English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඒ ජනවාරිය තාමත් කළු යි !

යහපාලන ආණ්ඩුවක් බිහිවී ඇතැයි කියතත් එදා කළු වු ජනවාරිය තවමත් කළු ම යැයි ජනමාධ්‍යවේදින් ද මාධ්‍ය සංවිධාන ද යහපාලන ආණ්ඩුව බිහිකිරිම සඳහා උර දුන් ඇතැම් විද්වත් , ක‍්‍රියාධරියන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද ප‍්‍රකාශ කරති. 2010 ජනවාරි 24 වෙනිදා පැහැරගෙන යනු ලැබු ප‍්‍රවීන මාධ්‍යවේදි ප‍්‍රගීත් එක්නැළිගොඩ සිහිකිරිමක් සමග ඝාතනයට පැහැරගෙන යාමට පහරදීමට ලක්වු සියලූ මාධ්‍යවේදීන් වෙත හා මාධ්‍ය ආයතන වෙත සිදුවී ඇති අනිසි බලපෑම් ප‍්‍රමුඛ කරගනිමින් කළු ජනවාරිය සිහිකිරිම් කිහිපයක් ම ඊයේ කොළඹ දී පැවැත්විණි.
 
ඊයේ, එනම් ජනවාරි 24 වෙනිදාට ප‍්‍රවීණ මාධ්‍යවේදි ප‍්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන්වීමට හරියටම වසර 07කි. එහෙත් එය අතුරුදහන්වීමක් නොව අතුරුදහන්කරවීමක් යැයි ප‍්‍රගීත් එක්නැළිගොඩ මිතුරෝ සමඟ ජාතික විද්වත් මණ්ඩලය විසින් පවත්වන්නට යෙදුණු එක්නැළිගොඩ මතක ආවර්ජනා හමුවේදි ප‍්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ ප‍්‍රධාන දේශනය ආරම්භකරමින් ප‍්‍රකාශ කළේය.  (ප‍්‍රධාන දේශනය පසුවට)



විශේෂ ජනාධිපති කොමිසමක් සඳහා පෝස්ට් කාඞ්පත්

මහින්ද රාජපක්‍ෂ පලාන සමයේ ජනමාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතනවලට මුහුණපෑමට සිදුවුණු විවිධාකාර අඩම්තේ්ට්ටම්, ගැටළු හා තර්ජන සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට යහපාලන ආණ්ඩුවට බලකරමින් ශ‍්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් ඊයේ කොළඹ දී තැපැල් පත් යැවීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කළේය.

පසුගිය වසර කිහිපයක් තුළදී ශ‍්‍රි ලංකාව තුළ ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු ජනමාධ්‍යවේදින් ඝාතනය කිරිම්, එක්නැළිගොඩ ඇතුළු ජනමාධ්‍යවේදීන් අතුරුදහන්කරවීම්, පෝද්දල ජයන්ත ඇතුළු ජනමාධ්‍යවේදින් ට නින්දිත ලෙස පහරදීම් හා ඇතැම් ජනමාධ්‍යවේදීන්ට රට හැර යන තැනට පසුබ්ම් සකස්කළ මරණ තර්ජන ක‍්‍රියාවන් ප‍්‍රමුඛව, ජනමාධ්‍ය ආයතනවලට සිදුකළ ප‍්‍රහාර, ගිනිතැබීම් යනාදි ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍යක සිදුනොවිය යුතු අනිසි බලපෑම් සියල්ල සම්බන්ධයෙන් ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉටුවිය යුතුය යන අවශ්‍යතාවය ඉටුකරවා ගැනීමේ කටයුත්ත යළිත් වතාවක් සිහිපත් කිරීම සඳහා පෝස්ට් කාඞ්පත් යැවීමේ ව්‍යාපාරයක් ශ‍්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් කොළඹ පදනම් ආයතනයේ දි ආරම්භ කළේය.
 
එහි පළමු පෝස්ට් කාඞ්පත සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් සටහන් කළේය. ඒ පිළිබඳව ඇති බීබීසී වීඩියෝව මෙතැනින් බලන්න.



දෙමළ මිනිස්සුන්ට වධහිංසා දීම ගැන සොයපු එක්නැළිගොඩ වීරයෙක්

විෂ වායු භාවිතා කරමින් දෙමළ ජනතාව මරාදැමීමට විරුද්ධව ප‍්‍රගීත් නැගී සිටිය බවත් තමන් සමඟ එකතුවී ඊට විරුද්ධව ඔහු වැඩකටයුතු කරමින් සිටිය දී ඔහුව ඝාතනය කළ බවත්, යම්කිසි රහස්‍යමය ලියවිල්ලක් ජාත්‍යන්තර උසාවියට ඉදිරිපත් කරන්නට සුදානමින් සිටින විට ලසන්තව ඝාතනය කළ බවත්, ඒ ආකාරයෙන් සාපරාධි ක‍්‍රියාවන් එකතුකරමින් ගෙනයන යුද්ධයකට එරෙහිව ක‍්‍රියාකළ සහ මෙරට සිදුවන සාපරාධි ක‍්‍රියාවන් පිළිබඳ වාර්තාකරණයේදි එම මාධ්‍යවේදින්ව පසුගිය වකවානුව තුළදී මරා දැමුවා ය යන තීන්දුවට එළඹිමට සිදුවී ඇතැයි වාමාංශික දේශපාලනඥ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ප‍්‍රකාශ කළේය.



ඔහු මෙම අදහස් ප‍්‍රකාශ කළේ ප‍්‍රගීත් එක්නැළිගොඩ මිතුරෝ සමඟ ජාතික විද්වත් මණ්ඩලය විසින් ජාතික පුස්තකාල ප‍්‍රලේඛණ සේවා ආයාතනයේදි ඊයේ පස්වරුවේ පවත්වන්නට යෙදුණු එක්නැළිගොඩ මතක ආවර්ජනා හමුවේදිය.

"මහා සටනක් කරමින් විශාල ප‍්‍රජාතන්ත‍්‍රවාදි අරගලයක් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආණ්ඩුවක් හැදුවත් ඒ ආණ්ඩුව ඇතුලෙත් රාජ්‍ය බලය තිබෙන්නේ කිසිදු අපරාධයක් සිදුනොවුනු ආකාරයකින් සිදුවු සියලු අපරාධ වසාගන්නට උත්සාහා දැරීමක්. නමුත් ඒකද විය යුත්තේ ? ප‍්‍රගීත්ව ගෙනිච්චේ කොහාටද ? කවුද ගෙනිච්චේ ? අල්ලගත්ත මිනිස්සුත් ඉන්නවා. හැබැයි විනිශ්චයක් දෙන්න බැරි මොන හේතුව මතද කියන එක ගැන අපි ඇත්ත කථා කරන්න  ඕනේ. තමන් සිංහලයෙක් වෙලත් දෙමළ මිනිස්සුන්ට වධහිංසා කරලා මරාදමන එක ගැන සොයපු එක්නැළිගොඩ, වීරයෙක්." යැයි ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ප‍්‍රකාශ කළේය.



එක්නැළිගොඩ මතක ආවර්ජනා හමුවේදි පූජ්‍ය දඹර අමිල හිමි ද සභාව ආමන්ත‍්‍රණය කළහ.

"යහපාලනයට අවුරුදු දෙකයි  -  ජනවාරිය තවමත් කළුයි”

අවසන් වශයෙන් ඊයේ පස්වරු 6.00 ට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදි කළු ජනවාරිය සිහිපත් කරමින් ඊට යුුක්තිය ඉටුවිය යුතුය කියා ඉල්ලා සිටිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කළ ආලෝක පූජාව පැවැත්විණි.