English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්තිය: මේ දක්වා පාඩම් සහ ඉදිරි මාවත

ශ‍්‍රී ලංකාව තුළ නව වසර ආරම්භ වූයේ සංක‍්‍රාන්තික යුක්තියේ පැතිකඩවල් පිළිබඳව හට ගත් යම් ගාලගෝට්ටියක් සමග ය. ඊට බොහෝ දුරට හේතු වූයේ ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ (CTF) වාර්තාව නිකුත් වීම යි. දිවයින පුරා ප‍්‍රදේශවලින් අදහස් 7,000කට වැඩි ප‍්‍රමාණයක් සටහන් කර ගත් මේ වාර්තාව සංක‍්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් යෝජිත යන්ත‍්‍රණයන් පිළිබඳව ජනතා අදහස් විමසූ නිල වශයෙන් අනුමත පළමු ක‍්‍රියාවලිය වන අතර ප‍්‍රතිසන්ධානයේ තවත් තීරණාත්මක පැති බොහොමයක් පිළිබඳව ද සැකෙවින් අවධානය යොමු කරයි. වැදගත් මුල පිරීමක් වුව ද ප‍්‍රසිද්ධ කරළිය තුළ සාකච්ඡාවට ලක් වන්නේ හා බොහෝ මාධ්‍ය විසින් වාර්තා කෙරෙන්නේ වාර්තාවේ යම් පැතිකඩවල් පමණක් වන අතර මේ දක්වා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එය පිළිගෙන නැත. ජනවාරි 3 දින පැවති වාර්තාව භාර දීමේ උත්සවය මත් බොහෝ දේ කියා පායි. මුල දී 2016 අග පැවැත්වීමට සැලසුම් කළ මේ උත්සවය පසුව 2017 ආරම්භයේ පැවැත්වීමට තීරණය කෙරුණු අතර වාර්තාව භාර ගැනීම සඳහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා පැමිණෙන බව ද ඇඟවිණ. එහෙත් ජනවාරි උත්සවයේ ඔවුහු නිකමට වත් පෙනී නො සිටියහ. ඒ වෙනුවට වාර්තාව රජයේ අමාත්‍යවරුන් ද විපක්ෂ නායකයා ද නිලධාරීන් ද ඉදිරියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට භාර දෙන ලදි.

ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්තියට අදාළ ප‍්‍රධාන ගැටලූ විභාග කරමින් මෑත වසරවල දී ඉදිරිපත් කරන ලද බොහෝ වාර්තා අතරින් එකක් වන ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවට නායකත්වයෙන් නිල ප‍්‍රතිචාරයක් නොලැබීමට හේතු වශයෙන් තරගකාරී ක‍්‍රියාවලි, ප‍්‍රමුඛතාකරණය, කාර්ය බහුල න්‍යාය පත‍්‍ර, උනන්දුවක්/කැප වීමක් නොමැතිකම යනාදි ගැටලූ ගණනාවක් දැක්විය හැකි ය. එසේ ම, ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව (වෙළුම් තුනකින් සමන්විත) දැවැන්ත එකක් වන අතර බොහෝ දෙනෙකුට එය කියවීම වෙහෙසකර කටයුත්තකි. එහෙත් ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකාය ඉටු කළ ප‍්‍රශංසනීය කර්තව්‍යයක් නම් භාෂා තුනෙන් ම සාරාංශ ඇතුළත් කළ විධායක සාරාංශයක් හා නිර්දේශ සහිතව පිටු 100කට මඳක් වැඩි වඩාත් කෙටි වෙළුමක් නිර්මාණය කිරීම යි. ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රතිසන්ධානයේ විවිධ පැතිකඩවල් හා අංග පිළිබඳවත් දිවයින පුරා දහස් ගණනකගේ අදහස් අවබෝධ කර ගැනීමටත් උනන්දුවක් දක්වන යමෙකු වේ නම් සම්පූර්ණ වාර්තාව ම කියවන ලෙස නිර්දේශ කරනු ලැබේ. ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව පොහොසත් විස්තරයක් පමණක් නො ව බොහෝ අභියෝග හා සංකීර්ණතා මෙන් ම ශ‍්‍රී ලංකාව තුළ සාමය හා ප‍්‍රතිසන්ධානය උදෙසා අවස්ථාවක් සලසා ගැනීමට නම් ක්ෂණික ක‍්‍රියාව අවශ්‍ය බව සිහිපත් කරන්නක් ද වේ.

නව වසරේ දී මුහුණ දීමට සිදු වන අභියෝග

ආණ්ඩුව තුළ සිටින සමහරුන් ද මාධ්‍යය තුළ සිටින බොහෝ දෙනෙකු ද විදෙස් විනිසුරුවන්ගේ සහභාගිත්වය සහිත දෙමුහුම් වග වීමේ යන්ත‍්‍රණයක් පිළිබඳව ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකාය කර ඇති නිර්දේශය අවබෝධ කර ගෙන ඇත්තේ යන්තමින් බව පෙනේ. දෙමුහුම් යන්ත‍්‍රණයක් පිළිබඳ කලබැගෑනිය අලූත් එකක් නො වේ. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අතීත අපයෝජන පිළිගෙන සත්‍යය, යුක්තිය, හානිපූරණ හා නැවත ඇති නොවීම යන සංක‍්‍රාන්තික යුක්තියේ පදනම් හතරට අදාළව පියවර ගැනීමට එකඟ වූ පළමු වතාව බැවින් 2015 ඔක්තෝබරයෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) දී ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව ඓතිහාසික විය. මෙම පදනම් හතර සිව් වැදෑරුම් යන්ත‍්‍රණයන් හතරක් (විශේෂ අධිකරණයක් හා විශේෂ උපදේශකවරයාගේ කාර්යාලයක්, සත්‍යය සෙවීමේ කොමිසමක්, අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්(OMP) හා වන්දි සහන කාර්යාලයක්) ද නීති ප‍්‍රතිසංස්කරණයන් ද, විශ්වාසය ගොඩ නැගීමේ පියවරයන් ද වෙනත් පියවරයන් ද ඇතුළු සුවිශේෂ කැප වීම් බවට පරිවර්තනය කරන ලදි.

යෝජනාව සම්මත කෙරුණු වහා ම රජයේ බොහෝ නායකයෝ විදෙස් විනිසුරුවන්ගේ සහභාගිත්වය උදෙසා කැප වීමෙන් ඈත් වී ගත්හ. ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ නිර්දේශය මෙම විරුද්ධත්වයට යළි පණ දුන්නා පමණකි. මේ තනි ගැටලූව පිළිබඳව මහ හඬින් අදහස් දක්වන අයට අනෙක් බොහෝ සොයා ගැනීම් හා නිර්දේශයන් මග හැරී ගොස් ඇති බව පෙනේ. ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකාය සත්‍යය පැවසීමේ යන්ත‍්‍රණයක්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය, හානිපූරණ, විශ්වාසය ගොඩ නැගීමේ පියවරයන්, මනෝ සමාජ ගැටලූ හා වෙනත් ක්ෂේත‍්‍ර ගණනාවක් ද සවිස්තරාත්මකව විස්තර කරයි. වාර්තාව කියවීම සඳහා කාලය වෙන් කර ගන්නා අයට විවිධ ගැටලූ මාලාවක් ද ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්තියේ ඉමහත් සංකීර්ණතාව ද මුණ ගැසෙනු ඇත.

සංක‍්‍රාන්තික යුක්තිය ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නො වේ. දේශීය ක‍්‍රියාවලි තුළ ජාත්‍යන්තරයන් සහභාගි වීම පිළිබඳ ගැටලූව ද අලූත් දෙයක් නො වේ. කලින් පැවති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පාඩම් උගෙනීම සඳහා සහ ආගිය අතක් නැති පුද්ගලයන් ඇතුළු අතීත අපයෝජනයන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය මුල පිරීම් කිහිපයක් නියම කළේ ය. උඩලගම කොමිසම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (LLRC) හා පරණගම කොමිසම ඒ අතරින් වඩාත් ප‍්‍රකට මුල පිරීම්වලින් කිහිපයක් වන අතර ඉන් දෙකක දී ජාත්‍යන්තර සම්බන්ධය පැවතිණ. 2014 දී ජනාධිපති රාජපක්ෂ පත් කළ පරණගම කොමිසමේ උපදේශක මණ්ඩලයේ නිල කාලය සිරිසේන ආණ්ඩුව විසින් දීර්ඝ කෙරිණ. අතීත අත්දැකීම් සහ යෝජනා කෙරෙමින් පවතින දෙය අතර වෙනස්කම් පවතින නමුත් අදහස් දක්වන අය අතීත අත්දැකීම් හැදෑරීම සඳහාත් දඬුවම් නොලැබීම පිළිබඳ ගැටලූවට ශ‍්‍රී ලංකාව තුළ දී විසඳුම් සෙවීමට නම් සුවිශේෂ කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා ජාත්‍යන්තරයන් අවශ්‍ය මන්ද යන්න හැදෑරීම සඳහාත් මොහොතක් ගත කිරීම සුදුසු ය.

ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලියට ආරම්භයේ සිට ම අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇත. 2016 ජූනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ වාචිකව කරන ලද යාවත්කාලීන කිරීමේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ද ඇතුළු කිහිප දෙනෙකු විසින් අවධාරණය කරන ලද නමුත් සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ඒකාබද්ධ ක‍්‍රමෝපායක් නො පවතී. එපමණක් නො ව, 2015 දී තමන් කැප වූයේ කුමකට ද යන්න සහ වර්තමානයේ දී සිදු වෙමින් පවත්නේ කුමක් ද යන්න ප‍්‍රමාණවත් ලෙස සන්නිවේදනය කිරීමට හා පැහැදිලි කිරීමට ද ආණ්ඩුව අසමත් වී ඇත. 2016 අගෝස්තුවේ දී සම්මත කරන ලද අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ නීතිය ආශ‍්‍රිතව ප‍්‍රජාව වෙත පුළුල්ව ළඟා වීමේ වැඩසටහනක් හඳුන්වා දීමට ආණ්ඩුව අසමත් වීම නිසා සිවිල් සමාජයේ බොහෝ දෙනෙකුට මැදිහත් වීමටත් යෝජිත නීතියෙන් මුදුන් පමුණුවා ගැනීමට අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න පැහැදිලි කිරීමටත් සිදු විය. බොහෝ තාක්ෂණික ගැටලූවලට අමතරව සංක‍්‍රාන්තික යුක්තිය මුහුණ දෙන අතිමූලික ගැටලූවක් වන්නේ දේශපාලනික කැප වීමක් හා නායකත්වයක් නොමැතිකම යි.

2015 දී ප‍්‍රතිඥා දුන් බොහෝ කැප වීම් ඉටු කිරීමට නොහැකි වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ධාරිතාව නොමැතිකමක් හෝ ප‍්‍රජාව වෙත ළඟා නොවීමක් පමණක් ම නො වේ. එය ඊට වඩා වැඩි දෙයකි. සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය උදෙසා දේශපාලනික නායකත්වයක් නොපැවති අතර එම තත්ත්වය දිගින් දිගට ම පැවතී ගෙන යයි. ජනවාරි 3 දින උත්සවයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අදහස් දක්වා ඇති නමුත් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රතිසන්ධානයේ තීරණාත්මක පැතිකඩකට දේශපාලනික නායකත්වයක් ලබා නොදීම හා ඒ සම්බන්ධ නොහැකියාව අලූත් දෙයක් නො වේ. මෙම අභියෝගයන් ද තවත් ඒවා ද ආණ්ඩුව හමුවේ දිගින් දිගට ම පවතිනු ඇති අතර වහා ම අවධානය යොමු නොකළ හොත් අතීතය සමග ගනුදෙනු කිරීමට ශ‍්‍රී ලංකාවට ලැබී ඇති අද්විතීය අවස්ථාව අහිමි වී යා හැකි ය.

2017 දී ඊළඟට කුමක් ද?

2017 මුල් දින කිහිපය තුළ ගාලගෝට්ටියක් පැවතිය ද ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්තිය සම්බන්ධ අනාවැකිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි ය. 2015 සිට මේ දක්වා කාලය තුළ ඔප්පු කළ හැකි ප‍්‍රගතියක් සිදු වී ඇත්තේ ඉතා සීමිත වශයෙනි. පමා වීම් හා අකාර්යක්ෂමතා බොහෝ දෙනෙකු තුළ අපේක්ෂා භංගත්වය හා සැකය ඇති වීමට හේතු වී ඇත. වඩාත් බලාපොරොත්තු තබා සිටි අය 2015 දී ප‍්‍රතිඥා දුන් කැප වීම් මුළුමනින් ක‍්‍රියාත්මක කිරීම නුදුරු අනාගතයේ දී සිදු විය නොහැකි යැයි විඩාපත්ව සිටිති. එහෙත් ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව හා තවත් වාර්තා කිහිපයක් ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප මේ මොහොත ඉකුත්ව යාමට ඉඩ නො දිය යුත්තේ මන්දැයි සිහිපත් කරයි.

2017 මාර්තුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසියට 2015 කැප වීම් සම්බන්ධ ප‍්‍රගතිය වාර්තා කිරීමට සිදු වනු ඇත. සැසියට පෙරාතු සතිවල දී කැප වීම් ආශ‍්‍රිතව යම් වර්ධනයන් සිදු විය හැකි ය. ජීඑස්පී ප්ලස් ආශ‍්‍රිතව කෙරෙන සාකච්ඡා ද සලකා බැලෙමින් පවතින සමහර ක්ෂේත‍්‍රවලට පීඩනයක් එල්ල කරනු ඇත. ප‍්‍රගතිය අවශ්‍ය නමුත් හරය හා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලූ පවතී. අතුරුදන් වූවන්ගේ කාර්යාලය සම්බන්ධ ක‍්‍රියාවලිය දර්ශකයක් නම් සිවිල් සමාජය හා අනෙක් අය විනිවිද භාවයෙන් යුතු වූත් සියලූ පාර්ශ්වයන් ඇතුළත් කර ගත්තා වූත් ක‍්‍රියාවලියක් අවශ්‍ය යැයි ද යෝජිත නීතිය හා යන්ත‍්‍රණයන් විපතට පත් වූවන්ගේ දුක් ගැනවිලිවලට විසඳුම් සපයන බව සහතික කළ යුතු යැයි ද අඛණ්ඩව පීඩනය යෙදිය යුතු ය. ආණ්ඩුව සත්‍යයෙන් හා හානිපූරණයෙන් නතර නොවනු ඇති බවත් වග වීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කෙරෙන බව හා 2015 කැප වීම් දුර්වල නොවන බවත් සහතික කරමින් අනුපිළිවෙළින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න නැගිය යුතු ය.

මේ වසරේ මුල් මාස කිහිපය තුළ දී සමහර කැප වීම් සම්බන්ධයෙන් වර්ධනයක් දැක ගැනීමට පිළිවන් විය හැකි නමුත් 2017 මාර්තුවෙන් ඔබ්බට ද එම වර්ධනය පැවතී ගෙන යන බවට සහතිකයක් ලෙස එය නො සැලකිය යුතු ය. කැප වීම් සම්බන්ධයෙන් මේ දක්වා අත් කර ගෙන ඇත්තේ සීමිත ප‍්‍රගතියක් බැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දිගින් දිගට ම ශ‍්‍රී ලංකාව සමග සම්බන්ධ වීමත් තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් වාර්තා කරන්නැයි ඉල්ලමින් පසු දිනෙක පුළුල් යෝජනාවක් ඉදිරිපත් කිරීමත් තීරණාත්මක ය. මේ දක්වා අත් කර ගෙන තිබෙන සීමිත වර්ධනය සහ ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බොහෝ අභියෝග වනාහි 2017 මාර්තුවෙන් ඔබ්බට ද අඛණ්ඩව සහාය අවශ්‍ය කරන බව පෙන්වා දෙන දර්ශකයකි.

අවසන් වශයෙන් කිව යුත්තේ ක්ෂණික හා සංකේතාත්මක පියවරයන්ගෙන් ඔබ්බට යමින් වඩාත් පුළුල් ව්‍යූහාත්මක ගැටලූ ඉලක්ක කර ගත් වඩාත් දීර්ඝ කාලීන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව යි. ආණ්ඩුව ජනවාරි 8-14 කාලය ‘ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන සතිය’ ලෙස සංවිධානය කළ නමුත් එවැනි සංකේතාත්මක ඉඟි කිරීම් පසු පසින් සැබෑ ක‍්‍රියාව සිදු විය යුතු ය. ක‍්‍රියාව යනු කොටුවල හරි ලකුණු දැමීමේ අභ්‍යාසයකැයි දැක ගැනීම හෝ ජාත්‍යන්තර ක‍්‍රියාකාරකයන්ගේ හෝ වෙනත් ක‍්‍රියාකාරකයන්ගේ අණ පරිදි ඉටු කිරීම ද නොකළ යුතු ය. 2017 මේ දක්වා කාලය තුළ සංක‍්‍රාන්තික යුක්තියේ සමහර පැතිකඩවල් ප‍්‍රවෘත්ති තුළ දිස් වී ඇති නමුත් වසරේ ඉතිරි කාලය තුළ දී වාගාලාපවලින් හා හිස් පොරොන්දුවලින් ඔබ්බට වර්ධනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2017 වසර ආණ්ඩුව හා එහි නායකයන් ශ‍්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ අදහස් සැලකිල්ලට ගන්නා වූත් පුළුල් ක‍්‍රමෝපායක් පදනම් කර ගත් සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලියක් සැලසුම් කරන්නා වූත් වසර විය යුතු යි. ශ‍්‍රී ලංකාව අතීතය සලකා බැලීමට නම් එය අත්‍යවශ්‍ය වේ.

(English Article here)

භවානි ෆොන්සේකා | Bhavani Fonseka


උපුටා ගැනීම - විකල්ප

පිංතුරය - අන්තර්ජාලයෙන්


- මෙලනි






2017-01-15
Advertisement

Find us on Facebook