English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රි ලංකාවේ වධ හිංසා සහ ජීනීවා කමිටුව
වධහිංසාවට එරෙහි එක්සත් ජාතින්ගේ කමිටුව ජිනීවා හී දී මේ මස 14 වන දා සිට රැස්වෙමින් සිටින අතර, කමිටුව රැස්වු ඊයේ දිනයේදි (නොවැ 15) රාජපක්‍ෂ පාලන සමයේදි ශ‍්‍රි ලංකාවේ පැවති වද කඳවුරු හා වධ හිංසා පැමිණවීම් පිළිබඳවත් රාජ්‍ය ආරක්‍ෂක අංශවලට එල්ලවන මානව හිමිකම් උල්ලංගන කිරිම් පිළිබඳවත් එක්සත් ජාතින්ගේ කමිටුව විසින් ශ‍්‍රි ලංකා ආණ්ඩුවේ නියෝජිතයින්ගෙන් ප‍්‍රශ්නකළ බව වාර්තා වෙයි.  

වධහිංසාවට එරෙහි එක්සත් ජාතින්ගේ කමිටුව විසින් පැය තුනක පමණ කාලයක් තිස්සේ ශ‍්‍රි ලංකාව තුළ සිදුවු සුදුවෑන් මගින් සිදුකළ පුද්ගල පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, අත්අඩංගුවට පත්වු පුද්ගලයින් හට සිදුකර ඇති ලිංගික වධ හිංසා හා මරණ , රහසිගත වධකාගාර මෙන්ම වර්තමානයේදිත් සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝණය කිරීම් යනාදි කාරණා පිළිබඳව ශ‍්‍රි ලංකා නියෝජිතයින්ගෙන් දිර්ඝ වශයෙන් ප‍්‍රශ්න කළ බව මෙවර ජිනිවා හි පැවැතෙන වධහිංසා පිළිබඳ සැසියට සහභාගි වෙමින් සිටින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධක්‍ෂක පිලිප් දිසානායක සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට ප‍්‍රකාශ කළේය.



ශ‍්‍රි ලංකාව තුළ තවමත් රහසිගත වධකාගාර පවතින්නේද යන ප‍්‍රශ්නය කමිටුව විසින් ශ‍්‍රි ලංකා ආණ්ඩුව වෙත යොමුකළ බව ද පැවසු ඔවුන් ශ‍්‍රි ලංකාවට එල්ල කළ සියලූ ප‍්‍රශ්නවලට අද දවසේදි ශ‍්‍රි ලංකාව විසින් පිළිතුරු සැපයිය යුතු යැයි කීහ.

ජිනීවා හි දී පැවැත්වෙන, මෙවර වධහිංසාවට එරෙහි එක්සත් ජාතින්ගේ ශ‍්‍රි ලංකාව පිළිබඳ 05 වන කාලාන්තරික සම්මේලන සාකච්චා සඳහා ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුවේ නියෝජිතයින් මෙන්ම මානව හිමිකම් කොමිසම හා පුද්ගල අතුරුදහන්කිරිම් හා වධහිංසාවලට එරෙහිව ක‍්‍රියාකරන සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු  සහභාගි වෙති.

ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගිවන එක්තරා පුද්ගලයෙකු පිළිබඳව ජීනීවා සම්මේලනය තුළ යම්කිසි විවේචනයක් ද පවතින බව වාර්තා වෙයි.

කෙසේවෙතත්, ශ‍්‍රි ලංකාව තුළ තවමත් පොලිස් වධ හිංසාව අවසන් වී නැතැයි යන්න ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම ශ‍්‍රි ලංකා ආණ්ඩුව ද මෙහිදි පිළිගෙන තිබෙනවා.

එහෙත්, ශ‍්‍රි ලංකා ආණ්ඩුව හා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබුණු සංඛ්‍යා ලේඛනවල බරපතල පරස්පරතා තිබූ බවත් කමිටුව විසින් මේ පිළිබඳව ශි‍්‍ර ලංකා ආණ්ඩුව ප‍්‍රශ්න කළ බවත් පිලිප් දිසානායක ප‍්‍රකාශ කළේය.

"වත්මන් රජය බලයට පත්වුනාට පස්සේ ඉකුත් වසර ආරම්භයේ ඉඳලා මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළදී අත්අඩංගුවේදි වධ හිංසාවට පත්වෙච්ච පුද්ගලයින් පිළිබඳ පැමිණිළි 628ක් තිබෙන බවට මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තාව ප‍්‍රකාශ කරනකොට ආණ්ඩුව ඉදිරිපත් කළ දත්තවල ඊට වඩා සෑහෙන පරතරයක් තිබෙනවා. මේ පරස්පරය එනම් වධ හිංසා සෑහෙන ප‍්‍රමාණයකින් අඩුවී ඇතැයි කීම පිළිබඳව ශ‍්‍රි ලංකා ආණ්ඩුවේ නියෝජිතයින් ප‍්‍රශ්න කිරිමට ලක් වුණා." යැයි ඔහු කීහ.

"2011 වසරේදි වධ හිංසා සිද්ධීන් 09ක් ලෙසත් 2012 දී 10ක් ද 2013 දී 08 ක් ද 2014 දි 03ක් ද වශයෙන් මේ වසර කිහිපය තුළදී ම සිද්ධීන් 25කට අඩු සංඛ්‍යාවක් ලෙසට තමයි ආණ්ඩුවේ වාර්තාව සඳහන් කරන්නේ. නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවෙන් ආණ්ඩුවේ දත්ත සම්පුර්ණයෙන් ම ප‍්‍රතික්‍ෂේප කරනවා. ඔවුන්ට ලැබුණු පැමිණිළි වලට අනුව 2011 දී සිද්ධි 579 ක් ද 2012 දී සිද්ධි 542ක් ද 2013 දී සිද්ධි 600 ක් ද 2014 දී සිද්ධි 489 ක් ද පිළිබඳව වධහිංසා පිළිබඳ එක්සත් ජාතින්ගේ මෙම කමිටුවට වාර්තා කරලා තිබෙනවා."යැයි පිලිප් දිසානායක පැවසීය.

අත්අඩංගුවේ සිටියදී වධ හිංසාකිරීම් සම්බන්ධ පැමිණිළි පිළිබඳව සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් ශ‍්‍රි ලංකා රජය කටයුතු කර නොමැති බව කමිටුවේ අදහස වී ඇත.

කෙසේවෙතත් වධ හිංසා කිරීමේ මාතෘකාව පිළිබඳව ශ‍්‍රි ලංකාවේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳව එක්සත් ජාතින්ගේ කමිටුව (UNCAT) විසින් නැගු ප‍්‍රශ්නවලට ශ‍්‍රි ලංකා ආණ්ඩුවේ නියෝජිතයින් විසින් උත්තර බැඳිමට නියමිතව ඇත.
 
පිංතුර  - අන්තර්ජාලය
-    මෙලනි



2016-11-16
Advertisement

Find us on Facebook