English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින ලෙසට ඉල්ලීමක් !
2017 අයවැය මගින් මෙරට අති බහුතරයක් වන සාමාන්‍ය ජනයාට දැඩි අසාරධාරණයක් වන බව අපගේ නිරීක්‍ෂණය වේ. පොදුවේ ගත් කල ප‍්‍රථාමික, ද්විතීය සහ තෘතීය යන සෑම මට්ටමකදීම එක සමානව අධ්‍යාපනික අවස්ථා උදා කිරීම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට ආරක්‍ෂා කිරීමේ පදනම වෙයි. බොහෝ දෙනෙකුට වඩා හොඳ ජීවන තත්ත්වයන් කරා ළඟා වෙමින් සමාජ හා ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකට ගමන් කිරීමට එය හේතු වූ බවද සත්‍යයකි.


අපගේ වත්මන් අධ්‍යාපන පද්ධතිය සකස් කිරීම ස`දහා පාදක වූ 1943 අධ්‍යාපන ප‍්‍රතිපත්තියෙහි මෙසේ සඳහන් වේ: ‘‘ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයක සෑම මට්ටමකම අධ්‍යාපනය නොමිලේ ලබා දිය යුතුය. කුසලතා සහ හැකියාවන් යනු එක් සුවිශේෂී සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට පමණක් සීමා වන ඒවා නොවේ. මේ නිසාම සෑම සමාජ පද්ධතියකම එක සමාන අධ්‍යාපන අවස්ථා ජනතාව වෙනුවෙන් විවෘත කර තැබිය යුතුය…’’ (ශ‍්‍රී ලංකා රජය, 1943). අධ්‍යාපනය සම්බන්ධයෙන් සෑම පියවරක්ම ගත යුත්තේ සැමට සමාන හා නිදහස් අධ්‍යාපන අවස්ථා ලබා දිය යුතුය යන පදනම මත පිහිටාය. කෙසේ වෙතත්, වත්මන් රජය මෙවර අයවැය මගින් මෙරට ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හෑල්ලූවට ලක් කර ඇත. නිදහස් අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමේ ඉඩකඩ බොහෝ දුරට එමගින් අහුරා දමා ඇත. 2017 අයවැය මගින් අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇති මුදල් ප‍්‍රමාණය අඩු කර ඇති අතරම පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වාසිදායක ලෙස මුදල් වෙන් කොට ඇති බව අපට පෙනී ගොස් ඇත. මෙය, රාජ්‍ය විශ්වවිද්‍යාල හා පාසල් වෙනුවෙන් වෙන් කරන්නට තිබුණු මුදල් ප‍්‍රමාණය පෞද්ගලික අංශයට පවරා දීමකි.

මෙවර අයවැය මගින් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණය පසුගිය වසරට සාපේක්‍ෂව අඩු බව මුදල් අමාත්‍යවරයාද ප‍්‍රකාශ කර ඇති අතර ඒ සඳහා හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ගිය වර වෙන් කර තිබුණු මුදල් වියදම් කිරීමට හැකි නොවූ නිසා මෙවර එම තීරණය ගත් බවයි. තත්ත්වය මෙය නම්, තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් ගාස්තු හා වියදම් දැරීමට දෙමාපියන්ට බල කරන පාසල් පද්ධතියක් තවමත් පැවතීමේ පරස්පරය අපි ප‍්‍රශ්න කර සිටිමු. වත්මන් රජය බලයට පත් වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් අධ්‍යාපනය සම්බන්ධයෙන් එවක ලබා දුන් පොරොන්දු බොහොමයක් ඉටු කරන්නට අසමත් වී තිබේ. නිදසුනක් වශයෙන් සාර්ථක ගුරු පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම, ගුරුවරුන්ගේ වෘත්තීය අභිමානයට සුදුසු මට්ටමේ වැටුප් පරාසයක් සකස් කිරීම, දෙමාපියන්  සහ සිසුන් හට අධ්‍යාපන වියදම් නිසා දරන්නට වන වියදම් ආශ‍්‍රිත ගැටළු සඳහා පිළියම් යෙදීම, වඩා හොඳ පාසල් වෙත සිසුන් ඇතුළත් කිරීමේදී මතු වන ගැටළු විසඳීම, දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට අහිමි කරන අතිශය විභාග භීතිකාවක් මත පදනම් වූ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම යනාදිය ඉන් කිහිපයක් පමණි. අධ්‍යාපනය වෙනුවෙන් කැප වුණු අංග සම්පූර්ණ ප‍්‍රතිපත්ති මාලාවක්වත් සකස් කර ගැනීමට අසමත් වූ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන්නේ මෙවැන්නකි:

2016 තුන්වන කාර්තුව අවසානය වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කොට තිබූ මුදලින් වැය කර තිබුණේ රු. මිලියන 38,850 ක් පමණි. මෙම තතත්වය සුපරීක්‍ෂාකාරීව සලකා බැලූ අප විසින් 2017 වසර සඳහා රු. මිලියන 90,000 කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් වෙන් කරන ලදි (2017 අයවැය, රවී කරුණානායක, 2016 නොවැම්බර් 09).

මෙවැනි තීරණාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීමට පෙර වගකීම් සහගත විය යුතුය. මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැන්නකි: ‘‘බොහෝ විට මුදල් අවශ්‍ය වන මොහොතේම මහා භාණ්ඩාගාරය මගින් එම මුදල් ප‍්‍රමාණය නිදහස් කර ගැනීමට හැකි නොවේ. මුදල් පරිහරණය කිරීමේ අගය පහත බැසීමට හේතු වී ඇත්තේ එම හේතුවයි’’ (2016 නොවැම්බර් 20) මෙයින් අදහස් වන්නේ මුදල් අවශ්‍යතාවක් නිසැකවම ඇති නමුදු ගැටළුව පවතින්නේ මහා භාණ්ඩාගාරයේ ක‍්‍රියාකලාපය සහ අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රමාණවත් කැපවීමක් දැක්වීමට රජයට අවංක අවශ්‍යතාවක් නොමැතිකමයි.

ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරනු වෙනුවට විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් මහජනයා කොතරම් මුදලක් වැය කරන්නේද යන්න ගැන අදහසක් ඔවුන්ට ලබා දීම සඳහා වියදම් පත‍්‍රිකාවක් ලබා දීමට මූල්‍ය අමාත්‍යවරයා යෝජනා කරයි. කෙසේ වෙතත්, පරිහරණය නොකරන ලද මුදලක් ඉතාම හිතුවක්කාරී ලෙස කපා හැරීමට තැත් කරන අතරවාරයේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට කැප වීම වෙනුවට මෙවැනි උපහාසාත්මක ප‍්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි නොවේ. මේ සියල්ල සිදු වන්නේ ව්‍යාපාරික බදු සහන ලබා දීමට රජය යෝජනා කරන කාල වකවානුවකය. මෙලෙස ව්‍යාපාරික ප‍්‍රජාව වෙනුවෙන් ලබා දෙන සහන හිලවු කිරීමට යන මුදල ස`දහා වියදම් පත‍්‍රිකා යවන්නේ කාටද යන්නද පැහැදිලි කළ යුතුය.

2017 අයවැය තුළ අධ්‍යාපනයට හිමි තැන

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනතාවට ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙහි සඳහන් වූ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6‍ % ක් වෙන් කිරීමේ පොරොන්දුව මෙවර අයවැය මගින් උල්ලංඝනය වී ඇත. අයවැය තක්සේරුවෙන් හෙළි වන වැදගත් කරුණක් වන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ස`දහා වෙන් කර ඇති මුදල සමස්ථයක් ලෙස ගත් විට ආසන්න වශයෙන් රුපියල් බිලියන හතලිහකින් පමණ අඩු කර ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග යන අමාත්‍යාංශ, මධ්‍යම රජය සහ පළාත් සභා හරහා අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යොදවනු ලැබේ. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සතුටුදායක මුදලක් අයවැයෙන් වෙන් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්ද, සමාජයේ අඩු වරප‍්‍රසාද භුක්ති විඳින පිරිස් වෙතද සම අධ්‍යාපන අවස්ථා ව්‍යාප්ත කිරීම සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය ආශ‍්‍රිත සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සිදු කළ යුතු හෙයිනි. එවැන වෙනසකට අධ්‍යාපන අමාත්‍යාංශයේ නායකතව අවශ්‍ය වග එහෙත් එවැනි පැතිකඩක් වෙත කිසිදු අවධානයක් මෙවර අයවැයෙන් යොමු කර ඇති බවක් නොපෙනේ. සත්‍ය වශයෙන්ම පෙනී යන කරුණක් වන්නේ 2017 අයවැය මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණයන්හි පහත බැසීමක් ඇති බවයි.

පළාත් මට්ටමේ අධ්‍යාපනය ස`දහා වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණය

පසුගිය වසර හා සැසඳීමේදී පළාත් මට්ටමේ පාසල් වෙනුවෙන් වෙන් කර ඇති මුදල මෙවර රු. බිලියන 10 කින් පහත බැස ඇති බව පෙනේ. නාගරික පාසල් සොයා යාම වෙනුවට තම පදිංචි ප‍්‍රදේශ ආශ‍්‍රිත හොඳ පාසල්වලට ඇතුළත් වීමට සිසුන්ට හැකි වන පරිදි මෙරට බහුතර ශිෂ්‍ය ප‍්‍රජාවගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටු කරන පළාත් පාසල් පද්ධතිය ශක්තිමක් කිරීම සඳහා සාර්ථක ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග ගත යුතුය. මෙවැනි සැලැස්මක් 2017 අයවැයෙන් නොපෙනේ.

අධ්‍යාපනය සඳහා වන අයවැය යෝජනා

ඕනෑම රජයක අපේක්‍ෂා පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන හොඳම දර්ශකයක් අයවැය යෝජනා විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත හැක. විශේෂයෙන්ම, අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු සුවිශේෂී ප‍්‍රතිපත්ති ලේඛනයක් සකස් කොට නොමැති මෙවැනි පසුබිමකට මේ තත්ත්වය වඩාත් අදාළ වේ. පහත 1 රූපයෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදලින් සැලකිය යුතු කොටසක් ගලා යන්නේ පෞද්ගලික ආයතන වෙත බවයි. එම මුදලින් 16‍ % ක් ණය හා රක්‍ෂණාවරණ සඳහා වන අතර 45‍% ක් වෙන් කොට ඇත්තේ පුද්ගල පරිගණක හා ටැබ්ලට් පරිගණක ගාස්තු වෙනුවෙනි. මේ අතරම, 3 රූපයේ පෙන්වා ඇති පරිදි රක්‍ෂණ හා ණය යෝජනා ක‍්‍රම ආශ‍්‍රිත බිඳ වැටීම මගින් පෙනී යන්නේ මහජනතාව සතු මුදල් කොතරම් දුරට සීමිත පිරිසකගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කූඨ ලෙස වෙන් කිරීමක් සිදු වන්නේද යන වගයි. මහජන සුභසාධනයට මුවා වී රාජ්‍ය මුදල් පෞද්ගලික අංශය වෙත ගලා යන තත්ත්වයක් නිර්මාණය කිරීමට එවැනි යෝජනා ක‍්‍රම මගින් පහසුවෙන්ම ඉඩ පෑදේ. නිදසුනක් වශයෙන්, සෞඛ්‍ය රක්‍ෂණාවරණ වෙනුවෙන් වෙන් කර ඇති මුදල් මගින් දරුවන් සඳහා වන පෞද්ගලික සෞඛ්‍යාරක්‍ෂණ සේවා ආවරණය වේ. එහෙත් සත්‍ය වශයෙන්ම සිදු විය යුත්තේ එම මුදල් නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් වෙන් කිරීමයි.

පාසල් පද්ධතිය ආශ‍්‍රිත ඉගැන්වීම් කටයුතු, විෂය මාලා, අධ්‍යාපන අවස්ථා සඳහා ප‍්‍රවේශය සහ යටිතලපහසුකම් ක‍්‍රමවත් ආකාරයකට සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය දීර්ඝ කාලීන දැක්මක් රජයට ඇති බවට ඉ`ගියක්ද නොලැබේ. රාජ්‍ය අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් මෙම අයවැයෙන් සැලකිය යුතු මුදල වෙන් කොට ඇති බවක් අපට නොසිතේ.



untitled5


- මෙලනි





2016-12-07
Advertisement

Find us on Facebook