English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තෙවැනි වසරෙහි ජනපතිට අභියෝග !


මෙම ඉරිදායින් ඇරඹෙන්නේ සිරිසේන ජනාධිපතිධූරයේ තෙවැනි වර්ශයයි. පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ වසර පහ අවසන් වීම මෙම වසර අවසානයේදී ඇරඹෙයි. සිරිසේන ලකුණ මෙරට සමාජ දේශපාලන දේහයෙහි කල්පවත්නා එකක් බවට පත්වන්නේද යන්න තීරණය වීමද ඉදිරි තෙවසර තුලදී නිශ්චය වනු ඇත.

මෙරට විධායක ජනාධිපතිධූරය ඇති කිරීමෙන් පසු බහුතර ජන්දයෙන් පත්වූ ජනාධිපතිවරු හතර දෙනෙකු සිටියහ. ජේ. ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, වන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යනු ඒ සතර දෙනාය.

ජේ.ආර්. ජයවර්ධන හොඳ සහ නරක යන දෙකටම ඉතිහාස ගත වී තිබේ. ඔහු ශ්‍රී ලංකා ආර්ථිකය මෙන්ම සමාජය සහ දේශපාලනය ද ලෝකයට විවෘත කළේය. ඔහුගේ දේශපාලනය මර්දනකාරී එකක් විය. එසේ වතුදු මෙරට නිදහස් වෙළද කලාප යනාදිය ඇති කිරීමෙහි සහ කඩිනම් මහවැලි ව්‍යාපාරයෙහි සිය ළකුණ තැබීමට ඔහු සමත්විය. එමෙන්ම පළාත් සභා ක්‍රමයද ජේ.ආර්. සමයේ දායාදයකි.

ජනාධිපති ප්‍රේමදාසට යුද්ධ දෙකකට එකවර මුහුණ දීමට සිදුවී තිබුණි. අවසානයේදී එහිම විපාකයක් ලෙස ඔහුගේ ජීවිතය ද ජනාධිපතිධූර කාලය ද අකල්හි අවසන් විය. ජේ.ආර්.ගේ මර්දනකාරීත්වයම පෙරට ගෙන ගිය ඔහු සම්බන්ධ සාධනීය මතකය වන්නේ ගම්උදා වැඩ සටහනයි.

කණගාටුවකට මෙන් සිය ළකුණ මෙරට සමාජ ආර්ථික දේශපාලන කවර ක්ෂේත්‍රයක හෝ කවර ආකාරයකින් හෝ සනිටුහන් කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ඉතිහාස ගත වෙයි. ඇයගේ සමයෙහි අධ්‍යාපන ක්ෂේත්‍රෙයෙහි මුලපුරන ලද සාධනීය වෙනස්කම් විරස්ථායි කිරීමට ඇයට නොහැකි විය.

මහින්ද රාජපක්ෂ වැඩකරුවකු විය. ඔහුට යුද්ධය අවසානයක් කරා ගෙන ගියේ ශ්‍රී ලංකාව දූෂණයෙන් පිරි අදුරු දේශයක් බවට පත් කරමින් පවුල් පාලනයක් ස්ථාපිත කර ගනිමිනි. එසේ වුවත් ඔහු යුද්ධය අවසන් කළේය. මංමාවත් සහ ගොඩනැගිලි ඉදි කළේය. කොලඹ දකුණු ආසියාවේ පිරිසිදුම නගරය බවට පත් කළේය.

ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වූ දශක තුනක කාල පරිච්ජේදය පුරා මෙරට මත යුද්ධයේ අඳුරු සෙවණැල්ල වැටී තිබුණි. දැන් එලඹ ඇති ජනාධිපති සිරිසේන කාල පරිච්ජේදය මර්දනයෙන් සහ යුද්ධයෙන් තොර එකම විධායක ජනධිපතිධූර කාලයයි. එනයින් මෙකල අවස්ථාද අභියෝගය පුළුල්ය. වෙනස්ය.

යුද්ධයේ විපත් ආමන්ත්‍රණය කරමින් මෙරට සාමකාමී සහජීවනය සහ සමාජ සාධාරණත්වය ගොඩනැගීම අද පවත්නා පුළුල්තම අභියෝගය බව නිසැකය. ඒ සඳහා ආර්ථික සහ දේශපාලන දියුණුව නැතිව බැරිය. එම අභියෝගයට මුහුණ දීම සමස්ත ආණ්ඩුවේම කාරියයි. නූතනත්වයට ගැලපෙන අයිතීන් මත පදනම් වූ නව ව්‍යවස්ථාවක් මෙරටට උරුම කර දීමට හැකි වුවහොත් එය සිරිසේන – වික්‍රමසිංහ දේශපාලන එකතුවෙහි ඉහළම ලකුණ බවට පත්වනු නිසැකය.

එසේ නමුත් හුදෙක් ව්‍යවස්ථාවක් මගින් හෝ යුක්ති යාන්ත්‍රණයන් මගින් හෝ ඉබේ නොවිසදෙන දැවෙන ප්‍රශ්ණ තුනකට මෙරට ජනයා මුහුණ දෙයි. එම ප්‍රශ්ණ හුදෙක් ධනවාදී ආර්ථික වර්ධනයක් විසින් විසදන්නේද නැත. එම ක්ෂේත්‍ර තුන නම් අධ්‍යාපනය, පොදු ප්‍රවාහණය සහ සෞඛ්‍යයි. මෙම ක්ෂේත්‍ර තුනම අද පුද්ගලීකරණ ක්‍රියාවළියේ භයානක ගොදුරු බවට පත්ව තිබේ.

අද මෙරට අධ්‍යාපන අවස්ථා සමාජ පන්තීන් අනුව විෂම ලෙස බෙදී ගොස් ඇත. මුදල් ඇතොත් පමණක් ලබා ගත හැකි අධ්‍යාපනික දැනුම අති විශාලය. ලෝකයේ කිසිදු දියුණු රටක නැති ටියුෂන් ජාවාරම නම් අධ්‍යාපන වෙළදුන් විසින් විසින් මෙරට දරුපරපුර බිල්ලට ගෙන තිබේ. ඔව්හු දැන් දේශපාලන පංතියේ කොටස්කරුවන් වන අතර සෑම දේශපාලන පක්ෂයකම හිමිකරුවෝද වෙති. සියල්ලටමත් වඩා මෙරට අධ්‍යාපන ක්‍රමයද අන්තර්ගතයද පවතින්නේ දශක ගණනාවකට පසු පසිනි. ඊට එක් හේතුවක් නම් අවශ්‍ය තරම් මුල්‍ය සහ ශ්‍රාස්ත්‍රඥ සම්පත් නොමැතිකමයි. නූතන ලෝකයට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම දිගටම පවතින්නේ කුඩා සමාජ පංතියක අධිකාරය ලෙසය. අධ්‍යාපනයෙහිද අධිකාරය දරන රාජකීය බමුණු කුළය බිඳ දැමිය හැක්කේ එම බමුණු කුළයට අයත් නොවන පොදු ජනයාගේ හඳ ගැස්ම දන්නා දේශපාලනඥයකුට පමණි.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රෙයහි සුසමාදර්ශී වෙනසක් ඇති කිරීම අද අත්‍යවශ්‍යය. කළ යුතු වෙනස්කම් පිළිබඳ ඇති තරම් පර්යේෂන වාර්තා තිබේ. අවශ්‍ය කරන්නේ වැඩට බැසීමය.

ඊළගට සෞඛ්‍ය සේවා දෙස බලමු. අද හදිසි ශල්‍යකර්මයක් කර ගැනීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා ඇති එකම පිහිට පුද්ගලික රෝහල් පමණි. රජයේ රෝහල්හි (හදිසි අනතුරු සහ දරු උපත් හැරුණ විට) සෑම ශල්‍යකර්මයක් සඳහාම වාගේ නම් ලැයිස්තු පෝලිම් තිබේ. ශල්‍යකර්ම සඳහා ලක්ෂයක් දෙකක්, තුනක්, හතරක් පමණක් නොව දශ ලක්ෂයක් ඉල්ලා සිටින එවැනි පුද්ගලික රෝහල්වලින් මේ දේශය දැන් පිරී තිබේ.

දඹුල්ල ප්‍රශයෙහි මා දන්නා ගෙවිලියකට වකුගඩුවෙහි ගල් ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට මාර්තු මාසය වන තුරු සිටන්නැයි කුරුණෑගල රෝහල දන්වා තිබුණි. ඔවුන්ට සිදුවූයේ කොළඹ පැමිණ දහ දහස් ගණනක් ගෙවා එම පරීක්ෂණය පුද්ගලික රෝහලකින් කර ගැනීමටය. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගිනිකන විශේෂඥ වෛද්‍ය සේවා ඇත්තේ කුමන දියුණූ රටකද? එක් රෝගියකු බැලීමට 2500ක් අය කරන එක් දිනකට රොගීන් සියයකට වඩා බලන වෛද්‍ය විශේෂඥයින් සිටින්නේ කුමන රටෙහිද? ඒ ආණ්ඩුවේ රෝහල්හි සේවය කරන අතරය!.

පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මායාකාරී වෛද්‍ය රක්ෂණ ලබා දීමෙන් හෝ ඖෂධ කිහිපයක මිල අඩු කිරීමෙන් හෝ මෙම පුද්ගලීකරණ සාපයෙන් මෙරට සෞඛ්‍ය සේවාව මුදා ගත නොහැක. මෙරට පුද්ගලික සෞඛ්‍ය සේවාව සහමුලින්ම අපාලිතය. අමානුෂිකය.

අවසාන කාරණය නම් පුද්ගලික මගී ප්‍රවාහනයේ නාමයෙන් මෙරට පවත්නා ගසාකෑම පමණක් මූලික කරගත් ජාවාරමයි. ජේ.ආර්. ජයවර්ධන සහ ලෝක බැංකුව එක්ව මෙරට මගී ප්‍රවාහණය පුද්ගලීකරණය කළදා සිට මෙදා වනතුරු මගියා ගෙවන මුදලට ටිකට් පතක් ලබාදීමට අසමත්ව සිටින මේ ජාවාරම මෙරට ජනයා පෙළන රාක්ෂයකු හා සමානය. ලංගම පැවැති සමයෙහි තිබූ මගී ආරක්ෂාව අද ඇත්තේම නැත.

තනි තනි බස් හිමියන් විසින් පවත්වාගෙන යන මගී ප්‍රවාහණ සේවාවක් කිසිසේත්ම මහජන සේවාවක් ලෙස නිසි මඟට ගත නොහැකිය. මගී ප්‍රවාහණ සේවාවක් මහජන සේවයක් ලෙස පවත්වා ගෙන යෑමට නම් රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. අද මෙරට ත්‍රී රෝද රථ වසංගතයට හේතුවද මගී ප්‍රවාහනයේ ඇති අසාර්ථකත්වයයි. පුද්ගලික බස් හිමිකාරකම ද ටියුෂන් ජාවාරම මෙන්ම අද දේශපාලන පංතියට සම්බන්ධය. එහි සාධනීය වෙනසක් නොවීමට එක් හේතුවක් එයයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ මගී ප්‍රවාහනය උදෙසා මෙරට පොදු ජනයා අද තමන්ට දැරිය නොහැකි වියදමකට කර ගසති. එමගින් සිදුවන්නේ ජීවිතයෙහි සතුට සහ සැපත වෙනුවෙන් වැය කළ හැකි සම්පත් හීනවීමයි. යහපත් ප්‍රවාහණ සේවාවක් ඇතොත් මෙරට මැද පංතික පිරිස් අත ඉතිරිවන අද ත්‍රීරෝද සඳහා කැරෙන වියදම කොපමණ විය හැකිද? පාසැල් අධ්‍යාපනය යහපත් නම් ටියුෂන් කඩ වෙනුවෙන් වැය කැරෙන මුදල් සමාජීය ජීවිතය සඳහා නොයෙදවෙනු ඇත්ද?

අධ්‍යාපන කඩ, සෞඛ්‍ය කඩ සහ ප්‍රවාහන කඩ! මේ ක්ෂේත්‍රයන් මහජන සේවා බවට පත් නොවන රටක් මානුෂික නොවේ. ශ්‍රී ලංකාව හොර ජාවාරම්කරුවන්ගේ පරාදීසයක් කිරීමේ නව නිදහස්වාදය වෙනුවට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් බවට පත් කිරීමට නම් එම වෙනස අවැසිමය.

එවැනි වෙනසක් මගින් පිහිටුවෙන දේශපාලන ළකුණ සදාකාලික වනු ඇත.

සුනන්ද දේශප්‍රිය

- මෙලනි





2017-01-06
Advertisement

Find us on Facebook