English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගිනස් වාර්තාව බිඳ හෙලීමේ නානායක්කාරගේ සිහිනය කාදිනල්හිමි බිඳ දමයි !

අර්ජුන රණතුංග සමාජ සත්කාර සුබසාධක සංගමය විසින් අගෝස්තු මස 18 වෙනිදා සිට කොළඹ ගෝල්ෆේස් පිටියේ ඉදිකරමින් සිටි ලෝකයේ උසම නත්තල්ගස සෑදීම ඊයේ (07) සිට බලපැවැත්වෙන පරිදි නතරකර දමා ඇතිඅතර, අදාළ ඇමතිවරයා විසින් එවැනි පියවරක් ගෙන ඇත්තේ  කතෝලික සභාවේ නායක කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුහිමි විසින් මාධ්‍ය හමුවක් පවතිවමින් සිදුකළ ප්‍රකාශයන් බව, නත්තල් ගසේ නිර්මාතෘ ඇතුලු දස දෙනාගේ කමිටුව කණගාටුවෙන් හා දැඩි කළකිරිමෙන් යුතුව ප්‍රකාශකරති.   

"ආගමීක සමගිය" මුල්කරගනිමින් නිර්මාණය කරනු ලබන මෙම ව්‍යාපෘතියට මැල්කම් රංජිත් පියතුමාගේ විරුද්ධත්වයක් නැතිබවට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මත්තෙන් එතුමා විදේශගතව සිටින විට දි, කොච්චිකඩේ පල්ලිය හා අගරදගුරු සම්බන්ධිකරණ පියතුමන් හරහා සිය කතෝලික සංගමය විසින් අවැසි දැනුවත් කිරීම් සිදුකර කාදිනල් හිමිගේ විරුද්ධත්වයක් නොමැති බවත් නත්තල් ගස හදන ලෙසට ඔවුන් දැනුවත් වු බවත් නත්තල් ගසේ නිර්මාතෘ එච්.ඩී.එම්. නානායක්කාර අයිතිය පැවසීය.

අගෝස්තු 18 වෙනිදා, සර්ව ආගමීක මෙහෙයක් පැවැත්වු බවත් ඊට කතෝලික ගරු පියතුමෙකුද පැමිණ යාඤ්ඤා කර, ආසිරිපැන් ඉස ව්‍යාපෘතියට ආශිර්වාද කළ බවත් පැවසු ඔවුන්,  එදා සිට මාස තුනක කාලයක් දිවා රාත්‍රි නොබලා වෙහෙස මහන්සියෙන්, ප්‍රසිද්ධියේ ගොඩනගිමින් සිටි මෙම නත්තල් ගසට අවසන් මොහොතේ මෙසේ දරුණු පහරක් එල්ල කිරීම ඉතාම පිළිකුල් සහගත අසාධාරණ ක්‍රියාවක් බව  ප්‍රකාශ කළේ, මීට විරුද්ධ වන්නට මෙපමණ කාලයක් ගත්තේ ඇයි ද යන ප්‍රශ්නය ද නගමිනි.

"එතුමා ආගමික නායකයෙක් නිසා, ඒ කියු දේ අසා, අර්ජුන රණතුංග ඇමතිතුමාගේ ඉල්ලීමට අනුව අපි මේ වැඩ නවතා දැමුවා. හැබැයි හරිම කණගාටුයිි මේ සිද්ද වෙච්ච දේ ගැන. තවදුරටත් උන්වහන්සේගේ මෙම තීරණය පිළිබදව උන්වහන්සේ සිතා බැලිය යුතුයි." යැයි අපේක්ෂා භංගත්වයට පැමිණ සිටින ඔවුන් අයිතියට කීහ.

කෙසේවෙතත්, ලංකාවට කීර්තියක් අත්කර දෙන්නට, දැනට තබා ඇති ගිනස් වාර්තාව බිදහෙළිමට, නානායක්කාර ඇතුලු 10 දෙනාගේ කණ්ඩායම ගනු ලැබු අහිංසක උත්සාහය කොළඹ අගරදගුරුහිමි විනාශකර දැමීම ගැන ඔවුන් කම්පා වෙති.


නත්තල්  ගසේ නිර්මාතෘ එච්.ඩී.එම්. නානායක්කාර  සහ අර්ජුන රණතුංග සමාජ සත්කාර සංගමයේ් සභාපති සුසන්ත අත්තනායක

පසුවදන -

මුදල් ඉපැයීම සදහා නොවු මෙකී නත්තල් ගස නුසුදුසු යැයි කියන්නේ නම්, නත්තල විකුණාගෙන කන එහි ඇති නත්තල් කානිවල් එක ද නැවැත්විය යුතු ම ය.

ඇත්තෙන්ම, මෙකී මාධ්‍ය හමුවට පසුව අන්තර්ජාලය තුළ මෙම නත්තල් ගස මහත් ආන්දෝලනයකට ලක්විය.  මුහුණු පොතෙහි කිහිප දෙනෙකුම නත්තල් ගස ගැනත් ඊට වැයකරන මුදල් ගැනත් කාදිනල් හිමිගේ තීරණ තීන්දු ගැනත් විරුද්ධ මෙන්ම පක්ෂපාති විවිධ අදහස් පළ කර තිබුණි.

මෙහිදි, මෙම කතිකාවට හා අසාධාරණයට ලක්වී ඇති නත්තල් ගසත් එහි නිර්මාතෘවරයා වෙනුවෙනුත් මා දන්නා කරුණු ගෙනහැර දැක්වීම මේ මොහොතේ සිදුකළ යුතු යැයි මට දැනුනු බැවින් මෙම පුවතට අමතර කිව යුතුව ඇති ඉතිරිය මෙසේ සටහන් කරමි. 

ගරු අශෝක් ස්ටීවන් පියතුමාගේ , අශෝක හදගම සහ ලක්ෂාන් ඩයස් සහෘදයන්ගේ  මුහුණු  පොත හි මෙම නත්තල් ගස සම්බන්ධ අදහස් මා දුටුවෙමි.

ගරු පියතුමා ගේ අදහස වුයේ නත්තල් ගස නවත්වන්නට පියවර ගත්තා මෙන්ම ඊට පිටුපසින් ඉදිවෙමින් පවතින පොර්ට් සිටි ව්‍යාපෘතිය නතර කරන්නට කාදිනල් හිමි පියවර නොගන්නේ මන්ද කියා ය. එය සත්‍යයකි. මා ද පෞද්ගලිකව පසුගිය වසරේ සිට නිරන්තර උත්සාහයක යෙදුණා, දේශපාලන සිරකරුවන් ගැනත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැනත් අපගේ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා උන්වහන්සේ හමු වී දැනගන්නට හෝ දුරකථන/ ඊමේල් මගින් දැනගන්නට. එහෙත්, අද වන තෙක් මා හට අවස්ථාවක් නොලැබුණි. එමෙන්ම, පසුගියදා පැවති නත්තල් ගස් මාධ්‍ය හමුව ගැන ද මා දැනුවත්විමක් නොලැබුණි. එහි මා සිටියා නම්, නත්තල් ගසේ නිර්මාණයේ සම්මුඛ සාකච්වේඡාවේ හඩ පටය ද මා සමග තිබුණු බැවින් උන්වහන්සේගන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් තිබුණි. එමෙන්ම නිසි ආකාරයෙන් සංවාධයක් ඇතිකරගන්නට ද ඉඩ තිබුණි. එහෙත් එම මාධ්‍ය හමුව ගැන මා දැන නොසිටියෙමි.
 
නත්තල් ගස ගැන අශෝක හදගම සහ ලක්ෂාන් ඩයස් සදහන්කර ඇති කරුණු සමග මා ද එකග වෙමි.
මන්ද, පෞද්ගලීකව මා මෙම නත්තල් ගස නිර්මාණය කරන ස්ථානයට ගොස් මෙම නිර්මාණයේ නිර්මාතෘ, එච්.ඩී.එම්. නානායක්කාර නැමති බොදුණු සහෝදරයා සහ ඔහුගේ දස දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් සමග සාකච්ඡාවක් පවත්වා එම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියා මා දැනගෙන සිටි නිසාය. එබැවින්, මෙම නත්තල් ගස සම්බන්ධයෙන් එළියේ කියැවෙන විවේචන හා සමානවන කිසිවක් ඔවුන් මා හා පැවසුවේ නැත. මා දුටුවේ ද නැත.

හාස්‍යජනක කරුණ නම්, ඔවුන් කියනා පරිදී මෙම නත්තල් ගසේ නිර්මාණයට එහි වැඩකටයුතු ආරම්භකරන්නටත් මත්තෙන් කතෝලික සභාවේ ලොකු පියතුමා වන මැල්කම් රංජිත් රදගුරුහිමිගේ පුර්ණ ආශිර්වාදය ලබාදෙන බවට මොවුන් වෙත දන්වා සිට, අවසානයේදි මෙවැනි දරුණු පියවරක් ගන්නට පසුබිම සකස් කරදීමය.

කෙසේවෙතත්, තමන්ට අයත් නොවන මුදලක් වැයකළ යුත්තේ මෙසේය කියා නියෝග පැනවීම හෝ ගුරුහරුකම් දීම සධාචාර සම්පන්න නොවන අතර මේසා මුදලක් ශ්‍රමයක් කාලයක් වැයකර සාදා නිමවන්නට ආසන්නයේ පැවතිය දී මෙසේ මෙම උත්කසාහය කඩාකප්පල් කරදැමීමට, මාධ්‍ය හමුවක් ඔස්සේ පියවර ගැනීම සහ ඊට අනුබලදීම කිතුණු සභාවකින් කිසිසේත්ම නොකළ යුත්තක් මෙන්ම ශීලාචාර නැති මුග්ධ ක්‍රියාවක් බව මගේ පෞද්ගලික මතයයි. නමුත් මෙවැනි හරසුන් කටයුතු සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළ හැකිය. එය වෙනත් කථාවකි. ඒහෙත් මේසා මහත් කාලයක් ගෙන රුපියල් ලක්ෂ 60ක් වියදම් කරන තෙක් මීට විරුද්ධ වන කාදිනල්හිමි ඇතුලු සියලු කොටස් නිශ්ශබ්ව සීටීම අවඥා සහගතය. එය ප්‍රසිද්ධියේ පෙන්නුම් කල විශාල දුර්වල කමෙකි. මන්ද මෙකි නත්තල්ගස නිර්මාණය වුයේ් සුප්‍රසිද්ධ ගෝ්ල්ෆේස් පිටියේ මිස හොර රහසේ ගොඩනැලිල්ලක් තුළ නොවුන හෙයිනි.
 
මොවුන් නත්තල් ගස සැදීම අගෝස්තු මාසයේදි ආරම්භ කළා සේ, මෙවර නත්තල කිසිම බාහිර අලංකාරයකට හෝ හරසුන් ක්‍රියාවකට ගොදුරුකර නොගන්නා මෙන් සමස්ත කිතුණු ප්‍රජාවගෙන් මෙන්ම සමස්ත ව්‍යාපාර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමට අප කාදිනල්හිමිට වගකීමක් හා අයිතියක් තිබුණි. මන්ද, නත්තල වානිජකරණයට හසුවුයේ අද ඊයේ නොව මීට බොහෝ වසර ගණනාවකට ඉහත සිට දීය.

එහෙත් එසේ නොකර, අහිංසක මිනිසෙකුගේ දක්ෂතාවයකට, බොදුණු කණ්ඩායමකගේ සරළ ආකල්පයකට මෙසේ පයින් ගැසීම කාදිනල්හිමි ට තරම් වු උචිත ක්‍රියාවක් නොවෙයි. එමෙන් ම, අනුන්ගේ වැටුප් වලට තවත් කවුරුත් බජට් සෑදීම ලැජ්ජා නැති අවිචාරවත් ක්‍රියාවක් ද වෙයි.

තමන්,  එච්.ඩී.එම්. නානායක්කාර මීට පෙර මෙවැනි ආගමික පසුබිම්වල නිර්මාණ කර තිබෙන බවත් කිතුණු බැතිමතුන්ගේ නත්තල වෙනුවෙන් ද මෙවැනි නත්තල් ගසක් නිර්මානය කරන්නට වසර ගණනාවක සිට මහත්වු ආශාවක් තිබු බවත් පැවසු නානායක්කාර, සිය අදහස ගැන තමන් සේවයකරන ආයාතනයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් මංගල පී ගුණසේකර මහතා වෙත ඉදිරිපත් කළ බවත් පසුව එයල අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග මහතා වෙත ඉදිරිපත්කර විස්තරාත්මක දිගු සාකච්ඡාවලින් අනතුරුව මේ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මුල්‍ය ශක්තිය සිය දෙස් විදෙස් හිතවතුන් මගින් ලබාගෙන සිය සමාජ සත්කාර සුබසාධන සංගමය විසින් දියත් කිරීමට පොරොන්දු වෙමින් වැඩේ ආරම්භ කරන්නැයි ඇමති අර්ජුන රණතුංග ප්‍රකාශ කළ බව නත්තල්ගසේ නිමැවුම්කරු නානායක්කාර අයිතිය වෙබ් අඩවියට පැවසීය. ඉන්පසුව, අගෝස්තු මස 18 වෙනිදා සර්ව ආගමීක මෙහෙයක් තුළින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත්ල නත්තල් ගසේ නිර්මානයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා අර්ජුන රණතුංග ඇමතිවරයා මොවුන්ගෙන් විමසා ඇති අතර මේ තුලින් ආගමීක සමගිය , රටට කිර්තියක් වගේම විදේශ විනිමයක් ලබාදීම අපේක්ෂා කරන බැව් ප්‍රකාශකළ විට, "ආගමීක සමගිය පිළිබදව කථාකරන නිසා" එසේනම් මේ වැඩේ කොහොමහරි කරමු යැයි,  පවසමින් ඇමතිවරයා තමන්ගේ උත්සාහයට ශක්තියක් වන්නට එකග වු බවයි නානායක්කාර වැඩිදුරටත් සදහන් කළේ.

එහෙත්, කාදිනල්හිමි මෙම මාධ්‍ය හමුව පැවැත්වුයේ නත්තල් ගසේ නිර්මාණය පිළිබදව කිසිම විමර්ශනයකින් තොරව බව උන්වහන්සේගේ අදහස් ප්‍රකාශයෙන් ඉතාම පැහැදිළිව ප්‍රකාශයට පත්කර හමාරය. මෙය ඉතා කණගාටුදායකවුත් ලජ්ජා සහගතවුත් තත්ත්වයකි. අප සභාව තුළ ප්‍රසිද්ධියේ නිවරැදිකර ගතයුතුව ඇති වැරදිම් හා නුසුදුසු ක්‍රියාවන්  බොහෝමයක් පවතින විටෙක අනුන්ගේ දේවල් දෙස විචාරශීලිව නොබැලීම හා ද්වේෂ සහගතව බැලීමත් තින්දු තීරණ ඉදිරිපත් කර තවත් ජනකොටසක් අපහසුතාවයට පත්කිරීම ක්‍රිස්තියානි අපට ගැලපෙන ක්‍රියාවක් නොව බවයි මගේ හැගිම. 

එමෙන් ම, මෙම නත්තල් ගස නැවැත්වීම පිළිබදව අප කාදිනල්තුමාගේ මාධ්‍ය හමුවට,  ප්‍රශංසා පෝස්ට් දමා තිබෙනු දිටිමි. එහෙත් ඒ කිසිවෙකුත් මෙම නත්තල් ගසේ ඇතුල්පැත්ත පිළිබදව කිසිම අදහසක් නැතිව "අපිත් ඔබ සමගයි පියතුමෙනි" කියු බව ඉතාම පැහැදිළිය.

අප කාදිනල්හිමි, පියවර ගතයුතුව ඇත්තේ මෙම නත්තල් ගසට විරද්ධත්වය පෑම නොව, නත්තල් ගසට පිටුපසින් ඉදිවෙමින් පවතින දැවැන්ත විනාශය නැවැත්වීමට පෙරමුණ ගැනීමය.  අප සමස්ත කතෝලික සභාවම ඒකරාශිකරමින් අවදිකළ යුතුව තිබුණේ සහ දැනටමත් කළ යුතුව ඇත්තේ සමස්ත දේශයටම විනාශයක් ගෙන දෙන, ධිවර ප්‍රජාවට රැකියා අහිමිකරන සහ වෙරළාසන්න ධීවර ප්‍රජාවගේ උන්හිටි තැන් අහිමිකරවමින්  හා රට මැද ගල්කොරි ආසන්නයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවලට තර්ජන එල්ලකරවමින් රටට විදේශ විනමය සදහා යැයි කියන මෙම පොර්ට් සිිටි සංවර්ධන ව්‍යාපෘතිය දැන්වත් නතරකර දැමීමට මාධ්‍ය හමු එකක් නොව සියයක් පවත්වා බලධාරින් වෙත බලපෑම් කිරිමට පියවර ගැනීමය.

මෙම පොර්ට් සිටි නැතහොත් මුල්‍ය නගර ව්‍යාපෘතිය ගොඩනැගෙන්නට ඉඩ දී අප නිල කතෝලික සභාව නිරුපද්‍රිතව බලාසිටින්නේ, පොදු නිවහන වන සොබා දහම සුරැකීම පිළිබදව පරිසරයේ හානිය ගැන කථාකරමින් ඉන් වැළකිමට පමා නොවී කටයුතු කළ යුතු බවට විශ්වයට ම  පොදු ආරාධනාවක් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත්කළ  "ප්‍රශංසා වේවා මා සමිදුන්ට - ලව්ඩාටෝ සී" විශ්ව ප්‍රකාශනය දැකලාවත් නැති ආකාරයකින්  වීම අතීශය කණගාටුදායකය. 

කෙසේවෙතත්, ශ්‍රීලංකාව අනාගමික රටක් නොව බෞද්ධ රටක් ලෙසට පැවතිය  යුතු යැයි  මෑත අතිතයේදි මැල්කම් රංජිත් අගරදගුරුහිමි විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, එවැනි බොදුණු රටක, බොදුනු සහෝදරයින් පිරිසක් විසින් ආගමීක සමගිය මුල්කරගෙන කරනු ලබන මෙවැනි උත්සාහයන්වලට උන්වහන්සේ ප්‍රසිද්ධියේ ආශිර්වාද කරනු විනා, ඒවා කඩාකප්පල් කිරීම කිසිසේත් සුදුසු නැති අසාධාරණ ක්‍රියාවක් බව නැවත නැවත් ප්‍රකාශ කරමි.

මෙම කඩාකප්පල් කිරීම තුළ මෙහි නිර්මාතෘ බොදුණු සහෝදරයා වෙත සහ ඔහුගේ අති දක්ෂතාවයට කළ බාල්දුව හා පැහැරීම මෙන්ම ඒ තුළ ඔහුට අත්කර දුන් මානසික පීඩනයට, මීට මුල්‍ය ආධාර සැපයු දෙස් විදෙස් හිතවතුන්ගේ හොදහිතට සිදුකල අවත්සේරුවට, මෙය නවතා දැමීම සදහා අදාළ ඇමතිවරයා වෙත මානසික අල්ලසක් ලබාදුන් අපගේ කාදිනල්හිමි වන්දි ගෙවිය යුත්තේ කෙසේද ??  ඒ තරමට ම මෙය ඉතාම පහත් උත්සාහයක් ලෙසට කිතුණුවකු ලෙසට මට දැනෙයි.

කෙසේවෙතත්, මේ නත්තල් ගස පිළිබදව එම නිර්මාතෘ ඇතුලු පිරිස සමගින් දැනට දින කිහිපයකට පෙර සිදුකල සම්මුඛ සාකච්ඡාව ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත්කරමි.  

අවසන් අදියරට පැමිණ ඇති මෙම නත්තල් ගස ගැන ඕනැවට වඩා කරදර වන සියලුම දෙනා ට සහා  එය නවතා දැමිය යුතු යැයි ප්‍රකාශ කරන සියලුම දෙනාට කළයුතුව තිබුණේ අගෝස්තු මාසයේ සිට මෙම ඉදිකිරිම දෙස බල බලා එය විවේචනය කර කර සිටීම නොව එහි සැබෑ අයිතිකරුවන් හමුවී කරණු සොයා බලා ගත යුතු පියවරයන් මීට පෙර ගැනීමය. එහෙත්, තවදුරටත්, රටේ ධනය ද  සභාවක ධනය ද භාවිතා නොකර මෙවැනි දේ පිළිබදව කැමැත්තක් දක්වන ධන පරිත්‍යාගීන් ගේ ධනයෙන් (රුපියල් ලක්ෂ 120-130)  සිදුකෙරෙන දේවල් ගැන කරදර වෙනවා වෙනුවට පොදුවේ රටතුළ සිදුවන දැවැන්ත ව්‍යසන, අපරාධ වෙනුවෙන් ඒවා නවතා දැමීමට මැදිහත්විම, දායකවීම යුගයේ අවශ්‍යතාවයයි.  

ඇරත් මෙම ධන පරිත්‍යාගීන් විසින් ද දුප්පතුන් වෙත නිවාස ද දුප්පත් දරුවන් වෙත ශිෂ්‍යත්ව ද පිරිනමා නැතැයි අපි කෙසේ ඔවුන්ව විවේචනයට ලක්කරමුද ? එවැනි විවේචන ගෙනෙන්නට අපට ඇති අයිති කුමක් ද?

නත්තල් ගසක් ගැන කරදර වනවා වෙනුවට, නත්තල වෙනුවෙන් දේශපාලන සිරකරුවන් සදහා පොදු සමාවක් ඉල්ලා සිටිමින් ඔවුන් නිදහස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින්නට අපගේ කාදිනල්හිමි පෙරමුණ ගත්තේ නම් එය සංහිදියාව හා නත්තල් ප්‍රේමය ගැන කෙතරම් සුන්දර පණිවුඩයක් ලොවට දෙන්නට තිබුණා ද ?



ඡායාරූප සහ සටහන - මෙලනි මානෙල් පෙරේරා





2016-12-08
Advertisement

Find us on Facebook