English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නොමියෙන මිනිසකු වූ ෆිදෙල් !

මුදා කුමන්ත්‍රණයකින් බලය රැකගෙන ධනේෂ්වර අමෙරිකාවට වුවමනා විදිහට කියුබාව පාලනය කළ ෆුල්ගෙනිෂියෝ බැටිස්ටාගේ ඒකාධිපති ක්‍රියා පිළිවෙතට එරෙහිව 1959 වසරේ සුප්‍රකට කියුබානු විප්ලවයට පණ දුන් විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ පෙරේදා සදහටම ඇස් පියා ගත්තේය. පසුගිය අගෝස්තු 13 වැනිදා සිය අනූ වැනි උපන්දිනය සැමරූ මේ මානව හිතවාදී ජන නායකයා මෙලොවින් සමුගැනීමට පෙර වසර ගණනාවක් සිටියේ රෝගාතුරවය.

ඇතැමුන්ට ඔහු කියුබානු විප්ලවයේ අසහාය වීරයා වූ අතර තවත් පිරිසකට විප්ලවීය නායකයකු විය. රැඩිකල්වාදී තරුණයන්ට ඔහු විප්ලවයේ සලකුණකි. ලක්ෂ සංඛ්‍යාත කියුබානුවන් ඔහු හැඳින්වූයේ කියුබාවේ ගිනි සිළුව නමිනි. කවුරු කෙසේ ඔහු ආමන්ත්‍රණය කළත් ෆිදෙල් යනු ලෝක දේශපාලන ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලියා තැබූ සුවිශේෂී චරිතයකි.

කියුබානු විප්ලවයෙන් සමාජවාදයට නව පණක් ලබා දුන් ෆිදෙල් කස්ත්‍රෝ ධනවාදයේ අනන්තයටම ගිය අමෙරිකානු එළිපත්තේ හිඳිමින් සිය දේශපාලන ජීවිතය හැඩගස්වා ගත් ආකාරය පුදුම සහගතය. කිලෝමීටර් සියයකට වඩා දුරක් නැති ලෝක ධනවාදයේ බලවත්ම රාජ්‍ය්‍යයට නිතර නිතර අභියෝග කරමින් සිය දේශපාලන දැක්මේ දිග පළල කියා දුන් ෆිදෙල් කිසිදු අවස්ථාවක සිය දැවැන්ත ප්‍රතිරූපය බිඳ දමාගත්තේ නැත.

අඩසිය වසක් කියුබාව පාලනය කරමින් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනට පසුව ලොව වැඩිම කාලයක් රාජ්‍ය නායකයා වීමේ ගෞරවනීය වාර්තාවට හිමිකම් කියන ෆිදෙල් කස්ත්‍රෝ සිය පාලන සමයේදී අමෙරිකානු ජනාධිපතිවරු 11 දෙනකුට දරුණු හිසරදයක් බවට පත්වී සිටියේය. සී.අයි. ඒ. රහස් ඔත්තු සේවා නියෝජිතයන් මේ බලසම්පන්න වාමාංශික නායකයා ඝාතනය කරන්නට 600 වතාවකට වැඩිය උත්සාහ කොට තිබූ බවක් ඇතැම් වාර්තා මගින් කියැවෙයි. එහෙත් ඒ සියලු උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට ෆිදෙල් සමත්වූයේ ඔහු සතු විචක්ෂණශීලි දේශපාලන දැනුමට පින්සිදුවන්නටය.

වසර 1926 අගෝස්තු මස 13 දා කියුබාවේ හොල්ගියුන් ප්‍රාන්තයේ දී ෆිදෙල් අලෙජැන්ඩ්‍රෝ කැස්ත්‍රෝ රූස් නමින් ඔහු උපන්නේ ධනවත් ගොවි පවුලකය. කුඩා වියේදීත් ඔහු ඉතා දඩබ්බරය. ඔහුගේ දඟකාර වැඩ නිසා වරින් වර පාසල් මාරු කරන්නට ද පියාට සිදුවි තිබිණි. ඉතිහාසයට, භූගෝල විද්‍යාවට සහ වාද විවාද කරන්නට කැපී පෙනුණත් ෆිදෙල් අධ්‍යාපනයට වඩා කාලය වෙන් කළේ ක්‍රීඩාවටය.

එසේ වුවත් වසර 1945 දී හවානා විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට ඔහු සමත්වී තිබිණි. ඔහුගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සිදුවූයේ එහිදීය. ධනවාදී අමෙරිකාව ප්‍රසිද්ධියේම විවේචනය කරමින් තරුණ වියේදීම සටන්කාමී දේශපාලන චරිතයක් බවට පත්වූ ෆිදෙල් වසර 1946 දී එවකට කියුබාවේ ජනපති ධුරය දැරූ රමොන් ග්‍රව්ගේ පාලනය දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රසිද්ධ දේශනයක නිරතවිය. එය ඔහුගේ දේශපාලන ජීවිතයේ එක්තරා කඩඉමක් ලෙස සැළකෙන අතර ඊට සෑහෙන තරමේ ප්‍රසිද්ධියක් ද එරට පුවත්පත්වලින් ලැබී තිබිණි.

ඊළඟ වසරේ දී ඔහු එරට ජනකාන්ත චරිතයක් මෙන්ම ප්‍රවීණ දේශපාලඥයකු ද වූ එඩුවාඩෝ චිබාස් බිහිකළ කියුබානු ජනතා පක්ෂයට බැඳුණු අතර විනිවිද පෙනෙන රජයක්, දේශපාලන නිදහසක් ඉල්ලා චිබාස් ගෙන ගිය අරගලයේ කොටස්කරුවකු බවට පත්විය.වැඩිකල් නොගොස් ග්‍රව් පාලනයේ දූෂණ වංචා එළිපිටම කියාපෑ ජනතා පක්ෂයේ ප්‍රබලතම චරිතයක් වූ ෆිදෙල් නීතිය, සාධාරණත්වය ඉල්ලා හඬක් නැගූ කියුබානු ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයකු වූයේ නිතැතින්මය. එනිසාම ඔහු ග්‍රව් රජයේ තදබල ඉලක්කයක් බවට ද පත්විය. විශ්ව විද්‍යාලයෙන් වහා පිටවී නොයන්නේ නම් මරා දමන බවට ග්‍රව් රජයේ මැර හමුදාවෙන් තර්ජන එල්ලවෙද්දී ඔහු කළේ අවිආයුධවලින් සන්නද්ධවීමය. ඔහුගේ ආරක්ෂාවට ගිනි අවි රැගත් මිතුරන් පිරිසක් ද ඒකරාශිවී සිටියහ. පසුකලෙක ගරිල්ලා නායකයකු ලෙස බැටිස්ටා පාලනයට එරෙහිව නැගී සිටීමට මේවා ඔහුට කදිම පෙරහුරුවක් වන්නට ඇත.

අමෙරිකානු හිතවාදී ඩොමීනිකන් රාජ්‍ය යේ රෆායල් ටෘජිලෝගේ දක්ෂිණවාදී හමුදා ජුන්ටාව බිඳ දැමීමේ සැලසුමක් ගැන ෆිදෙල්ට දැන ගැනිමට ලැබුණේ ඔය කාලයේදීමය. ඩොමීනිකන් රාජ්‍ය යේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමේ නිතී විද්‍යාලයිය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද ෆිදෙල් විසිනි. එබැවින් ඔහු ද මේ අරගලයට ඉතා උනන්දුවෙන් යුතුව එක්විය. සටන්කාමීන් 1,200ක තරම් පිරිසක් කැරැල්ලට එක්වූහ. කියුබානු ජාතිකයන් සහ පිටුවහල් කළ ඩොමීනිකානුවෝ රැසක් ඒ අතර වූහ. එහෙත් ඔවුන්ට කියුබාවේ සිට යාත්‍රා මගින් ඩොමීනිකන් බලා පිටත්වීමට ඉඩ නොලැබිණි. අමෙරිකාවේ උපදෙස් මත ග්‍රව් රජය ඔවුන්ගේ ගමන නතරකොට කස්ත්‍රෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

ඉන් නිදහස ලැබීමෙන් පසුව ඔහු රජයේ ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූ සරසවි සිසුන් වෙනුවෙන් ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේය. වාමාංශික දේශපාලන දැක්මක් ඇති බහුතරයක් මේ විරෝධතා ව්‍යාපාරයට එක්වූ අතර පොලිසිය සමග ඉතා දරුණු අන්දමෙන් ගැටුම් පවා ඇති කරගත්තේය.

අමෙරිකානු අධිරාජ්‍යවාදයත්, කියුබාව එහි ගොදුරක් බවට පත්වීමත් දැඩි විවේචනයට ලක් කරමින් ෆිදෙල් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාර වැඩිකල් නොගොසින් ඔහු එරට නොම්මර එකේ සටන්කාමීයෙක් බවට පත් කළේය. මේ අසහාය සටන්කාමියාට ජනතා විප්ලවයක් සිදුකොට කියුබානු ඉතිහාසය එහෙම පිටින්ම උඩුයටිකුරු කිරිමට මග පෑදුණේ අමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව ලතින් අමෙරිකානු රටවල සටන් රැසකට දායකත්වය ලබාදුන් චේ ගුවේරාගේ මුණගැසීමත් සමගය.

ෆිදෙල් – චේ හමුව මුල්වරට සිදුවූයේ මෙක්සිකෝවේදීය. බැටිස්ටා පාලනයට එරෙහිව අවි අතට ගත් ෆිදෙල් සහ ඔහුගේ බාල සොයුරු රාවුල්ට අසාර්ථක ප්‍රහාරයකින් පසුව සිරබත් කෑමට සිදුවී තිබූ අතර නිදහස ලැබීමෙන් පසුව ඔවුන් මෙක්සිකෝවට පලා ගියේ ජීවිත රැක ගැනීමේ අටියෙනි. ෆිදෙල් – චේ ඓතිහාසික හමුව සිදුවූයේ එලෙසිනි.

ලෝක දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කළ කියුබානු විප්ලවයේ මූලික සැලසුම නිර්මාණය වන්නේ මෙක්සිකෝවේදීය. විප්ලව කරන්නටම උපන් සටන්කාමීයකු වූ චේ කියුබානු විප්ලවයේදී ෆිදෙල්ගේ කදිම සගයා බවට පත්විය. විප්ලවයෙන් පසුවත් ඔහු ෆිදෙල්ගේ දේශපාලන සෙවණැල්ල බවට පත්විය. ෆිදෙල් සහ චේ යනු එකම කාසියක දෙපැත්තක් බැව් කියාපෑමට වෙනත් නිදසුන් අවශ්‍ය නැත.

එදා සිට 1976 දක්වා කාලයේදී කියුබාවේ අගමැතිවරයා ලෙසත්, ඉන් පසුව 2006 දක්වා එරට ජනාධිපතිවරයා ලෙසත් ලෝක දේශපාලනයේ විවිධ හැලහැප්පීම් ගණනාවකට මුහුණ දුන් ෆිදෙල් කස්ත්‍රෝ 2006 දී රාජ්‍ය බලය සිය බාල සොයුරු 85 හැවිරිදි රාවුල්ට පැවරුවේ දශක ගණනාවකට පසුව විවේකයක් ලබා ගැනීමේ අටියෙනි. එසේ වුවත් තරුණ වියේ සිටම දේශපාලන පොර පිටියට වැටුණු ෆිදෙල්ට ඉතාමත් සුන්දර වූ ඉන් එහා ලෝකයකුත් තිබුණු බැව් නොකියාම බැරිය.

ෆිදෙල්ගේ පළමු බිරිය මිර්තා ඩියෑස් බලාට්ය. ඔහු ඇය හා පෙමින් බැඳුණේ විශ්ව විද්‍යාලයේ අරගල කරමින් සිටි සමයේදීය. ඇගේ පවුලේ අය බැටිස්ටා පාක්ෂිකයන් වූ නිසාම දෙදෙනාගේම මාපියන් ඊට කිසිසේත්ම අනුමැතිය නොදුන්නත් මේ පෙම්යුවළ ඒවා තුට්ටුවකටවත් මායිම් කළේ නැත. කෙසේවුවත් අන්තිමේදී 1948 දෙසැම්බරයේ දෙදෙනාගේ යුගදිවිය ආරම්භ විය. එහෙත් විවිධ කරුණු කාරණා හේතුකොට ගෙන 1955 දී ෆිදෙල් ඇගෙන් වෙන්විය. ඒ වනවිට ඔහුට දාව උපන් ෆිදෙල් ඒන්ජල්ට අවුරුදු 6ක විය. ඉන් පසුව ස්පාඤ්ඤයේ පදිංචියට ගිය මිර්තා සිය ආදරණීය පුත්‍රයා දැක බලාගැනීමට යළි කියුබාවට පැමිණියේ වසර 40කට පසුවය.

මිර්තාගෙන් වෙන්වීමෙන් පසුව ෆිදෙල් විවාහ වූයේ ඩේලියා සෝටෝ සමගිනි. ඔහුට දාව ඇය විසින් පුතුන් පස්දෙනකුම බිහිකරනු ලැබුවාය. ෆිදෙල්ට ගැහැනු දරුවන් නොසිටි බව ඇතැමුන් පැවසුවත් සැබැවින්ම ඔහු සිය පළමු විවාහය අතරතුරදී නතාලි නමැති එක්තරා කාන්තාවක් සමග ඇතිකරගත් අනියම් සබඳතාවක ප්‍රතිළුලයක් ලෙස ගැහැනු දරුවකු ඉපදුණු බැව් දන්නේ අතලොස්සකි. නතාලි බිහිකළ ෆිදෙල්ගේ දියණිය අලීනා ෆර්ඩිනැන්ඩස් කියුබාවෙන් සමුගත්තේ 1993දීය. ඇය දැන් අමෙරිකාවට වී සිය පියාගේ දේශපාලනය විවේචනය කරමින් සිටින්නීය.

මේ අතරතුර තවත් පෙම් සබඳතා කිහිපයක්ම ෆිදෙල්ට තිබූ බැව් ඔහුගේ සමීපතම මිතුරන් පසුකලෙක අනාවරණය කළහ. ඒවා සැබැවින්ම පෙම් සබඳතා නොව කායික සම්බන්ධතා වශයෙන් ගිණිය හැකි ඒවාය. ෆිදෙල් සමග එක් රැයකදී පමණක් යහන්ගත වූ එක්තරා කාන්තාවක් ඔහුට දාව බිහිකළ ෆ්‍රැන්සිස්කා පුපෝ දියණිය දැන් පදිංචිවී සිටින්නේ මියාමිවලය. නම සඳහන් නොවන තවත් කාන්තාවක් ඔහුට දාව බිහිකළ පුතකුට ෆිදෙල් නම තැබුවේ ජෝර්ජ් ඒන්ජල් කස්ත්‍රෝ යනුවෙනි.

ෆිදෙල් කස්ත්‍රෝ සැබැවින්ම අපූරු චරිතයකි. ආදරණීය විප්ලවකාරයෙකි. ගැහැනුන් හා වරින් වර පෙමින් බැඳී සිටීම නිසාම ඇතැමුන් ඔහු ආමන්ත්‍රණය කළේ රෝමාන්තික විප්ලවකාරයා නමිනි.

සිය දේශපාලන ජීවිතයේදී ඉතාමත් අවිවේකී දිවිපෙවෙතක් ගතකළ හෙතෙම නින්දට ගියේ අළුයම 3ට හෝ 4ට පමණය. කෙතරම් අවිවේකී වුවත් පවුල් ජීවිතයට අමතරව ඔහු පොත් කියැවීමට ද රුසියකු විය. අර්නස්ට් හෙමිංවේගේ කෘතිවලට ඔහු දැක්වූයේ දැඩි ඇල්මකි. ක්‍රීඩාවට ද එසේමය. එහෙත් සංගීතය නම් ඔහුට පෙන්නන්නටවත් බැරිය.

ලෝක දේශපාලනයට පූර්වාදර්ශ රැසක් එකතු කළ මේ අභීත ජන නායකයා එහෙම පිටින්ම පුරාවෘතාන්තයකි. කියුබානු ජනතාව අතර ඔහුට තිබුණේ මහා පුදුමාකාර විදිහේ බැඳීමකි. ඔහු යන යන තැන කවුරුත් ‘ෆිදෙල්…ෆිදෙල්…කියමින් ඔහු වටා එක්රොක්වූහ. ඒ අසීමිත ජනප්‍රියත්වය ඔහු මියෙනතුරාවටම තිබිණි.

ෆිදෙල්ගේ අභාවයත් සමග කියුබාවේ දින 9ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ. ලොව පුරා විවිධ රටවල රාජ්‍ය නායකයන් මෙන්ම වාමාංශික ව්‍යාපාරයේ ප්‍රබලයන් ඔහුගේ වියෝව වෙනුවෙන් ශෝක ප්‍රකාශ පළ කරන්නට පටන්ගෙනය. එහෙත් කියුබානු ජනතාවට නම් ඔවුන්ගේ සදාතනික වීරයා තවම ජීවමාන චරිතයකි. ඔවුන් කියන්නේ ෆිදෙල් නොමියෙන මිනිසකු බවය.

                                                    ෆවුස් මොහොමඩ්


                                            උපුටා ගැනීම - Sri Lanka Guardian

                                                                 - මෙලනි





2016-11-28
Advertisement

Find us on Facebook