English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණ ඇමතිගේ ප්‍රකාශය තර්ජනයක්ද?

ඇමැති විජයදාස රාජපක්‌ෂ : පිංතුරය - අන්තර්ජාලයෙන්

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක් එනම් පවුම් සීයක් ලබා දුන් පසු ඕනෑම මඩක් ගසා ගැනීමට හැකි එක් වෙබ් අඩවියක් ගැන සඳහන් කළ හෙතම අදාළ වෙබ් අඩවියට සහ එහි කතෘවරයාට එරෙහිව පියවර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව සඳහන් කළේය. ඔහුගේ බස හැසිරවීමේ තාලයට කිහිපවරක් කල්පනාවෙන් ඇහුම්කන් දීමේදී මතුවන මූලික සැකය වන්නේ, එම පවුම් සීයක මුදල සමඟ ඔහුට සම්බන්ධයක් තිබේද යන්නය. එනම්, අදාළ අමාත්‍යවරයා තමාව වර්ණනා කර ගැනීමට හෝ ඔහුගේ ප්‍රතිවාදී දේශපාලනඥයෙකු/ආයතනයක් හෝ වෙනත් පුද්ගලයෙකුට මඩ ගැසීම සඳහා එම වෙබ් අඩවියට මුදල් ලබා දී තිබේද යන්නය.

එවැනි තත්වයකට මුහුණ දුන් පසු ඇතිවන වියෝව සහ ඉන් පසු තම ගෙවීම් නතර කිරීම නිසා තමන්ට එරෙහිව අවලාද නැගීම ආරම්භ වී ඇත්තේ නම් මෙම වැසිකිළි ගැටලුවට රටේ අනෙකුත් ජාතික ගැටලු ඈඳා ගත යුතු නොවේ. එනම් මෙම පෞද්ගලික ගැටලුව විසඳා ගැනීම සඳහා රටේ අනෙකුත් මාධ්‍යය සහ ආයතන බිල්ලට දිය යුතු නැත. අදාළ කතෘවරයා වරදක් කොට තිබේ නම්, සහ ඇමතිවරයා ඔහුට පෙර යම් මුදලක් ලබා දී තිබේ නම්, දෙදෙනාම සිදු කොට ඇත්තේ සාධාරණයක්ද? අසාධාරණයක්ද? යන්න වෙනම විසඳා ගත යුතු ගැටලුවකි. රෝග ලක්ෂණ සහ රෝග කාරකය එකට එක හමු වූ පසු රෝගය සුව කිරීම ඉතා පහසු වේ. ඇමතිවරයාගේ වාග් මාලා තුළ ඇති සංඥාව එය දැයි සිතේ.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍යවරයා රටේ වගකිව යුතු තනතුරක් දරණ පුද්ගලයෙකු මෙන්ම නීතිය ගැන මනා දැනුමැත්තෙක් ලෙස, අදාළ වෙබ් අඩවිය විසින් අධිකරණයට කළ අපහාසය ගැන කතා කිරීම සඳහා වැඩි ඉඩක් තම කතාවේදී වෙන් කර ගත්තේය. මෙහිදී අමාත්‍යවරයාගේ විවේචනය හුදු විවේචනයක් ලෙස බැහැර කිරීමට හෝ එම විවේචනය රටේ ප්‍රගමනයට හෝ සමාජ උන්නතියට හේතු වේ යැයි වර්ගීකරණය කිරීමට නොහැකිය. මන්ද, එය ඉතාම අපැහැදිලි සහ පුද්ගලීකරණය කරගනු ලැබූ විමසීමකි. එසේම අනාගත අනතුරක සංඥාවකි. එය අතිශය හානිකර වන්නා සේම එමඟින් රටට ඇති විය හැකි හානිය ඉතා බරපතල විය හැකිය. මෙහිදී විමසා බැලිය යුතු කාරණය වන්නේ එයයි.

රටක පුරවැසියන් සහ ඔවුන්ට හිමි අයිතීන් මර්ධනය කරන නීති බොහෝමයක් බලගන්වනු ලැබුවේ පුද්ගලයින් සුළු පිරිසක් විසින් සිදුකරණ අකටයුතුකම් හේතුවෙනි. නමුත් නීතියක් සම්මත වූ පසු එය ව්‍යවස්ථාවෙන් විශේෂකොට දක්වා ඇති කාරණා /පුද්ගලයින් හැරෙන්නට එම භූමියේ වෙසෙන සියලුම ජනතාවට වලංගු වේ. මෙරට පමණක් නොව ලෝකයේ ඕනෑම රටක මෙය පොදුවේ දැක ගත හැකි කාරණයකි.

එසේම සාමාජ ගැටලු නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමකින් තොරව අනත්වාදය හෝ වර්ගවාදය ජාතික අනතුරක් ලෙස හුවා දක්වා නීති සම්පාදනය කිරීමෙන් විසඳිය හැකි අන්තවාදයක් නොමැත.

අධිකරණ ඇමතිවරයාට අනුව මෙරට මුස්ලිම් ජනතාවගේ දරුවන් අධ්‍යාපනය හදාරන පාසල් වල අන්තවාදී දෑ උගන්වනු ලබයි. එසේම රටේ අධිකරණයේ විනිසුරුවරුන්ට ස්වාධීන තීරණයක් ගැනීමට නොහැකි ආකාරයෙන් රටේ මාධ්‍යය අදාළ විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් ගැන මාධ්‍යය වාර්තා පල කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව හෙතම කියන්නේය. මෙම කරුණු මූලික කර ගනිමින් “ඩ්‍රැකෝනියන්” නීති ගෙන සාදාරණය ඉටු කරන බව හෙතම කියන්නේය. විෂය භාර ඇමති වූ පමණින් නීතියක් ලියා එය රටේ නීතිය බවට පත් කළ නොහැකිය. එය සම්පූරණ කළ යුතු ක්‍රියාවලියක් තිබේ.

මුස්ලිම් අන්තවාදය ගැන කතා කරන හෙතම මඩකලපුවේ පන්සලක වෙසෙන එක්තරා භික්ෂුවක්, උන්මන්තකයෙකු ලෙස හැසිරීම ගැන හෝ තවත් භික්ෂුන් රට යළිත් පිස්සන් කොටුවක් බවට පත් කිරීමට ගන්නා උත්සාහයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම මඟ හරිමින් සිටින්නේය. එසේම, මෙහි ඇති අප්‍රසන්න කාරණය වන්නේ අධිකරණ ඇමති රටේ බුද්ධ සාසන ඇමතිවරයා ලෙස බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ උන්නතිය වෙනුවෙන් බැඳී සිටින නමුත් සිදුකළ උන්නතිය කුමක්ද යන්නය. මඩකලපුවේ සිදු වූ සිදුවීම් හා සමාන දෑ වාර්තා වූ පසු නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ඔහුගේ නිවැරදි මඟ පෙන්වීමෙනි.

ඒ වෙනුවට, කාරණා කිහිපයක් එකිනෙකට ගෙන එය තම පෞද්ගලික එදිරිවාදීකම පිරිමසා ගැනීම සඳහා භාවිතා කිරීම එතරම් යහපත් කාරණයක් නොවේ. එසේම, මේ ඔස්සේ අමාත්‍යයවරයා ඇතැම් විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාප විවේචනය කිරීමේ අයිතිය “අධිකරණයට අපහස කිරීමක්” ලෙස හුවා දක්වා පැහැර ගැනීමට උත්සහ කිරීමක් මෙහිදී දක්නට ලැබේ.

අධිකරණයේ ගෞරවයට හානී කරන විවිධාකාර දුෂිත සහ වංචාකාරී විනිසුරුවරුන් සහ වරියන් නැති තෝමස් මොර්ගේ යුටෝපියාවක් බඳු තත්වයට ලංකාව පත් වූ පසු අධිකරණ ඇමතිවරයාට එසේ සඳහන් කළ හැකිය. නමුත් මෙම වංචා සහගත දුෂිත මෙන්ම ලිංගික අල්ලස් පවා ලබා ගෙන අධිකරණයේ ගෞරවය කෙළසා ඇති ඇතැම් අයවලුන් සම්බන්ධයෙන් විවේචන තව දුරටත් ප්‍රසිද්ධ විය යුතුවා මෙන්ම අධිකරණය ජනතාවාදී අධිකරණයක් බවට පත් කිරීම සඳහා එය අත්‍යවශ්‍යය වේ. එම විවේචන අධිකරණ තීන්දු විෂයෙහිලා බාධාවක් වන්නේ නම් ඊට අවශ්‍යය පැහැදිලි කිරීම සිදු විය යුත්තේ විනයානුකූලව සහ ක්‍රමානුකූලවය. ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශය මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන තිබේ. මෙවැනි දෑ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කොට තම ක්‍රෝධය පිරිමසා ගැනීම සඳහා භාවිතා කිරීමෙන් පෙනී යන්නේ අදාළ කාරණා විෂය කොට ගනිමින් තම රැකවරණය සොයා ගැනීමකි. මෙය අප්‍රසන්නය.

මෙහිදී වැදගත් වන්නේ අදාළ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළ දෑ එකිනෙක සලකා ගෙන එය හරිද වැරදිද යන්න කීම හෝ, එසේ පල කිරීම සඳහා එම වෙබ් අඩවියේ කටයුතු කරන අයවලුන් “කප්පම්” ගත්තේද යන්න නොවේ. මන්ද එය විසඳා ගත යුත්තේ වෙනමමය. රටේ අධිකරණ පද්ධිතිය දූෂිත නම් එය විවේචනය කිරීමට ඇති අයිතිය පැහැර ගැනීම සඳහා මෙවලමක් ලෙස භාවිතා නොකළ යුතුය.

රටක අධිකරණය යනු ජනතාවගේ අයිතියකි. එය පවත්වා ගෙන යෑම සඳහා පත් කරන නිලධාරීන් යනු රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන කොටසකි. ඔවුන්ගේ දැනුමට ජනතාව ගෙවීමක් සිදු කරනු ලබයි. එසේම ඔවුන්ගේ දැනුම ඔස්සේ ලබාදෙන තීන්දු රටේ නීතිය සෑම අයෙකුටම පොදු සහ සර්ව සාධාරණ බව ඔප්පු කිරීම මොවුන්ගේ මූලික වගකීම වේ. තීන්දුවට පෙර දින එක් පාර්ශවයක අයෙකුට විස්කි බෝතලයක් රැගෙන තම නිවසට පැමිණෙන්නැයි කියන විනිසුරුවන් සිටින රටක එම අලුගුත්තේරු පුරුදු නැති නිලධාරීන් විසින් කළමනාකරණය කරන අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා විවේචන අත්‍යවශ්‍යය වේ.

මොවුන් ගැන වඩ වඩාත් හෙළිදරව් කළ යුතු වේ. ඒ සඳහා රටේ සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබේ. මෙම මූලික අයිතිය පැහැර ගැනීමට කිසිවෙකුට ඉඩ දිය යුතු නොවේ.

අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තර්ජනයක් ලෙස දැකීමට කලබල විය යුතු නොවේ. නමුත් එහි පරාමිතිය නිවැරදිව මැන බැලීම අත්‍යවශ්‍යය වේ. මෙහිදී මාධ්‍යය හමුවේ ඇති වගකීම ඉතාම සංවේදී කාරණයකි. සාම්ප්‍රදායික මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය විසින් නිර්මාණය කරන මතය තව දුරටත් රටක ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් කිරීම සඳහා හේතු වන්නේ නැත. එය නව වෙබ් මාධ්‍යය විසින් ක්ෂණිකව ග්‍රහණය කරගෙන ඇත. එමඟින් රටේ විශාල පිරිසකට ආමන්ත්‍රණය කිරීමට මෙන්ම බලපෑම් ඇති කිරීමට හැකි වී තිබේ. නමුත් එය මෙවලමක් ලෙස තබාගෙන වෙනත් අරමුණු සපුරා ගැනීමට උත්සහ දරන්නේ නම් ඒවාට කටයුතු කළ යුත්තේ තනි තනිව මිස සාමුහිකව රට තුළ පුළුල් වී ඇති අවකාශය හකුලා දැමීමෙන් නොවේ.

විශේෂයෙන් ත්‍රස්ත විරෝධී පනත මෙන්ම නව ජාතික ආරක්ෂාවට අදාළ පනත් කෙටුම්පත් ඔස්සේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සහ තොරතුරු ලබා ගැනීමට ඇති නිදහස කප්පාදු කිරීමට හැකි අවකාශය විමුක්තිය උදෙසා සටන් කරන්නා විසින්ම තනා දිය යුතු නොවේ. එසේ කළහොත් පසුගියදා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක බරපතලම මර්ධනීය නීතිය ලෙස සැලකෙන විමර්ශාන්තමක බලය පිළිබඳ කෙටුම්පතට (Investigatory Powers Bill ) වඩා බරපතළ මර්දනීය නීති ශ්‍රී ලංකාව තුළද සම්මත වී, ජනතාවගේ මූලික අයිතීන් රාජ්‍යය අවශ්‍යතා ලෙස සලකා මරා දැමිය හැකිය.

දශක තිහක් තිස්සේ විඳින්නට සිදු වූ දරුණු වද වේදනාවකින් පසු මරා දැමුණු නිරායුද සිවිල් වැසියන්ගේ නාමයෙන් හෝ ලැබී ඇති නිදහස සිහියෙන් සහ බුද්ධියෙන් භාවිතා කොට ඔවුන්ගේ මළ කඳන් වලටවත් සාධාරණය ඉටු කිරීමේ වගකීම සමස්ථ සමාජය හමුවේ තිබේ.

  නිලන්ත ඉලංගමුව

- මෙලනි





2016-11-19
Advertisement

Find us on Facebook