English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාර්ලිමේන්තුවෙන් - කොමිසන් වාර්තා කෝ ? කෝටි විසි හතක් වියදම් කරලා !

       


ජනාධිපතිවරයා විසින් රටේ සිදුවන ඇතැම් කලබැගෑනි වලදි, විශේෂයෙන්ම බලය පාවිච්චි කළ හැකි පිරිසකගේ, ආණ්ඩුවට සම්බන්ධතා ඇති පිරිසකගේ මැදිහත්කමින් යම් කිසි අර්බුදයන් රට තුළ හටගත්විට දී ජනාධිපතිවරයා හට එහි සැබෑ තතු දැනගැනීමේ අවශ්‍යතාවය මත සහ ඊට යුක්තිය සාධාරණය ඉටුකිරීම සඳහා යම් යම් කොමිසන් පත්කිරීම අනිවාර්ය රාජකාරියක් බව අපගේ අවබෝධයයි.

"ජනාධිපති කොමිසන් සභා" ලෙසට හැදින්වෙන එහෙත් විවිධ නම්වලින් සිදුකෙරෙන මෙම නොයෙකුත් කොමිසන් සභා සඳහා වැයකරන්නේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික භාණ්ඩාගාරයෙන් නොව මහජන භාණ්ඩාගරයෙනි. එබැවින් විවිධ වු ඒ කොමිසන් සභා පිළිබඳව දැන ගැනීමට කොමිසමට පාදක වන පිරිස්වලට මෙන්ම රටේ පොදු ජනතාවට ද අයිතියක් ඇත.

මේ කාරණාව පිළිබඳව ඊයේ (අගෝ 20), පාර්ලිමේන්තුවේදි කවදත් සිය කශේරුව කෙලින් තබාගෙන නිර්භයව  ප‍්‍රශ්න කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.  

2005 වසරේ සිට 2013 වසර දක්වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර ඇති කොමිසන් සභා ගණන දාහතකි(17) කි. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි විසිහතකි.

ඵ‍්‍රශ්නය මතුකළ අනුර කුමාර දිසානායක පවසන්නේ එම කොමිසන් සභාවලින් ජනතාවට හෝ රටට කිසිම ප‍්‍රයෝජනයක් සිදු වී නොමැති බවයි.

අද පාර්ලිමේන්තුවේදි ඇති වු කථාබහා පිළිබඳව බීබීසී සංදේශය හා අදහස් දක්වමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයාතනයේ ශාන් විජේතුංග මහතා පවසා ඇත්තේ, ඒ කොමිසන් සභා ජනාධිපතිවරයා පත්කළත් ඊට වැය වන්නේ මහජන මුදල් බැවින් එහි තොරතුරු දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති බවයි.

පසුගිය වසර අටක කාලයක සිට ජනාධිපතිවරයා පත්කළ කොමිසන් සභා 17කට විසිහත් කෝටියක් වැයකර තිබෙන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළ බව පවසන ශාන් විජේතුංග, මේ සා මුදලක් වැයකරමින් සිදුකර ඇති කොමිසන් සභාවල වාර්තාවන් පිළිබඳව දැනගන්නට නොහැකි වීම විශාල ගැටළුවක් බව සඳහන් කරයි.

වාර්තාවල තොරතුරු එළිනොදැක්විම සහ වාර්තා හරහා ක‍්‍රියා මාර්ගයන් නොගැනීම පිළිබඳව විජේතුංග මහතා සඳහන්කර ඇත්තේ, සිදුවිය හැකි විවිධ තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා නැතිනම් මතභේදයට තුඩුදෙන සිදුවීම් යටපත් කිරීමට මෙවලමක් ලෙසට මෙම කොමිසන් සභා පත්කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමට හේතු වශයෙන් වාර්තා ඉදිරිපත් නොවීම සහ වැරදිකරුවන්ට දඩුවම් නොදීම බලපෑ හැකි බව  ඔහු පවසා ඇත.  

රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් ඇති වු හැම අවස්ථාවකම ආණ්ඩුව ගන්නා පියවර වන්නේ ජනාධිපති කොමිසමක් පත්කිරිම බව පවසන අනුර කුමාර දිසානායක;
"කෝටි 20කට 30කට වඩා අධික මුදලක් වැයකරලා, මේ පාර්ලිමේන්තුවේ වෙන්කරන මුදල් වියදම් කරලා, මේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරිනම් මොකක්ද මේ පාර්ලිමේන්තුවෙන් සිදුවෙන්නේ ? අවි ආයුධ ගණුදෙනු පිළිබඳව අතුරුදහන් කිරිම් පිළිබඳව , විවිධ ඝාතනයන් පිළිබඳව,  හලාවත ඝාතනය පිළිබඳව කොමිසමක් පත් කළා, කටුණායක ඝාතනය පිළිබඳව කොමිසමක් පත් කළා, රතුපස්වල පිළිබඳව කොමිසමක් පත්කළා, රටේ විශාල ආන්දෝලනයකට පත්වන දෙයක් සිදුවුණාම හැමවෙලාවෙම කරන දෙයක් තමයි ජනාධිපති කොමිසමක් දානවා. හැබැයි අපිට අයිතියක් නැහැ කොමිසමෙන් මොකක්ද කියන්නෙ කියලා දැනගන්න."
 
පුුවත්පත්වල විශාල ශිර්සපාඨ දමමින් ජනාධිපතිවරයා මැදිහත්වෙයි, ත‍්‍රිපුද්ගල කොමිසන් , තනි පුද්ගල කොමිසන්, විශ‍්‍රාමලත් අයගේ කොමිසන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කොමිසන් යනාදි වශයෙන් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කළත් එම කිසිදු කොමිසමකින් ගෙනෙන කිසිම වාර්තාවක් ජනතාව නොදන්නා බවයි අනුර කුමාර දිසානායක පැවසුවේ. එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ඔහු කථානායක වරයාට යෝජනා කළේය.

ඊට පිළිතුරු දුන් ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේශ් ගුණවර්ධන කියා සිටියේ ඇතැම් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති බවයි. එහෙත් ඇතැම් ඒවා අධිකරණයට භාජනය වන කරුණු එමෙන්ම වෙනත් නීතිමය ගැටළු සඳහා ඉදිරිපත්කර තිබෙන ඒවා කියාය.

කෙසේවෙතත්, ජනාධිපති කොමිසන් සභා අතරින්, එල් එල් ආර් සී කොමිසම සඳහා රුපියල් මිලියන 18ක් ද , මානව හිමිකම් උල්ලංඝනය වීමේ තොරතුරු විමර්ශන කොමිසම සඳහා රුපියල් මිලියන 95ක් ද, පරරාජසිංහම් ඝාතන විමර්ශන කොමිසම සඳහා රුපියල් මිලියන 01ක් ද, අර්බුදයන්ට ලක්වු මුල්‍ය ආයතන පිළිබඳ විමර්ශන කොමිසම සඳහා රුපියල් මිලියන 25ක් ද, 2000 සිට 2005 දක්වා කාලය තුළ හමුදා මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ශන කොමිසම සඳහා රුපියල් මිලියන 12ක් ද, මාතලේ සමුහ මිනිවළ සම්බන්ධ කොමිසම සඳහා රුපියල් මිලියන 07ක් ද යොදවා ඇත.

පෞද්ගලීක විශ‍්‍රම වැටුප් අර්බුදය වෙනුවෙන් 2011 මැයි 30 වන දා කටුණායක වෙළෙඳ කළාපයේ කම්කරුවන් එක්ව දියත් කළ දැවැන්ත විරෝධතාවයේදි පොලිස් වෙඩිපහරට ලක් වි 2011 ජුනි 01දා ජීවිතය පිදු තම පුතා ගැන තවමත් ශෝක වන රොෂේන් ශානකගේ මව, මේරි ස්වරණකාන්ති මහත්මිය අයිතියට පැවසුවේ, "අපි තාමත් බලාගෙන ඉන්නේ කටුණායක ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත්කළ මහනාම තිලකරත්න කොමිසමේ වාර්තාව ලැබෙන තෙක්. ඒ අදාළ කටයුතු නිම වී තිබුණත් අපි තාම කිසිම ප‍්‍රථිඵලයක් ගැන දන්නේ නැහැ." යනුවෙනි.

"යන්නේ කොහෙද මල්ලේ පොල්" මෙන් අවසානයේදි, දේශපාලන කුහකත්වය ඉස්මතුකරමින් දිනේශ් ගුණවර්ධන ඇමතිවරයා ඔහුගේ පිළිතුර නිමකළේ "විජේවීර මරපු හැටි නම් අහන්නේ නැහැ"කියමිනි.

ඡයාරූප අන්තර්ජාලයෙනි

-MMP




2014-08-21
Advertisement

Find us on Facebook