English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


භික්ෂුව සහ රණවිරුවා: නඩු භාණ්ඩ දෙකක්!

පිංතුරය - අන්තර්ජාලයෙන්

නීති උල්ලංඝණය කළ භික්ෂූන් වහන්සේලා උසාවියට කැඳවීම ගැන ‘ඒකාබද්ධ විපක්ෂය’ කෑගැසුවේය. නීති උල්ලංඝණය කළ රණවිරුවන් උසාවියට ‘දක්කාගෙන යාම’ ගැන ජනාධිපතිවරයා කෑගැසුවේය. මෙම විවේචන තුළ ගැබ් වූ පොදු අරුත වුණේ, එම පාර්ශ්ව දෙක, නඩු භාණ්ඩ දෙකක් වෙනුවට පූජා භාණ්ඩ දෙකක් වශයෙන් සැළකිය යුතු බවයි.

බෞද්ධ භික්ෂුව බිහි වන්නේ බුදුන් වහන්සේගේ ධර්මස්කන්ධය තුළයි. එම ධර්මයේ ප‍්‍රථම ශික්ෂාව වන්නේ ‘සතුන් මැරීමෙන් වැළකීමයි’. රණවිරුවා බිහි වන්නේ, යුද්ධය තුළයි. එහි ප‍්‍රථම ශික්ෂාව වන්නේ ඝාතනය සහ විනාශයයි.

රට රාජ්‍යයන් අල්ලා ගැනීමට යුද්ධ කළ අශෝක රජු අතින් දහස් ගණන් ජීවිත විනාශ විය. ඒ අනුව ඔහු චණ්ඩාශෝක විය. පසු කලෙක බෞද්ධ සාමනේර නමකගේ නිරාමිස සංයමය දැක ඔහු ධර්මාශෝක විය. රට රාජ්‍යයන් දිනූ රණවිරුවෙකු, බෞද්ධ සාමනේර භික්ෂුවක් විසින් ජය ගන්නා ලදි.

ප‍්‍රබලයා විසින් දුර්වලයාව යටත් කරනු ලැබීම සහ ජයගනු ලැබීම සාමාන්‍ය ස්වභාවයයි. යටත් කර ගනු ලැබීම සිදුවන්නේ විනාශකාරීවයි. ජය ගනු ලැබීම කෙරෙන්නේ ආධ්‍යාත්මිකවයි. යුද්ධය, මුලින් කී යටත් කර ගැනීමට උදාහරණයකි. දෙවැන්න වන්නේ, ධර්මයෙන් හෙවත් යහපත තුළින් යමෙකු ජය ගනු ලැබීමයි. එවැනි ප‍්‍රථම ජය ගැනීම ශාසන ඉතිහාසය තුළ අපට හමු වන්නේ, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඉසිපතනයේ ප‍්‍රථම ධර්ම දේශනාවට වැඩම කළ අවස්ථාවේ ය. පස්වග මහණුන් උන්වහන්සේව නොපිළිගැනීමට කලින් අදිටන් කරගෙන උන්හ. එහෙත් බුදුන් වහන්සේ වැඩම කිරීමත් සමගම කලින් කතිකා කර ගත් විරෝධය පසෙක ලෑ පස්වග මහණෝ, බුදුන් වහන්සේගේ දම්සක් පැවතුම් දේශනාව අසා අර්හත් මාර්ගයට පිළිපන්හ.

ලෝක ශිෂ්ටාචාරයේ ඇතිව තිබෙන පරිවර්තනය තුළ මේ කියන අරගල ක‍්‍රම දෙකේ මිශ‍්‍රණයක් අපට දැක ගත හැකිය. ඒ හැම විටකම පාහේ, ප‍්‍රචණ්ඩත්වය සහ හිංසනය අවසානයේදී, මිනිස් සමාජයේ ඉදිරිගාමී මාර්ගය තුළ තීරක සාධකය වී ඇත්තේ, සහජීවනය සහ සහෝදරත්වයයි. තවත් විදිහකින් කිවහොත්, මේ කියන යුද මුක්ත කාලයේදී රණවිරුවා භික්ෂුවක් වෙනවා මිස, භික්ෂුවක් රණකාමියෙකු වන්නේ නැත. වෙනත් ආගම්වලට වඩා බුද්ධාගම සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විය යුතුව තිබේ. හේතුව, වෛරය හෝ පළිගැනීමට ගෑවෙන කිසි ප‍්‍රකාශයක් හෝ දේශනාවක් කිසි තැනකින් සොයා ගැනීමට නැති එකම දහම එය වන බැවිනි.

ලංකාවේ තිස් අවුරුදු යුද්ධය තුළ රණවිරුවා දකුණේ අධිනිශ්චය විය. එය, ප‍්‍රභාකරන් උතුරේ ජනතාව අතරේ විමුක්තිකාමියා සේ අධිනිශ්චය වීමට වෙනස් නැත. පසුගිය කාලයේ මේ රටේ සිදු වූ මහා අපරාධ සහ දූෂණවලට සම්බන්ධ හමුදා බුද්ධි අංශවල සැකකරුවන් සහ හිටපු හමුදාපතිවරුන් සම්බන්ධයෙන් රටේ ප‍්‍රධාන පුරවැසියාගේ සිට වෙනත් දේශපාලඥයන් සහ අධිකරණය වැනි රාජ්‍ය ආයතන හරහා කළ කී දෑ අනුව, මේ කියන ‘රණවිරුවා’ වෙනත් සාමාන්‍ය පුරවැසියෙකුගෙන් වෙනස්, වරප‍්‍රසාදලාභී පුද්ගලයෙකු වශයෙන් සැළකීමට නැමියාවක් ඇති විය.

එහෙත් භික්ෂුවගේ භූමිකාව ඊට වෙනස් විය යුතුව තිබුණි. යටපත් කිරීමෙන් අවසන් කළ යුද්ධයෙන් පසුව, හිංසනය වෙනුවට ධර්මය පෙරට ආ යුතුව තිබුණි. එහිදී ධජය අතට ගත යුතුව තිබුණේ, යුද්ධයේ පුරෝගාමීන් වූ රණවිරුවැන් නොව, ධර්මයේ පුරෝගාමීන් විය යුතුව සිටි භික්ෂුන් ය. එය රණකාමී ධජයක් නොව, ධර්ම ධජයක් විය යුතුව තිබුණි. එහෙත් දිනෙන් දින අසන්ට ලැබෙන සහ දකින්ට ලැබෙන දේවල්වලින් අපට පෙනී යන්නේ කුමක්ද? අවි බලයෙන් උතුර යටපත් කළ රණවිරුවාගේ ගමන් මගේම යන ඇතැම් භික්ෂූන්, සමස්ත ලංකාවම ආවරණය වන ආකාරයේ රණවිරුවෙකුගේ භූමිකාවක් කරට ගනිමින් සිටින බවයි.

පසුගිය කාලය තුළ ලංකාවේ පාසල් සිය ගණනක් වැසී ගොස් ඇත. පන්සල් සිය ගණනක් අළුතින් ගොඩනැගී ඇත. උතුරු නැගෙනහිර පැත්තකින් තිබ්බත්, කොළඹ සහ තදාසන්නයේ පමණක්, මුලින් කාක බෝ පැළයක්ද, අනතුරුව කුඩා බුදු පිළිමයක්ද, ඊළඟට ආවාසයක් සහ භික්ෂුවක්ද, කලක් යන විට මහා පන්සලක්ද බවට පත්ව ඇති ස්ථාන කොපමණ නම් අපට දකිනට තිබේද? අප පාසල් යන කාලයේ නොතිබුණු පන්සල් දෙකක් රාජගිරිය පාරේ එකිනෙකට මුහුණලා තරගකාරීවට පිහිටුවා තිබේ. මේ පන්සල් දෙකම අත්පත් කරගෙන ඇති ඉඩම් ප‍්‍රමාණය ඉතා විශාල ය. කොළඹ සංවර්ධනය සඳහා එක පැත්තකින් කොම්පඤ්ඤ වීදියේ අසරණ මිනිසුන්ව අවුරුදු පනහකට වැඩි කාලයක් ජීවත් වූ ඔවුන්ගේ නිවෙස්වලින් පාරට ඇද දමන අතරේ, අනිත් පැත්තෙන් මෙතරම් වටිනා රජයේ ඉඩම් ප‍්‍රමාණයක් පන්සල් නාමයෙන් අත්පත් කර ගැනීම බලධාරීන් ඉවසා සිටින්නේ කෙසේද?

මෙය හුදෙක් ඉඩම් කොල්ලයකින් පමණක් නවතින්නේ නම් කමක් නැත. එහෙත් අවාසනාවකට, මේ පන්සල ඊළඟට, මහජන අවකාශයත් ආක‍්‍රමණය කරයි. එය කෙරෙන්නේත් ප‍්‍රචණ්ඩ ආකාරයෙනි.

මීට අවුරුදු දහයකට කලින් බෝ පැළයක් මුල් කරගෙන පිහිටුවා ගත් රත්මලානේ පන්සලක්, ඔවුන්ගේ දහවැනි සංවත්සරය වෙනුවෙන් දින දහයක් තිස්සේ පිරිත් සජ්ජායනා කෙළේය. ඒ හැරුණු විට, හැම දාමත් හවස 6 සිට විවිධ බෞද්ධ විශේෂාංග ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ මේ පන්සල් භූමියෙන් ප‍්‍රචාරය කෙරේ. එක් ශබ්ද විකාශන යන්ත‍්‍රයක් අටවා ඇති ගස ඉදිරිපිට නිවසේ පදිංචි, ඉරුවාරදයෙන් පෙළන කාන්තාව මේ පන්සලට ගොස් තමන්ට ඇති වී තිබෙන හිරිහැරය නායක ස්වාමීන් වහන්සේට දන්වා සිටියාය. ඈ ඉල්ලා සිටියේ ශබ්දය ටිකක් අඩු කරන ලෙසයි. එවිට පන්සලේ දායකයෝ ඇයව වට කර ගත්හ. ‘මේක සිංහල බෞද්ධ රටක්. උඹලා පර දෙමල්ලූ, පලයං ඉන්දියාවට/’ ඊළඟට, නායක හිමියෝද සටනට එක් වූහ. ‘ඊයේ පෙරෙයිදා ආපු දෙමල්ලූ අපිට බණ කියන්න එනවද? කෑලිවලට කපනවා/’ ඒ, නායක හිමියන්ගේ අනුශාසනයයි. අවසානයේ, තුවාල සිදුකර නොගෙන, ජීවිතය බේරාගෙන එතැනින් පිටවී යාම සඳහා නායක හිමියන්ට වැඳ සමාව ගැනීමට අර දෙමළ කාන්තාවට සිදු විය.

ගිය සතියේ අම්පිටියේ සුමනරතන නැමැති තවත් භික්ෂුවක් මඩකලපුවේදී පොලිස් නිලධාරීන්ද ඉදිරිපිට, ග‍්‍රාමසේවා නිලධාරියෙකුට බැණ වදිමින් තර්ජනය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ මේ දිනවල සංසරණය වෙයි. ‘‘තෝ සිංහලයන්ට නඩු දාන එක නවත්තපිය. තෝ දෙමළෙක්. එක සිංහලයෙක්ව ඉඩමෙන් හෙල්ලූවොත්, තම්බියාගේ අධිකරණයත් ඉවරයි, දෙමළාගේ අධිකරණයත් ඉවරයි. තොගේ හොම්බ තලනවා, පකයා’’ මෙසේ දේශනා කරන්නේ සිවුරක් හැඳ ගත් බෞද්ධ භික්ෂුවකි.

මේ සිදුවීම් දෙකම පසුගිය දා, කැබිනට් මණ්ඩල රැස්වීමකදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට යොමු කර තිබේ. ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ කුමක්ද? ‘පිස්සෝ කරන කියන දේවල් ගණන් ගන්න එපා’ යන්නයි.

ගලගොඩඅත්තේ ඥානසාර නැමැති පිස්සෙකු අළුත්ගමදී කළ කී දෑ ‘ගණන් නොගෙන’ සිටීමෙන් ජීවිත විනාශ විය. සිංහල මුස්ලිම් සහෝදරත්වය පළුදු විය. (මේ පුද්ගලයාම, අළුත්ගමදී කළ දේ නැවත වරක් කරන බවට මේ සතියේත් පාරම්බෑව බව සැලයි). හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ රණවිරුවන් තුන් දෙනෙකු තමාට නොදන්වා උසාවියට කැඳවීම ගැන ජනාධිපතිවරයා චෝදනා කිරීමත් සමග, ප‍්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනවල බරපතල කම ‘ගණන් නොගත්’ අධිකරණය, සැකකාර ‘රණවිරුවන්ව’ ඇප මත නිදහස් කෙළේය. අනිත් අතට, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයාට අපහාස කිරීම ‘තදින් ගණන් ගත්’ ආණ්ඩුව එම පුද්ගලයාව කටුනායකදීම අත්අඩංගුවට ගත් බවක් වාර්තා විය.

මේ සිදුවීම්වලින් පෙනේනේ රටේ සියලූ පුරවැසියන්ට සමානව බලපවත්වන තනි නීතියක් නැති බවකි. එය රාජපක්ෂ යුගයේම දිගුවක් මිස අන් කවරක්ද? නඩු භාණ්ඩ විය යුතු දේවල් පූජා භාණ්ඩ බවට පත්වීම රාජපක්ෂ ලාංඡනයක් මිස, මොන හේතුවක් යටතේවත්, යහපාලන ලාංඡනයක් විය යුතු නැත.

gamini-viyangoda   ගාමිණී වියන්ගොඩ 


- මෙලනි





2016-11-19
Advertisement

Find us on Facebook