවට තදින් මුල් බැසගත් අදහසක් සමාජය තුළ තහවුරු වී තිබේ. කිසිදු සත්‍යතාවකින් තොර මේ මහා බේගලය පොහොර දමා පෝෂණය කළේ සිංහල ස්වොත්තමවාදින් ය. අන්තවාදීහු එය තම පැවැත්ම වෙනුවෙන් අලෙවි කළහ. ඒකීය රාමුවෙන් එළියට ගමන් කළ විට රාජ්‍යය බෙලහීන හා අනාරක්ෂිත වන බවට ඔවුහු විශ්වාස කරති. එල්.ටී.ටී.ඊ. යේ ක්‍රියාකාරිත්වය තුළ ජාතිවාදීන් එම තීරණය සාධාරණීකරණය කරන ලදී. දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් ඉදිරිපත් වූ මෑතකාලීන සෑම අවස්ථාවකදීම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර එකඟතාවක් නොවීම විශේෂත්වයක් විය. පටු අවස්ථාවාදයට වඩා එය සාධාරණීකරණය කළ හැකි වෙනත් හේතුවක් නොමැති තරම්ය. දැන් ඒ සියලු අවාසිදායක තත්ත්වයන් අහෝසි වී තිබේ. එල්.ටී.ටී.ඊ.ය පරාජයට පත්ව ඇත. අනෙක් අතට දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්මුති බද්ධ ආණ්ඩුකරණයක් වටා ගොනුව සිටිති. ඒ අර්ථයෙන් බලනවිට දේශපාලන විසඳුමක් නොඑසේනම් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මේ හිමිව ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි. අප සියලු දෙනා සිහින දකිනුයේ සංහිඳියාවෙන් පිරුණු රටක් පිළිබඳවය. ව්‍යවස්ථාවක් ගෙන ඒම යනු සංහිඳියාවේ කොටසක් මිස අන් යමක් නොවේ. ඉතිහාසයේ අන් කවරදාකටවත් වඩා සමගිය පිළිබඳව අදහස් අද සමාජය තුළ බලවත්ව ඇත. 
 
එහිදී සැකය වෙනුවට රෝපණය කළ යුත්තේ අන්‍යෝන්‍ය විශ්වාසයයි. භේදය වෙනුවට එකමුතුකම රෝපනය කළ යුතුව ඇත. ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතු ඒ අනුව හැසිරිය යුතු යුගයකට අප පිවිස තිබේ. වර්ගවාදී, අන්තවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඒවායේ බඩගෝස්තරවාදී දේශපාලන න්‍යායපත්‍ර එවිට පරාජයට පත්කළ හැකිය. නිද‍හසේ ආලෝකය තුළ බිහි කර ගත යුතුව තිබූ ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය පසුපසට ඇද දැමුවේ ඉහත කී ජාතිවාදී ප්‍රවණතා බව ප්‍රශ්න විරහිතය. ජාතිවාදයෙන් රටට ලැබුණු දෙයක් නැත. යමක් ලැබුණේ නම් ලැබුණේ ඒවා මෙහෙයවූවන්ට පමණි. එබැවින් රටක් ලෙස ඉදිරියට යාමට නම් මේ තත්වයට තිත තැබිය යුතු වීම අනිවාර්යය. 1948 නිදහස දිනාගනිද්දී ආර්ථිකමය වශයෙන් ආසියාවේ අපට වඩා පසුපසින් සිටි රටවල් ගණනාවක් අපව පසුකරයමින් වේගවත් සමාජ, ආර්ථික, පිමි මේ වනවිට පැන තිබේ.
 
එදා කුලීකරුවන්ගේ දේශයක් ලෙස හැඳින්වූ සිංගප්පූරුව, මඩුක්කු සංස්කෘතියක්ව පැවති දකුණු කොරියාව අද ආසියාවේ සමෘද්ධිය කියාපාන සංකේතයක් බඳුය. ඒ “වෙනස” පිටුපස වැඩ කළ මහා පොදු සාධකය වාර්ගික සහජීවනය ය. සියලුදෙනාගේ අයිතීන්වලට ගරු කරමින් සංහිඳියාවෙන් යුතුව ඉදිරියට ගමන් කළ හොත් අපට ද එසේ වීමට බැරිකමක් නැත. ලෝකයේ සෙසු රටවල් සමඟ බලද්දී ශ්‍රී ලංකාව යනු තවත් එක රටක් පමණක් නොවේ. එය පාරාදීසයකි. ශ්‍රී ලංකාව යනු බඩගින්න නිසා මිනිසුන් මිය යන රටක් නොවේ. ඒ නිසා ඉදිරියට යෑම අපහසු කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් අවශ්‍ය කරනුයේ පොදු ජාතික හැගීමක් සහ අධිෂ්ඨානයක් පමණි. ජපානය දෙස බලන්න. දෙවන ලෝක යුද්ධයේ දී අළු දූවිලි බවට පත් වූ ජපානය වසර දහයක් තුළ ශක්තිමත්ව පෙරටත් වැඩි ජවයකින් යුතුව නැගීසිටියේය. අදටත් වසරකට භූ චලන සියගණනාවක් වාර්තා වුවද ඔවුන්ව ඇදවැට්ටවීමට ඒවාට නොහැකි වී ඇත. ජපනුන් තුළ ඇති ජපන් අනන්‍යතාව ඒ “නොදැවී” සිටීම පිටුපස වැඩකරන ප්‍රධාන සාධකය විය. බහු භාෂාමය බහු වාර්ගික රටක් ලෙස එකිනෙකා සතු අනන්‍යතාවක් බිහිකර ගැනීමට උත්සාහ දැරීම වැදගත් කටයුත්තක් වනුයේ එබඳු සන්දර්භයකය. විවිධත්වය තුළ එකමුතුව ගොඩනැඟීම යුගයේ අවශ්‍යතාවයි. මාටින් ලූතර් කිං ගේ සුප්‍රකට කියමනක් මේ අවස්ථාවේ සිහි වෙයි. “අපි අහසේ පියාසර කරන්නට උගෙන තිබෙනවා, අපි මුහුදේ පිහිනන්නට උගෙන තිබෙනවා,  ඒත් අපි සහෝදරයන් ලෙස එකට ජීවත්වීම කියන සරල දේ ඉගෙනගෙන නැහැ” මාටින් ලූතර්ගේ ඒ ප්‍රකාශයට අදට කොතරම් වලංගුද? රටේ ක්‍රියාත්මක සෑම ආගමක්ම සමානාත්මතාවේ ඇති වැදගත්කම අවධාරණය කර ඇති මුත් ප්‍රායෝගිකත්වය තුළ එය ඒ හැටි ගණනකට නොගැනීම අභාග්‍යයකි. ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වන චාල්ස් කොල්ටන් වරක් පැවසූ පරිද්දෙන් ම ආගම වෙනුවෙන් කතාකරන සටන් කරන මිනිසුන් නොකරන ප්‍රධාන ම දේ ඒ අනුව ජීවත් වීමය. 
 
නූතනවාදී ප්‍රතිසංවිධානයක් කරායන ගමනේදී මේ සියල්ල ආමන්ත්‍රණය කිරීමට සිදුවන බව මතක තියාගැනීම වැදගත්ය. සැබවින්ම එවැනි කටයුත්තක් සඳහා වන අභියෝගය සුළුපටු එකක් නොවේ. එය අතිදුෂ්කර උඩුගං බලා පිහිනීමකි. නමුත් රටේ මතු පැවැත්ම වෙනුවෙන් එය සිදුකළ යුතුය. ළඟ බැලුවෝතින් අනාගතයක් නොමැත. එබැවින් දුර බැලිය යුතුය. ලෝකයේ සෙසු රටවල් හෙට ගැන බලත්දී හෙට කියා ඊයේ දෙස බැලුවහොත් අත්වන ප්‍රතිඵලයක් නොමැත. 
 
යුද්ධයෙන් යමක් දිනීම යනු සම්පූර්ණ ජයග්‍රහණයක් නොවේ. එය තණකොළ උගුල්වා දමනවා වැනි ක්‍රියාවකි. තාවකාලිකව උගුල්වා දැමීම වෙනුවට අද අවශ්‍යව ඇත්තේ ඒවා සහමුලින්ම නැති කර දැමීමය. යුද වීරයන් වෙනුවට අද රටට අවශ්‍යව ඇත්තේ සාම වීරයන්ය. රටතුළ මේ මොහොතේ මතුපිටින් හෝ දැකිය හැකි දේශපාලන සමගිය තුළ උදා වී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්” විවිධත්වය තුළ එකමුතුව කරා යන ගමන වේගවත් කළ යුතුව ඇත. අනිවාර්යයෙන් ම, දේශපාලන ප්‍රතිසංස්කරණය යනු එහි වැදගත් තීරණාත්මක කඩ ඉමක්ය.


 චාමර ලක්ෂාන් කුමාර

- මෙලනි




2017-01-29
Advertisement

Find us on Facebook