English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රවිරාජ් ඝාතනය : ඉන්පසු අරලිය ගහ මැදුරට - ජනාධිපති ආරක්ෂක අංශ රියැදුරු ප්‍රීතිවිරාජ් මනම්පේරි සාක්කි දෙයි
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, ප.ව‍‍‍‍‍‍.12.40) නොවැම්බර් 10 වැනිදා උදේ මෙම යතුරු පැදිය පේමන්ට්‌ එකේ නතර කරගෙන ඉන්න විට වෙඩි ශබ්දයක්‌ ඇසුණා. පිටුපස හැරී බලන විට නාවික හමුදා බුද්ධි අංශයේ වැඩ කරපු විත්තිකාර සෙනවිරත්න ජීප් රථයක්‌ ඉලක්‌ක කර වෙඩි තියනවා දැක්‌කා. වෙඩි තැබීමෙන් පසුව ගිනි අවිය එතනම දාලා දුවගෙන ආපු ගාමිණී සෙනවිරත්න මගේ යතුරුපැදියට නැග්ගා. මොකක්‌ද කළේ කියා මා ඇසූවිට උඹට ඒකෙන් වැඩක්‌ නෑ කට වහගෙන හිටපන් කියලා ඔහු මට බැන්නා. ඔහු එදා වෙඩි තියලා මරලා තිබුණේ එවකට මන්ත්‍රීවරයකු වූ නඩරාජා රවිරාඡ් මහතා බව පසුව දැන ගත්තත් කරුණා අම්මාන් පාර්ශ්වයෙන් හෝ වෙනත් කණ්‌ඩායමකින් මගේ ජීවිතයට හානියක්‌ වෙයි කියන බයට මා නිහඬව හිටියා යෑයි ජනාධිපති ආරක්‍ෂක අංශයේ පොලිස්‌ රියෑදුරකු ලෙස කටයුතු කළ ප්‍රීති විරාඡ් මනම්පේරි නමැත්තා 24දා කොළඹ මහාධිකරණයේදී විශේෂ ජුරි සභාව හමුවේදී සාක්‍ෂි දෙමින් පැවැසීය. මෙම විශේෂ ජූරි සභාව කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා ලද්දකි.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේදී පැමිණිල්ල මෙහෙය වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාගේ මෙහෙය වීම යටතේ දෙවන දිනටත් සාක්‍ෂි දුන් ප්‍රීති විරාඡ් මනම්පේරි (39) නමැත්තා මෙසේද පැවැසීය.

මම අධ්‍යාපනය ලැබුවේ තලාව මහ විදුහලින්. උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබුවා. ඊට පසු මම පොලිස්‌ දෙපාර්තමේන්තුවට 1996 ජනවාරි මස බැඳුණා. මම කළුතර පොලිස්‌ විද්‍යාලයෙන් රථවාහන පැදවීම සම්බන්ධයෙන් පුහුණුව ලැබුවා. යාපනය පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයෙන් ද මම පුහුණුව ලැබුවා. උතුරු නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්‌ත්‍රික්‌කයේත් විවිධ පොලිස්‌ ස්‌ථානවලත් මම සේවය කළා.

මම අන්තිමට සේවය කළේ පොලිස්‌ ක්‍ෂේත්‍ර බලකා මූලස්‌ථානයේ හා ජනාධිපති ආරක්‍ෂක අංශයේ. නියෝජ්‍ය පොලිස්‌පති නෙවිල් විඡේසිංහ මහතාගේ ආරක්‍ෂක රාජකාරිවලත් මා නිරතව සිටියා. 2005 වසර දක්‌වා මම නෙවිල් විඡේසිංහ මහතා යටතේ සේවය කළා. 2009 වසරේදී මා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ රාජකාරිවලින් ඉවත් වුණා. නියෝජ්‍ය පොලිස්‌පති අබේගුණවර්ධන මහතා යටතේ බුද්ධි අංශ කටයුතුවලත් මා නිරත වුණා. කරුණා අම්මාන් පාර්ශවයෙන් රජයට සම්බන්ධ වූ සාමාජිකයන්ගෙන් සහය ලබාගෙන අපි මෙහෙයුම් කටයුතු කළා. එවකට කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් රැසක්‌ මා දැන හඳුනාගෙන සිටියා.

මා පුද්ගලිකව දන්නා පරිදි කරුණා පාර්ශ්වය ආරක්‍ෂක අංශවලට සහාය දැක්‌වුවා. 

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්. කොයි ආකාරයට ද ඒ සහාය දැක්‌වුවේ.

සාක්‍ෂිකරු - නියෝජ්‍ය පොලිස්‌පතිතුමා යටතේ විශේෂ ඒකකයක්‌ තිබුණා. කරුණා පාර්ශ්වය හරහා එල්. ටී. ටී. ඊ. එකට ආයුධ දුන්නා.

නි. සො - මෙහෙයුම් කළා කිව්වේ මොකක්‌ද?

සාක්‍ෂිකරු - ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සිදු කළ මෙහෙයුම්

නි. සො. ජ - ඔබත් පුද්ගලිකව එවැනි මෙහෙයුම්වලට සම්බන්ධ වුණාද?

සාක්‍ෂිකරු - එහෙමයි. කරුණා පාර්ශ්වයේ අය පෙන් වූ ස්‌ථානවලට කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට සහය වුණා. මෙහෙයුම් සිදු වුණේ නියෝජ්‍ය පොලිස්‌පති අබේගුණවර්ධන මහතා යටතේ. මට සාමාන්‍යයෙන් දෙමළ භාෂාව තේරුම් ගන්න පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ඔ - බට මතකද කරුණා පාර්ශ්වයේ අයගේ නම්?

සාක්‍ෂිකරු - ශ්‍රී විජයන්, පාක්‌කරන් සුරේෂ්, රාජා, වැනි අයගේ නම් මතකයි. ඒ අය හා පොලිසිය අතර බුද්ධි තොරතුරු රැස්‌කිරීමේ සහාය ලැබුණා. තලාවේ සිට කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයට මට මාරුවක්‌ ලැබීමට විශේෂ හේතුවක්‌ තිබුණා. ත්‍රස්‌තවාදී කොටසට ගොස්‌ ඒ කඳවුර විනාශ කරන්න උත්සාහ කළා.

ඒ ප්‍රදේශයේ තිබූ ත්‍රස්‌තවාදී ප්‍රදේශයකට ඇතුල් වී ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධියක්‌ මුල්කරගෙන මා ඇතුළු නිලධාරීන් රැසකට මාරුවීම් ලැබුණා. එම ප්‍රහාරය ගැන පුවත්පත්වල විස්‌තර ගියා. වටිනාගල පොලිසියේ මම මාසයක්‌ විතර සිටියා. කළුතර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයට මාරුවීමක්‌ ලැබුවාට පසු මගේ ජීවිතයට තර්ජනයක්‌ ඇති වුණා. මම කළුතර වැඩ කළේ රියෑදුරකු ලෙසයි. 2006 වසරේදී තමයි නිත්‍ය සේවයට අනුයුක්‌ත කළේ. 43954 මගේ නිල අංකයයි. කළුතර සිට මම ජනාධිපති ආරක්‍ෂක අංශයට 2006 වසරේ මුල්කාලයේ මාරු වුණා. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රුද්‍රිගූ මහතා යටතේ වැඩ කළා. ජනාධිපති ආරක්‍ෂක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස එස්‌. එස්‌. පී. රුද්‍රිගු මහතා වැඩ කළා. ඊට පසු මම ස්‌ථාන මාරුවක්‌ ලැබුවා. මරදානේ පොලිස්‌ නිවාසවල තමයි රුද්‍රිගූ මහතා සිටියේ. එහි සිට තමයි එතුමා ජනාධිපති මන්දිරයට ගියේ.

ඒ මහතාට දරුවන් හතර දෙනෙක්‌ ඉන්නවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සේවය කරද්දීත් එල්. ටී. ටී. ඊ . සංවිධානයේ සාමාජිකයන් සමඟ මට සම්බන්ධකම් තිබුණා. ඔවුන් කොළඹට ආවිටත් මා සමඟ සම්බන්ධකම් තිබුණා. උතුරු නැගෙනහිර සේවය කරද්දී මම කරුණා පාර්ශවයේ යතුරුපැදි වගේම කැබ්රථත් පදවා තිබුණා. නියෝජ්‍ය පොලිස්‌පති අබේගුණවර්ධන මහතාගේ නිර්දේශය යටතේ මා එම කටයුතු කළා.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීම හා ප්‍රහාර එල්ල කිරීම ගැන මා පුහුණුව ලබා තිබෙනවා. 

නි. සො. ජ - ඔබ කීවා ඔබ කොළඹට ආවට පසුවත් කරුණා පාර්ශ්වයේ අය සමඟ සම්බන්ධකම් පැවැත් වූවා කියලා. 

සාක්‍ෂිකරු - නමුත් ඒ ගැන මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ව දැනුවත් කර තිබුණේ නෑ. එස්‌. එස්‌. පී. රුද්‍රිගු මහතා ජනාධිපති මන්දිරයට ගියේ නිල රථයකින්.

කරුණා පාර්ශ්වයට ඉන්නවා සාමි කියලා කෙනෙක්‌. ඔහුට සුරේෂ් කියලත් කියනවා. ඔහු මගින් මම සම්බන්ධකම් ගෙන ගියා. කොටහේන ප්‍රදේශයේ තමයි ඔහු පදිංචිව සිටියේ. ආරක්‍ෂක අංශයේ ලෙස තමයි ඔහුත් හැසිරුනේ. සාමි අපේ බුද්ධි අංශ සමඟ එක්‌ව කටයුතු කළා. ඔහු කොටහේනට ආපසුත් රාජ්‍ය බුද්ධි අංශ සමඟ සබඳතා පැවැත් වූ බව මම දන්නවා.

නි. සො. ජ - සාමි කියන පුද්ගලයා මුණ ගැසුනේ කොහොමද?

සාක්‍ෂිකරු - ගංගාරාමය අසලට එන්න කියලා ඔහු දිනක්‌ මට පණිවුඩයක්‌ එවලා තිබුණා.

මම අද සාක්‍ෂි දෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතනය ගැනයි. 2006-11-10 තමයි එම ඝාතනය සිදු වුණේ. එදින මම ගංගාරාමය පංසල ළඟට ගියා. ලොන්ඩරි වත්තට ගියා. ඒ ආසන්නයේ තමයි අරලියගහ මන්දිරය තිබෙන්නේ.

ඒ අසල නාවුක හමුදාවේ බුද්ධි අංශයක්‌ තියෙනවා. එතනට තමයි එන්න කීවේ. එතන තට්‌ටු තුනක ගොඩනැඟිල්ලක්‌ තියෙනවා. නාවුක හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් නතර වෙලා ඉන්නේ එතන තියෙන තට්‌ටු තුනේ ගොඩනැඟිල්ලේ තමයි. එතන නාවික හමුදාවේ 15-20 ක්‌ විතර නතර වෙලා හිටියා. එතන හිටිය අයගෙන් සෙනවිරත්න, වජිර, ප්‍රසාද්, මෙන්ඩිස්‌ ඇතුළු කිහිප දෙනෙක්‌ව මම දන්නවා. ඊට මාස 1 1/2 පමණ කාලයක්‌ තිස්‌සේ සෙනවිරත්න කියන අයව මම දන්නවා. 

(විත්ති කූඩුවේ සිටි ගාමිණී සෙනවිරත්න වජිර චාමින්ද හා හෙට්‌ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් යන විත්තිකරුවෝ සාක්‍ෂිකරු විසින් හඳුනා ගනු ලැබූහ.

මේ විත්තිකරුවන් තිදෙනාම මා හඳුනා ගත්තේ සාමි කියන අය මගින්. 2006.11.09 වැනිදා සාමි දුරකථන ඇමතුමක්‌ ලබා දී තමයි මට පණිවුඩය කිව්වේ.

එදින සවස මා එතනට ගියා. එතන සාමි මෙන්ම මෙම විත්තිකරුවන්ද හිටියා. එතන "චරම්" කියන අයත් හිටියා. ඔහු කරුණා පාර්ශ්වයේ අයෙක්‌ ලෙසට මා හඳුනාගෙන හිටියා.

නි. සො. ජ - ඇයි එතනට එන්න කිව්වේ කියලා ඔබට කවුරු හරි කිව්වාද? 

සාක්‍ෂිකරු - එහෙමයි. සාමි කීවා " හෙට එල්. ටී. ටී. ඊ. නායකයකුට ගහනවා යමුද" කියලා

(මෙම අවස්‌ථාවේදී විත්තියේ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සාක්‍ෂිකරුගේ සාක්‍ෂිදීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීමට අවශ්‍ය බැවින් ජූරි සභාව අධිකරණයෙන් ඉවත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියි. ජූරි සභාව මෙන්ම සාක්‍ෂිකරුවාද විවෘත අධිකරණයෙන් බැහැර කිරීමට අධිකරණය නියෝග කරයි.)

විත්තියේ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සාමි කියන පුද්ගලයා කළා යෑයි කියන "හෙට එල්. ටී. ටී. ඊ. නායකයකුට ගහනවා යමුද? සාක්‍ෂි කාණ්‌ඩය සාක්‍ෂි ආඥා පනතට විරුද්ධයි. සාමි මේ නඩුවේ සාක්‍ෂිකරුවකු නෙමෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා - ඒ කාණ්‌ඩය ඉවත් කිරීමෙන් පැමිණිල්ලට අගතියක්‌ වෙනවා.

අධිකරණය - එකී කාණ්‌ඩය ඉවත් කළොත් පැමිණිල්ලට අගතියක්‌ සිදුවිය හැකි බව අධිකරණය පිළිගන්නවා.

සාක්‍ෂිකරු - ඒ යෝජනාවට මම හා කිව්වා. ඒ කාලේ තිබුණ වාතාවරණය අනුව මම ඒකට හා කිව්වා. මම යන්න හදන විට සාමි කීවා මම බයික්‌ එකේ ආවේ ඒක අරගෙන ගිහින් හෙට උදේ 6.00 ට කනත්ත ළඟට එන්න කියලා. යතුරුපැදියට අමතරව මට හෙල්මට්‌ එකකුත් දුන්නා. මම ඒක අරගෙන බී. එම්. අයි. සී. එච්. ළඟට ගියා. ඒකේ තමයි මම නැවතී හිටියෙ. ජනාධිපති ආරක්‍ෂක අංශයේ කට්‌ටියක්‌ හා බී. එම්. අයි. සී. එච්. එකේ හිටිය පොලිස්‌ නිලධාරීන් නතර වෙලා හිටියා.

වජිර කියන විත්තිකරු (4 වන විත්තිකරු) මට එහිදී කිව්වා උදේ හයට එනවා නේද කියලා. නොවැම්බර් 10 වැනිදා උදේ 6.00-6.15 ට විතර මම බී. එම්. අයි. සී. එච්. එකෙන් යතුරු පැදියෙන් පිටත් වුණා.

මම නොවැම්බර් 10 වැනිදා උදේ සාමි ලබාදුන් යතුරුපැදියෙන් ඔහු කිව්ව බොරැල්ල කිතුල්වත්ත පාරට ගියා. ටික වෙලාවක්‌ යද්දි සාමි ත්‍රිරෝද රථයකින් එතනට ආවා ඔහු ආව ත්‍රිරෝද රථයෙන්ම තවත් 3-4 දෙනෙකුත් ආවා. සාමි, චැරම්, හුසේන්, නිශාන්ත හා තවත් පුද්ගලයෙක්‌ තමයි ඒ ආවේ. හුසේන්ව මම කලිනුත් දන්නවා. පොලිසියේ හිටිය හුසේන් ඒ වන විට කරුණා පාර්ශ්වයට සම්බන්ධ බවට මම දැනගෙන හිටියා. හුසේන් අද අධිකරණයේ නෑ. ඊට විනාඩි 10 කට පමණ පසු ත්‍රිරෝද රථ දෙකකින් වජිර, ප්‍රසාද්, සෙනවිරත්න කියන මේ විත්ති කූඩුවේ සිටින 3 න් දෙනා ආවා. මේ විත්තිකරුවන් තිදෙනා ත්‍රිරෝද රථයෙන් බසින විට සෙනවිරත්න කියන අයගේ අතේ කළුපාට බෑග් එකක්‌ තිබුණා මම දැක්‌කා. මම මීටර් 40-50 දුරින් යතුරුපැදිය පේමන්ට්‌ එකේ නතර කරගෙන ඉන්න විට වෙඩි ශබ්දයක්‌ ඇසුණා.

ඒ සමඟම පිටුපස බලද්දී මම දැක්‌කා ගාමිණී සෙනවිරත්න කියන විත්තිකරු වෙඩි තියනවා. ජීප් රථය ඉලක්‌ක කර වෙඩි තියපු සෙනවිරත්න දුවගෙන විත් මගේ යතුරුපැදියට නැග්ගා.

මම ඇහැව්වා මොකක්‌ද කළේ කියලා. සෙනවිරත්න මට එවිට කීවා උඹට ඒකෙන් වැඩක්‌ නෑ කියලා. පසුව මා ගංගාරාම බුද්ධි අංශයට සෙනවිරත්නව රැගෙන ගියා. ඒ යතුරු පැදියත් මා සෙනවිරත්නට දුන්නා. ඒ වෙඩි තැබීම සිදු වුණේ උදේ 8.00 ට විතරයි. පසුව මා අරලියගහ මන්දිරයට ගියා. එහි ගියාට පසුව රුද්‍රිගු මහත්තයා මට කීවා එයාගේ වාහනය සුද්ධ කරන්න කියලා. මම ඒක සුද්ධ කරන ගමන් රේඩියෝ එක දැම්මා. එතකොට තමයි දැනගත්තේ සෙනවිරත්න වෙඩි තියලා තියෙන්නේ නඩරාජා රවිරාඡ් මහත්තයටයි කියලා?

පහුවදා අරලියගහ මන්දිරයට යන ගමන් මම දැක්‌කා මම ඊට පෙර පැදවූ යතුරුපැදිය කෑලි කෑලිවලට කපා දමා තිබෙනවා. එතන දෙමළ අය දෙන්නෙක්‌ හා විත්තිකරුවන් හිටියා. එම යතුරුපැදියේ කෑලි මුහුදට දැම්ම බව පසුව දැන ගත්තා.

එම සිද්ධියෙන් පසුව මම ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවය කළා. ඒ ගැන ජ්‍යෙ. පො. අධිකාරී රුද්‍රිගු මහතාට හෝ වෙනත් අයකුට කීවේ නෑ. එලෙස දැනුම් දීමක්‌ කළොත් මාවත් ඝාතනය කරාවි යෑයි කියන බිය නිසයි මා එලෙස නිහඬව සිටියේ. ඊට කලින් මඩකලපුව එල්. ටී. ටී. ඊ. කඳවුරුවලට ගහන්නත් යද්දී මම සාමිව දාගෙන යතුරුපැදි පදවා තිබෙනවා. ඒ නිසා වෙන්නැති සාමි මාවත් ඒ කටයුත්තට තෝරා ගත්තේ. කරුණා පාර්ශවය හෝ වෙනත් පාර්ශ්වයකින් මාව ඝාතනය කරයි කියන බය මට තිබුණා. මාව අත්අඩංගුවට ගත්තාට පසුව මම නිරෝෂා ප්‍රනාන්දු මහෙස්‌ත්‍රාත්තුමිය හමුවේදී එම සිද්ධිය ගැන ප්‍රකාශයක්‌ කළා.

රජයේ අධිනීතිඥ විරාඡ් නානායක්‌කාර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය විය. නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ රසික බාලසූරිය, සෞම්‍යා මුතුතුඩ, නයනා සෙනවිරත්න ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

-දිවයිනේ ඒ.ජේ. ඒ. අබේනායක විසිනි-


උපුටා ගැනීම  -  ලංකා E නිවුස්

- මෙලනි





2016-11-27
Advertisement

Find us on Facebook