English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාවේ වධහිංසාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ස්වාධීන පරීක්ෂණ ඉල්ලයි | VIDEO

වද දීම ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන්ම සිදුවන්නක් බව තහවුරු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවේ දී ලිංගික හිංසනය ඇතුළු වධබන්ධන පැමිණවීම පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විභාග පැවැත්විය  යුතු බව තීරණය කොට තිබේ.

අඩන්තේට්ටම් වැඩි ප්‍රමාණයක් සිදු කොට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව ශ්‍රී ලංකාව සම්බන්ධ සිය අලුත්ම සමාලෝචන වාර්තාව නිකුත් කරමින් පවසන වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව පොලිසියට එල්ලවන චෝදනා විභාග කළ යුත්තේ පොලිස් නිලධාරීන් පරීක්ෂකයන් ලෙසින් සහභාගි කර ගැනීමෙන් තොරව බව අවධාරණය කරයි.

සුදුවෑන් මගින් පැහැරගෙන යාම් මෙන්ම පොලිසියත්, යුද හමුදාවත් සිය ආයතන තුලදී, අනාථ කඳවුරු වලදී සහ ‘පුනරුත්ථාපන’ මධ්‍යස්ථානවලදී මෙන්ම නිල නොවන ස්ථානවලදී ද වද දී ඇති අයුරුත් කමිටුවට වාර්තා වී තිබේ.

පුනරුත්ථාපනය

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිදුකෙරෙන ‘පුනරුත්ථාපනය’ අහෝසි කළ යුතු බව නිර්දේශ කරන එක්සත් ජාතීන්ගේ කමිටුව එල්ටීටීඊ බවට සැකකොට පුනරුත්ථාපනය කරන ලද බව රජය පවසන දොළොස් දහසකට අධික දෙමළ වැසියන්ට එරෙහිව අත් අඩංගුවේ සිදු කරන ලද ලිංගික අපරාධ ඇතුළු වධ හිංසා පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් ද අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් වහාම කරන ලෙස රජයට නිර්දේශ කර සිටී.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් කළ අපරාධය කුමක් වුවද රඳවාගෙන සිටින මුල් පැය කීපය තුල ලියාපදිංචි නොකිරීම සහ මහේස්ත්‍රාත් වරයකු ඉදිරියට නොපැමිණවීම මගින් පොලිසිය වධහිංසාවට මග පාදා ගන්නා බව ද  කමිටුව විසින් නිරීක්ෂණය කර තිබේ.

නඩු විභාගයකට පෙර සිදු කරන ලද වධ බන්ධන පිළිබඳව විනිසුරුවන් විසින් විමර්ශනය නොකිරීම සහ සැකකරුවන් දිගටම අත් අඩංගුවේ තබා ගැනීමට පොලිසිය කරන ඉල්ලීම් වලට වග විභාගයකින් තොරවම අධිකරණය ඉඩ දීම සම්බන්ධයෙන් ද බරපතල අවධානය යොමුවී ඇති බව ජිනීවා නුවරින් එලි දැක්වූ ශ්‍රී ලංකාව පිලිබඳ පස්වැනි වාරික සමාලෝචන වාර්තාවේ සඳහන් වෙයි.

රජය ලබා දුන් තොරතුරු

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) විසින් පිටු 14 කින් යුත් නව වාර්තාව නිකුත් කර ඇත්තේ  එජා විශේෂඥයන්, මානව හිමිකම් සංවිධාන, මාධ්‍යවේදී සංවිධාන පමණක් නොව ශ්‍රී ලංකා රජයද ලබා දුන් ලිඛිත හා වාචික තොරතුරු පදනම් කොටගෙනය.

ශ්‍රී ලංකාවේ වධහිංසාවට එරෙහිව ගන්නා පියවර පිලිබඳ තොරතුරු සැපයීම සඳහා රජය විසින් නීතිපති ජයන්ත ජයසුරියගේ ප්‍රධානත්වයෙන් ජිනීවා නුවරට එවන ලද එකොලොස් පුද්ගල නියෝජිත මණ්ඩලයෙන්  සෑහීමකට පත්විය හැකි පිළිතුරු නොලැබීම ගැන කමිටුව සිය කනස්සල්ල පල කොට තිබේ.

සිසිර මෙන්ඩිස්

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ වර්තමාන බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්,  මහින්ද රාජපක්ෂ පාලනය යටතේ 2008 සිට 2009 ජුනි දක්වා රහස් පොලිසිය (TID) හා ත්‍රස්ත විමර්ශන ඒකකය (CID) පරිපාලනය කරන සමයේ කරන ලද ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධබන්ධන සම්බන්ධයෙන් විමසන ලද නිශ්චිත ප්‍රශ්න වලට ඔහුගෙන් පිළිතුරු නොලැබීම ගැන කනගාටුව පල කොට තිබේ.

නියෝජ්‍ය පොලිස්පති මෙන්ඩිස් හෝ වෙනත් කිසිදු නියෝජිතයකු හෝ දෙදිනක් තිස්සේ ජිනීවා නුවර මුළු දුන් සැසියේදීත්  ඉන් අනතුරුව රජය විසින් ලිඛිතව ලබා දුන් අමතර තොරතුරු වලත්  අසන ලද ප්‍රශ්න මාලාව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කොට නැති බව UNCAT වාර්තාව හෙළි කොට තිබේ.

සිසිර මෙන්ඩිස් ට යොමු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන ලෙස කමිටුව නැවතත් රජයෙන් ඉල්ලා තිබේ.

මීට ඉහතදී එක්සත් ජාතීන් විසින් නිර්දේශ කොට තිබෙන වධ හිංසාව වැලැක්වීම සඳහා වන විධි විධාන ශ්‍රී ලංකාවේ වත්මන් රජයත් ක්‍රියාවේ යොදවා නැති බවට ද  එක්සත් ජාතීන්ගේ කමිටුව දොස් පවරා තිබේ.

https://youtu.be/Toc3AX6AJg0

කමිටුවේ දෙවැනි දිනයේදී උප සභාපතිනි ෆෙලිස් ගෙයර් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කළ අයුරු

ඉටු නොකළ නිර්දේශ

රජය විසින් ඉටු කර නැති නිර්දේශ වන්නේ මූලික නීතිමය රැකවරණ සැලසීම, බලහත්කාර පාපොච්චාරණ වැලැක්වීම, වධහිංසා පිලිබඳ චෝදනා විභාග කිරීම සහ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම බව වාර්තාවේ සඳහන් වෙයි.

මෙම නිර්දේශ UNCAT විසින් ලබාදී ඇත්තේ 2013 දීය.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව රනිල් මෛත්‍රී පාලනය යටතේ ස්ථාපිත කරන ලද මානව හිමිකම් කොමිසන් සභාවේ නිර්දේශ පවා රජය විසින් නොතකා හැර ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.

ආණ්ඩුව විසින් ලබා දී ඇති සංඛ්‍යාලේඛන අනුවම 2012 සිට වධහිංසාව පිලිබඳ විභාග කොට ඇති පැමිණිලි සංඛ්‍යාව 17ක් පමණක් වීමෙන් පෙන්නුම් කරන්නේ විමර්ශන ප්‍රමාණවත් නොවීම බව අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව, නීතිය රැකීම සඳහා පත් කර ඇති ආයතන වල නිලධාරීන්ට එරෙහි චෝදනා විමර්ශනයට ස්වාධීන ආයතනයක් පිහිටුවන ලෙස රජයට නිර්දේශ කරයි.

එය පොලිස් නිලධාරීන්ගෙන් තොරවීම ස්වාධීනත්වය රැකීම සඳහා අත්‍යාවශ්‍ය බව කමිටුව අවධාරණය කර සිටී.

රහසිගත වධකාගාර හෝ රැඳවුම් මධ්‍යස්ථාන නැති බව රජයේ ස්ථාවරය වුවත්, මේ ආණ්ඩුව යටතේත් ඒවායේ වධහිංසා කෙරෙන බවට නැගෙන චෝදනා  විභාග කකරන ලද  වගක් තහවුරු කරන්නට රජය සමත් නොවූ බව UNCAT පවසයි.

වධහිංසාවලට ගොදුරු වූවන්ට ලබාදෙන වන්දි ප්‍රමාණවත් නොවන බවටද කමිටුව කනස්සල්ල පල කොට තිබේ.


                                             උපුටා ගැනීම -  gagana

- මෙලනි




2016-12-08
Advertisement

Find us on Facebook