English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනපතිගේ වැදගත්ම පොරොන්දුවත් ගිලිහී යාද?
ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන තවමත් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතුය යන ස්ථාවරයේ සිටියි. ඒ සමඟම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවද ලැබෙන හැම අවස්ථාවකදීම කියයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව නැගෙන අන්ත ජාතිකවාදී විවේචනවලටද ශක්තිමත්ව පිළිතුරු දෙයි. 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවමඟුලේදී එහිමියන්ගේ දෙන ඉදිරියේදීත් ජනාධිපති සිරිසේන මහතා, තමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව තිරසරව කියා සිටියේය.



එහෙත්, ආණ්ඩුවේ මෛත්‍රී පාර්ශ්වයේ සෙසු පිරිස හා ශ්‍රීලනිප කණ්ඩායම තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වුවමනාවක් හෝ කැමැත්තක් හෝ තිබෙන බවක් නොපෙනෙයි. ජනාධිපති ක්‍රමයේ වෙනසක් ගැන ඔවුන් කියන නමුත්, එය ජනමත විචාරණයකට නොගොස් කරන්නට පුළුවන් දේ පමණක් කරන සීමාවේ නවත්වාගන්නට ඔවුන්ට අවශ්‍යව තිබෙන බව ඒ සමහර අය විවිධ තැන්වල කියන කරන දෙයින් පැහැදිලි වෙයි.

ඔවුන්ගේ තර්ක කිහිපයකි. එකක්, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම රටේ දේශපාලන ස්ථාවරත්වයට හා ආරක්‍ෂාවට හානියක් බවය. දෙවැන්න, එමගින් කේන්ද්‍රයේ බලතල දුර්වල වී පරිධියේ බලතල වැඩිවීමෙන් පාලනයේ අර්බුදයක් හටගත හැකි බවය. හෙවත් බෙදුම්වාදී බලවේග නැවතත් ශක්තිමත් විය හැකි බවය. තුන්වැන්න, ඒකාබද්ධ විපක්‍ෂය ජනමත විචාරණයකදී නව ව්‍යවස්ථා කෙටුම්පතක් පරාජය කිරීමට ඉඩ තිබෙන බවය. එවැන්නක් සිදුවුණොත් නැවතත් කිසිදා නව ව්‍යවස්ථාවක් ඇතිකරගත නොහැකි වනු ඇති බවය. ඔවුන්ගේ ජනප්‍රිය තර්කය නම් ජනමත විචාරණයකදී ව්‍යවස්ථා කෙටුම්පත පරාජය වනු ඇති බවය.මේ නිසා, ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ප්‍රමාණයට ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම ප්‍රමාණවත් බවද ඔවුන්ගේ මතයයි.

ඇත්ත වශයෙන්ම කිව්වොත්, ජනමත විචාරණයක් අවශ්‍ය නොවන තත්ත්වයේ ව්‍යවස්ථා සංශෝධනයක් යනු කිසිවක් සිදු නොවන තත්ත්වයකි. පසුගිය සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ‘නිදහසේ වේදිකාව’ සංවිධානය කළ, කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී නීතිඥ නිරාන් අන්කටෙල් කිව්වේ, ජනමත විචාරණයකින් තොර ව්‍යවස්ථා සංශෝධනයක් යනු කිසිවක් සිදු නොවන, නිකම්ම නිකම් පුස්සක් බවයි. ඊට ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔහු පෙන්වා දුන්නේය.පළමුවැන්න, ජනමත විචාරණයකින් තොරව සංශෝධනය කළ හැකි උපරිම දුරට වර්තමාන ව්‍යවස්ථාව දැනටමත් සංශෝධනය කොට තිබේ.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු අප මේ වන විට ඉදිරියට ම තබා ඇති ව්‍යවස්ථාමය පියවරයි. එහිදී යම් ප්‍රමාණයකට ජනාධිපතිව රයාගේ බලතල අඩුකරන ලදි. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5 දක්වා අඩුකළ අතර, ජනාධිපති ධුර වාර ගණන දෙකකට සීමා කෙරිණි. පාර්ලිමේන්තුව විසිරවිය හැක්කේ අලුත් ආණ්ඩුවක් පත්වී අවුරුදු හතරහමාරකට පසුව බවටද නියම කරන ලදි. අධිකරණය ඉදිරියට ජනාධිපතිවරයා කැඳවිය හැකි අවස්ථාද කිසියම් ප්‍රමාණයකට ලිහිල් කරන ලදි. එහෙත්, මේ සංශෝධනවලින් විධායක ජනාධිපති ක්‍රමයේ හරයාත්මක වෙනසක් සිදු නොවන බව පැහැදිලිය. එනිසා තවමත් ඉන්නේ සුළු බලතල අඩුවීමක් පමණක් සහිත පරණ විධායක ජනාධිපතිවරයාමය. ඒ විධායක ජනාධිපති ධුරයේ අසීමාන්තික ඒකාධිකාරී බලතල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිසිසේත් පාවිච්චි නොකරන අතර, එය ඔහුගේ සුවිශේෂ යහපත් ගුණාංගයක් විනා නොහැකියාවක් නොවන බවද සැලකිය යුතුය. විධායක ජනාධිපති ක්‍රමයේ හරයාත්මක වෙනසක් කිරීම යනු, ජනාධිපතිවරයාගේ බලතලවලින් සැලකිය යුතු කොටසක් පාර්ලිමේන්තුවට පැවරීම හෝ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධානියා වන අගමැති ජනාධිපතිවරයාගේ කාර්යයන්වලට සැලකිය යුතු ප්‍රමාණයකින් හවුල් කර ගැනීම හෝ වෙයි. එවිට ජනාධිපතිවරයාගේ බලතල සංකෝචනය වී පාර්ලිමේන්තුවේ බලය වැඩිවෙයි.

19 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පෙත්සම් 19ක් ආවේය. එම පෙත්සම් විභාග කරමින්, ජනාධිපති වරයා තනිවම ක්‍රියාත්මක කරන බලයට අගමැති වරයාද හවුල්කර ගැනීමට යෝජනා කළ විධිවිධාන ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ, ඒවා සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියකට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බවයි. එනම්, අගමැතිවරයා ඇමති මණ්ඩලයේ ප්‍රධානියාය, ඇමති මණ්ඩලයේ ඇමතිවරුන් ගණන, ඔවුන්ගේ විෂයයන් තීරණය කළ යුත්තේ අගමැතිවරයාය, අමාත්‍ය මණ්ඩලයට පවරන ලද විෂයයන් වෙනස් කිරීමේ බලය අගමැතිට ඇත, ඇමති මණ්ඩලයේ නොවන ඇමතිවරුන් තීරණය කිරීම, ඔවුන්ට පවරන විෂයයන් තීරණය කිරීම, ඇමති මණ්ඩලයේ ඇමතිවරුන්ගේ විෂයයන් ඇමති මණ්ඩලයේ නොවන ඇමතිවරුන්ට පැවරීම වැනි, ජනාධිපතිවරයා විසින් එතෙක් තනි කැමැත්ත මත පවත්වාගෙන ආ බලතලවලට අගමැතිගේ හවුල්කාරිත්වයක් යෝජනා කරන විධිවිධානවලට තුනෙන් දෙකක කැමැත්ත ප්‍රමාණවත් නොවන බවත්, ජනමත විචාරණයකදී අනුමැතිය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේය. ඊට අමතරව ඡන්දයක් පැවැත්වෙන කාල පරාසය තුළ රජයේ හා රජයේ නොවන මාධ්‍ය ආයතනවලට අවශ්‍ය වූ විට නිසි බලධාරියකු පත්කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත, රාජ්‍ය ආයතනවලට හා රාජ්‍ය සංස්ථාවලට අයත් චංචල නිශ්චල දේපළ පිළිබඳ බලය මැතිවරණ කොමිසමට ඇත කියන විධිවිධානවලටද ජනමත විචාරණයකදී ජනතා කැමැත්ත අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේය. සමස්තයක් ලෙස ගත්විට මේ විධිවිධාන පාර්ලි මේන්තුවේත්, අගමැතිගේත් බලතල ප්‍රසාරණය කරන්නට හේතුවන බවද, ඊට සාපේක්‍ෂව ජනාධිපතිවරයාගේ බලතල සංකෝචනය වීමට හේතුවන බවද අලුතෙන් කිවයුතු නැත.

මේ තත්ත්වය මත ජනමත විචාරණයකට යායුතුය කියන වගන්ති 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත්කොට තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට ආණ්ඩුව කටයුතු කළේය. එනිසා, 19වැනි සංශෝධනයෙන් ඇතුළු කරන ලද්දේ ජනමත විචාරණයක් නැතිව යා හැකි උපරිම දුර සහිත ව්‍යවස්ථා වෙනස්කම් පමණකි.

නීතිඥ නිරාන් අන්කටෙල් දැක්වූ දෙවැනි කරුණ නම්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන්ද එවැනිම තත්ත්වයක් උද්ගත වුණු බවයි. 1987දී පළාත් සභාවලට බලය බෙදාහැරීම සඳහා ගෙනා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කරන්නට ගියවිට ඉදිරිපත් වුණු පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, 13 සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැ’යි කීවේ තියුණු හා සියුම් පරතරයක් සහිතවය. එනම්, 13 වැනි සංශෝධනය ගැන පෙත්සම් විමසූ 9 දෙනකුගෙන් සැදි ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් 5 දෙනකු මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කී අතර, 4 දෙනෙක් ජනමත විචාරණයක් අවශ්‍ය බව කීවෝය. ඒ නිසා 13ට ජනමත විචාරණයක් අවශ්‍ය නොවුණේ එක ඔළුගෙඩියක වෙනසකින් බව කිව හැකිය. එතැන ඇති වැදගත්ම කාරණය නම් 13වැනි සංශෝධනයද ජනමත විචාරණයක සීමාවේ නැවතී ඇති බව වන අතර, ඊට එහා බලය බෙදීමකට යන්නට නම් ජනමත විචාරණයකට යෑමට සිදුවන බවයි.

දැන්, ජනමත විචාරණයකින් තොරව කළ හැකි වෙනස්කම් පමණක් කරමුයැයි පිරිසක් කියන විට ඉන් අදහස් වන එක දෙයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය මීට වඩා වෙනස් කරන්නට ඔවුන්ට වුවමනාවක් නැති බවය. එනම් විධායක ජනාධිපති ක්‍රමය මේ විදියටම තබාගැනීම ඔවුන්ට අවශ්‍ය බවය. බලය බෙදීම පැත්තෙන් ගත්තත්, 13 සංශෝධනයට එහා යන බලය බෙදීමක් කරන්නට නම් ජනමත විචාරණයක් අවශ්‍යය. ජනමත විචාරණයකට යන්නේ නැති බව කියන විට එයින් අදහස් වන්නේ 13ට එහා බලය බෙදීමක් සිදුකරන්නටද ඔවුන් අකමැති බවය. මේ 13ට එහා බලය බෙදීම යනු ෆෙඩරල් රාජ්‍යයක් ඇතිකිරීමක් නොවේ. පළාත් සභාවේ මහජන නියෝජිතයන්ගේ බල පරාසය ශක්තිමත් කිරීම, මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් සභාවට එල්ලවන බල පීඩනය අඩු කිරීම, පළාත් සභාව හා මධ්‍යම ආණ්ඩුව අතර බලතල සම්බන්ධයෙන් ඇති වියවුල් ස්වභාවය නැතිකිරීම වැනි තත්ත්වයන් ඇතිකිරීමය. මෙවැනි ඉදිරි පියවර නැතිව කරන බලය බෙදීමක් පලදායක නැත.

2015 ජනවාරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කරන්නට මැදිහත් වුණු ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමයි. මේ විදියට බලන විට එය සිදුවන්නේ නැත. දෙවැනි බලාපොරොත්තුව වුණේ, උතුරු නැගෙනහිරට නිසි බලය බෙදීමක් කිරීමයි. පෙනෙන හැටියට එයද දැන් සිදුවන්නේ නැත. ජනාධිපතිතුමාගේ ඉතිරි පොරොන්දුව වන්නේ, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. මේ තත්ත්වය අනුව අනාගතයේදී සිදුවන එකම දෙය විය හැක්කේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. ජනතාව 2015දී සිය ජීවිතද පරදුවට තබා අනේකවිධ තර්ජනයන්ට මුහුණ පාමින් රටේ දේශපාලන වෙනසක් කළේ හුදු මැතිවරණ ක්‍රමයේ වෙනසක් පමණක් කරගෙන අත හෝදාගන්නටද?

ජනමත විචාරණයකට නොගොස් කළ හැකි ව්‍යවස්ථා වෙනස්කම් පමණක් කළ යුතුය කියා කියන අයගෙන් ඇසිය යුතු කළු සුදු ප්‍රශ්න දෙක මෙසේය. ඔබ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට විරුද්ධද? ඔබ උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් දෙනවාට විරුද්ධද? ජනමත විචාරණයකට අකමැති වීම යනු මේ ප්‍රශ්න දෙකටම ‘ඔව්’ යන පිළිතුර දීම විනා අන් දෙයක් නොවේ. එවැන්නෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාටත්, දෙමළ මිනිසුන්ට බලය බෙදනවාටත් විරුද්ධ පිරිසකි.

ජනාධිපතිතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමියි දැඩි ස්ථාවරයක හිටියත්, ආණ්ඩුවේ විවිධ අභ්‍යන්තර කොටස්වලත්, ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේත් වුවමනාව නම් එහි කිසිම වෙනසක් නොකිරීමයි. ඒ සඳහා මනුවර්ණගේ ලිපිය ආරම්භයේදීම කිව්වාක් මෙන විවිධ සාධාරණකරණ තර්ක දැනටමත් ගොඩනගා තිබේ. ඔවුන්ගේ තවත් තර්කයක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ දක්වා ඇත්තේ ජනමත විචාරණයකට නොගොස් කරන ව්‍යවස්ථාමය වෙනස්කම් පමණක් කරනවාය යන්න නිසා ඊට එහා යෑමට ජනබලයක් නැති බවය. සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයට ජනමත විචාරණ සීමාවක් දැම්මේ නිකම් නොවේ. ඒ වන විටත් මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයෙන් ප්‍රබල ලෙස ගොඩනගා තිබුණු, ‘රනිල්-සම්බන්ධන්-මෛත්‍රී හවුල ව්‍යවස්ථා සංශෝධනයක් කොට රට බෙදන්නට හදනවාය’ කියන අමූලික චෝදනාවෙන් ඒ අවස්ථාවේදී ගැලවීමේ මඟක් හැටියටය. එනිසා ඒ වචනවලට මුවාවී ඉදිරි ව්‍යවස්ථා වෙනස්කම් නොකර හැරීමට උත්සාහ දැරීම යහපත් දෙයක් නොවේ. අනෙක් අතට, ඒ ඡන්දවලදී ජනතා අනුමැතිය නොලැබුණු කීයක් දේවල් දැන් මේ ආණ්ඩුව කරනවාද? හොඳම උදාහරණය, ඒ මැතිවරණ වේදිකාවලදී නවත්වනවායැ’යි කියූ පෝට් සිටි ව්‍යාපෘතිය චම්පික රණවක ඇමතිවරයා යොදවා මේ වන විට ඉතා හොඳින් ඉදිරියට ගෙනයෑමය.

මේ විදියට ආණ්ඩුවේම අභ්‍යන්තර කොටස් ජනමත විචාරණයකට දක්වන අකමැත්ත හෝ බිය හෝ නිසා, ක්‍රමයෙන් වැහැරෙමින් තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධාන පොරොන්දුය. ඒ පොරොන්දු අතරිනුත් ප්‍රධානතම වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. මේ යන විදියට ඒ පොරොන්දුවත් -සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට දුන් ඒ පොරොන්දුවත් – අතහරින්නට සිදුවෙයි නම්, ජනාධිපතිතුමාට ඉදිරියට ගෙන යා හැකි ප්‍රබලතම සටන් පාඨයද අහිමි වන්නේය. එවිට කියැවෙනු ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, දෙමළ ජනතාවට බලය බෙදීමටත් විරුද්ධ බවය. මේ කාරණාත් අත්හැරෙන කොට මෛත්‍රී දැක්මක් කොයින්ද?

කුමන හේතුවක් නිසා හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී පෙන්වන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකරගැනීම සඳහා වූ උත්සාහයකි. තමා ජනාධිපති නොවන නිසා, තම අතට දේශපාලන බලය ලබාගැනීමේ උපක්‍රමයක් හැටියට ඔහු මේ ව්‍යවස්ථා සංශෝධනය පාවිච්චි කරනවා වෙන්නට හොඳටම ඉඩ තිබේ. යම් හෙයකින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම සම්බන්ධයෙන් ජනාධිපති තුමාගේ කැපවීම ගිලිහී ගියහොත් ඒ ධජය අතට ගන්නවා ඇත්තේ අගමැතිවරයාය. එවිට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඊළඟ මැතිවරණයේදීද ප්‍රධාන සටන් පාඨයක් වන තත්ත්වයක් යටතේ, ජනාධිපතිතුමාට කියන්නට දෙයක් නැතිවන අතර, රනිල් වික්‍රමසිංහට කියන්නට සටන් පාඨයක් තවදුරටත් ඉතිරි වනු ඇත. මේ තත්ත්වය ජනාධිපති තුමාගේ දේශපාලන දූරදර්ශනයට හසුවනු ඇති බව විශ්වාස කළ හැකිය.

උපුටා ගැනිම  www.ravaya.lk

- මෙලනි





2016-12-22
Advertisement

Find us on Facebook