English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


‘සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව සහ රවිරාජ් නඩුවේ තීන්දුව

සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරී මුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත‍්‍රික්කයකම කටයුතු කළ ‘කාර්ය සාධක බලකාය’ ජනතාවගේ අදහස් උදහස් ලබා ගනිමින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙළේය. හානි පූරණය සඳහා වන කාර්යාලයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත වැරදි ඇති නොවන බවට වගබලා ගන්නා කොමිසමක්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් සහ අධිකරණ යාන්ත‍්‍රණයක් පිළිබඳවත්, එකී යාන්ත‍්‍රණ හතරෙන් ඔබ්බට ගිය සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳව සහ පීඩාවට පත් පුද්ගලයන් සහ ප‍්‍රජාවන් සඳහා සැපයිය යුතු ආධාර සහ ඔවුන්ගේ ආරක්ෂා ගැන කාරණාත් එහි අඩංගු වෙයි.

එය, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූ ප‍්‍රජාවන්හි වින්දිතයන්ගේ දුක් වේදනා පිළිබඳ වාර්තාවකි. එපමණක් නොව, හිටපු එල්.ටී.ටී.ඊ, සාමාජිකයන්ගේ මෙන්ම රජයේ හමුදාවන්හි සොල්දාදුවන්ගේ දුක් වේදනා ගැනත් එහි විස්තර වෙයි. සියලූ වින්දිතයන්ගේ මානසික අවශ්‍යතා පිළිබඳවත් අප සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. ක‍්‍රියාන්විතයන්හි යෙදුනු සොල්දාදුවන්ගේ මානසික අවශ්‍යතා පවා පසුගිය රජය නොතකා හැර තිබුණි.

කෙසේ වෙතත් මේ සංහිඳියා ක‍්‍රියාවලිය නිසා, ජාතික ආරක්ෂාවට හානි විය හැකි බවත්, ඇති වු තුවාල තව පෑරෙනවා සේම අළුත් තුවාල ඇති විය හැකි බවත්, අන්තර්-වාර්ගික සහ අන්තර්-ආගමික බෙදීම් උත්සන්න විය හැකි බවත්, ආරක්ෂක අංශ සහ පොලීසිය පෙන්වා දී ඇති බව වාර්තාවේ සඳහන් වෙයි. විශේෂයෙන් වගවීමේ යාන්ත‍්‍රණය තුළ විදේශීය සහභාගීත්වය ලබා ගැනීම ආරක්ෂක අංශ තරයේ ප‍්‍රතික්ෂේප කළ බවත් වාර්තාව පෙන්වා දෙයි. (විධායක සාරාංශය: බී. 3)

මෙය මුළුමණින්ම දේශීය ක‍්‍රියාවලියක් විය යුතු බව දකින සිංහල ප‍්‍රජාවෙන් බොහොමයක් දෙනා ජාත්‍යන්තර සහභාගීත්වයක් ප‍්‍රතික්ෂේප කරන බවත් වාර්තාව පෙන්වා දෙයි. (විධායක සාරාංශය: සී.23)

ජනවාරි 3 වැනි දා වාර්තාව භාර දීමේ උත්සවයට සහභාගී වූ විපක්ෂ නායක ආර්. සම්බන්දන්, ප‍්‍රජාතන්ත‍්‍රීයව පත්කර ගත් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නියෝග පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් වැදුණු හමුදාවන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමේ හැකියාවක් නැති බව පෙන්වා දුනි. එසේ වෙතත්, යම් නිලධාරියෙකු හෝ සොල්දාදුවෙකු, අත්අඩංගුවට පත් කෙනෙකු ඝාතනය කොට ඇත්නම් හෝ කාන්තාවක් ¥ෂණය කොට ඇත්නම් එය යුද අපරාධයක් වන බව ඔහු කීවේය. එවැන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවත්, එය යුද්ධයේදී සටන් කළ හමුදාවන්ට එරෙහි ක‍්‍රියාවක් නොවන බවත් ඔහු පෙන්වා දී තිබේ. (ජනවාරි 8 රාවය: සමබිම අතිරේකය).

සැබෑව වන්නේ එයයි. එම අදහස දෙමළ ජාතික සන්ධාන නායකයාගේ මුවින් පිටවීම අප අගේ කළ යුතුය. එම ප‍්‍රකාශයට හැකි තාක් ප‍්‍රචාරය ලබා දිය යුතුව තිබුණත්, ආණ්ඩුව ඊට අසමත් විය.

වාර්තාව කියන පරිදි, සාපරාධී ක‍්‍රියාවක් පිළිබඳ යම් සාක්ෂියක් ඇතොත් ඒ ගැන නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවත්, සත්‍යය සෙවීමේ ක‍්‍රියාවලියට තමන්ගේ සහාය ලැබෙන බවත් හමුදා නියෝජිතයන් කියා තිබේ. ඔවුන් සම්බන්ධයෙන් ගත් විට සාපරාධී ක‍්‍රියාවක් සිදුව නැති හෙයින් සමාව දීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් ඔවුන් පෙන්වා දී තිබේ. (විධායක සාරාංශය:බී.4).

මේ නිසා, විපක්ෂ නායකයා සහ හමුදා කොටස් සිතන ආකාරයේ යම් සාම්‍යත්වයක් ඇති බව පෙනේ. ආණ්ඩුවේ හමුදාවට එරෙහිව බරපතල චෝදනා එල්ල වී ඇති නිසා ඒ ගැන විභාගයක් කළ යුතුව පවතී. පරාජය කළ නොහැකි යැයි සිතූ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ගැන ජාත්‍යන්තර වශයෙන් හමුදාවට අත්විය යුතුව තිබූ කීර්තිය ලැබුණේ නැති බවත් සිහි තබා ගත යුතුය. දේශීය විනිසුරුවරුන් බහුතරයක් සහ ප‍්‍රමාණවත් විදේශීය විනිසුරුවරුන් ප‍්‍රමාණයක සහභාගීත්වයෙන් මිශ‍්‍ර අධිකරණයක්, ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ නිර්දේශ කරයි.

ජනවාරි 6 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත මෙසේ වාර්තා කොට තිබුණි:

‘‘අගමැතිවරයා විසින් පත්කරන ලද ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ ගැන විශ්වාසයක් තමන්ට නැති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කීවේය. යුද්ධයේ අවසාන අදියරේදී සිදු විණැයි කියන යුද අපරාධ චෝදනා සහ මානව හිමිකම් උල්ලංඝණයන් ගැන පරීක්ෂා කිරීම සඳහා සෑම අධිකරණ මඩුල්ලක් තුළම අඩු වශයෙන් එක් විදේශ විනිසුරුවරයෙකු හෝ සිටිය යුතු බවට ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ නිර්දේශ කර තිබේ. ‘කාර්ය සාධක බලකායේ’ ඇතැම් සාමාජිකයන් ‘රාජ්‍ය නොවන සංවිධාන’ ක‍්‍රියාකාරිකයන් බව කී ඇමතිවරයා, මෙසේ ද කීය: ‘‘අධිකරණයේ ස්වාධීනත්වය ගැන තවදුරටත් කිසිවෙකු චෝදනා නොකරයි. අප සංහිඳියාව සහ සාමය සඳහා වන ක‍්‍රියාවලීන් ස්ථාපනය කොට ඇත. මේ වෙලාවේ මෙවැනි වාර්තාවක් කොහෙත්ම උචිත නැත. එබැවින් එම වාර්තාවේ නිර්දේශ අප අනුගමනය කළ යුතු නැත.’’

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග පෙන්වා දුන් පරිදි ‘කාර්ය සාධක බලකාය’ පිහිටුවීම ගැන කැබිනට් මණ්ඩලයේ පැවති සාකච්ඡුාවට විජේදාස රාජපක්ෂ ද සහභාගී වී තිබේ. එසේම, රාජපක්ෂ රෙජිමය විසින් උලූප්පා දක්වන ලද ‘රාජ්‍ය නොවන සංවිධාන බිල්ලාට’ එරෙහිවත් ඔහු එදා කතා කොට තිබේ. දැන්, වාර්තාව තුළ විදේශ විනිසුරුවරුන් සිටිය යුතු යැයි කී පමණින් මුළු වාර්තාවම ඔහු ප‍්‍රතික්ෂේප කරයි. ජනාධිපති නිවෙසින් හෝ අරලියගහ මැදුරෙන් විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් දීමෙන් වැළකී සිටියොත් අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කළ හැකිය. එහෙත් අධිකරණයේ අපක්ෂපාතීත්වය යළි ස්ථාපිත කිරීම එතරම් පහසු නැත. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිසිවෙකු පැමිණිලි නොකළත්, අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ ප‍්‍රශ්න තිබේ.

2016 දෙසැම්බර් 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත මෙසේ වාර්තා කෙළේය:

‘‘හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනය පිළිබඳ අධිකරණ තීන්දුව ගැන තමන් සෑහීමට පත් නොවන බව කී, යාපනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන්, එම විනිශ්චයට එරෙහිව තමන් ඇපෑලක් ඉදිරිපත් කරන බව කීය. ඔහු මෙසේ ද කීය: ‘‘රටේ අධිකරණය ගැන ඇති ජනතාවගේ සැකය මේ තීන්දුවෙන් ප‍්‍රකාශයට පත්වෙයි. සිදු වී යැයි කියන යුද අපරාධ ගැන විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගී කර ගත යුතු බව අප කියන්නේ එබැවිනි. හානියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වශයෙන්, මේ තීන්දුවට එරෙහිව මම අභියාචනයක් ඉදිරිපත් කරමි.’’

2016 දෙසැම්බර් 26 වැනි දා ඉන්දියාවේ ‘හින්දු’ පුවත්පත මෙසේ වාර්තා කෙළේය: ‘‘කණිෂ්ඨ මට්ටමේ නාවුක හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු තමන්ගේ හිතුමතේට මේක නොකළ බව දැන් පැහැදිළියි. තව කෙනෙකුගේ නියෝග මත කටයුතු කිරීම ගැන තමයි ඔවුන් වගකිව යුත්තේ. ඒක මේ ප‍්‍රහේලිකාවේ පුංචි කොටසක් විතරයි. මේක සිද්ධ වුණේ අවුරුදු 10 කට කලින්. මේකට නියෝග දුන්නේ කවුද කියලා බලාගන්නයි අපි දැන් ඉන්නේ.’’ යැයි ‘හින්දු’ පුවත්පතට එම්. ඒ. සුමන්දිරන් කියා ඇත.

ඊළඟට, ජනවාරි 12 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත මෙසේ වාර්තා කෙළේය:

‘‘යාපනේ දිස්ත‍්‍රික්කයේ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් ඝාතනය පිළිබඳ අධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කොට ඇති අතර, එම නඩුව නැවත විභාග කරන ලෙස ඉල්ලා ඇත. ඒ ගැන මහාධිකරණයට අයැදුම් පතක් ඉදිරිපත් කරන නීතිපතිවරයා, මේ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරන දවසේ අධිකරණයක් සඳහා ඇති සාමාන්‍ය කාලය ඉක්මවා යමින් රාත‍්‍රී 12 වන තෙක් මේ නඩුව විභාග කොට ඇති බව පෙන්වා දුනි. එසේම නඩු විභාගය තුළදී මතු වූ ඉතා වැදගත් කරුණු කිහිපයක් ගැන සභාපති විනිසුරුවරයා කිසි පැහැදිළි කිරීමක් කොට නැති බවත් පෙන්වා දුනි.’’

මේ නඩුවේ සමස්ත ජුරිය සමන්විත වුණේ සිංහලයන්ගෙනි. චූදිත නාවුක හමුදා නිලධාරීන් තිදෙනා ද සිංහල ය. මේ නඩුවේ පමණක් නොව, ලසන්ත වික‍්‍රමතුංග සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධි තුළත් බුද්ධි අංශ සාමාජිකයන් සහභාගී වී අතර එම නඩු අසාමාන්‍ය කාලයක් තිස්සේ දිග් ගැස්සෙයි. එපමණක් නොව, නඩු පවරන නිලධාරීන්ව ජනාධිපතිවරයා විසින්මත් විවේචනය කොට ඇත.

එබැවින්, යුද අපරාධ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා කිසි විදේශ විනිසුරුවරයෙකු සහභාගී කර ගත නොහැකි බව කීමට සදාචාරමය අයිතියක් අපට නැත. යුක්තිය ඉෂ්ට වෙනවා පමණක් නොව, එය ඉෂ්ට වන බව පෙනෙන්ට ද තිබිය යුතුය.


හර්ෂ ගුණසේන

(2017 ජනවාරි 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ CTF Report & Raviraj Case Judgementනැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


- මෙලනි




2017-01-29
Advertisement

Find us on Facebook