English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගිනි අවිය ඉවතලා සාමය දෝතට ගත් කිළිනොච්චියෙන් ආ රාතිකා !
 
"අද මම මේ සමාජයේ ඉතාම ප‍්‍රබල ස්ථානයක හිඳිමින් ඉතාම සතුටින් ජිවත්වෙනවා. ඒ, සිංහල මිනිසුන් මාව තේරුම් අරගෙන මට දැක්වු අව්‍යාජ ආදරය හා රැකවරණය නිසයි."

”යුද්දෙදි අපි කොච්චර පීඩා වින්දා ද කියලා ටික දෙනෙක් විතරක් නෙමෙයි ,හැමෝම දැනගන්න  ඕනේ. හිතේ තිබුණු හැම දුකම, පීඩාවම මිනිස්සුන්ට කටින් කිය කියා යන්න මට අමාරුයි. ඒ නිසා ඒ දුක විඳපු මම, මාව කෘතියකට පෙරලූවා. මගේ හෘදස්පන්දනය හා සමාන ඒ කෘතිය, භාෂා තුනෙන් ම, පරිච්ඡ්ද 21 කින් මම ලියුවා ”මාව ම සොයනවා මම එළියනම් අඳුරේ” කියලා - අරං කියවන්න. එතකොට ඔබට හොඳින් වැටහෙයි, මේ රාතිකා කියන ළමයා කියන දේ, කොච්චර ගැඹුරු ද, ඒ නිසාම අපි හැමදෙනාම හැමකෙනාව ම තේරුම් අරගෙන, සාමයෙන් , සමගියෙන්, සංහිදියාවෙන්  ජීවත්වෙන්න  ඕනෙ කියලා. නැවත කිසිදාක කුරිරු යුද්දයක් අපේ රටතුළ ඇති නොවෙන්න අපි හැමදෙනාම කැපවෙන්න  ඕනේ” කියමින් ඇය ඇගේ හෘදයසාක්‍ෂිය විවර කරන්නට සතුටු විය.

 ඕ තම ළමා කාලේදි ඉතාම අවාසනාවන්ත , වේදනාකාරි, අකාරුණීක, මෙන්ම අසාධාරණ කාලපරිච්ඡ්දයකට මුහුණ දෙන්නීය. ”යුද්දය” යන අකුරු හතරටත් , ”ශබ්දය” යන හඬටත්  ඕ තවමත් බියක් දක්වයි. මේ ලංකා භුමිය තුළ යළි කවදාවත් එවැනි අවාසනාවන්ත, කුරිරු යුගයක් ඇති නොවේවා යන්නත් කිසිම දරුවෙකුට එවැනි කෲර අත්දැකීමකට යළි මුහුණ දෙන්නට සිදුනොවේවා යන්නත් ඇගේ එකම ප‍්‍රාර්ථනාවයි. යුද්දය විසින් බොහෝ මිලකල නොහැකි දැ ඇයට අහිමිකර තිබුණ ද, සියලූම මිනිසුන් කිසිම භේදයකින් තොරව, තේරුම් ගැනීමෙන් යුතුව, සහෝදරත්වයෙන් ජීවත්විය යුතුය යන්න ඇය අදහන දහම බැව් ඇය කියයිි. ඒ වෙනුවෙන් කළ හැකි සියලූ දේ කළ යුතුය යන ස්ථාවරයේ හිඳිමින්, ඒ සඳහා මේ වන විටත් එක් පියවරක් තබා ඇතැයි ඇය කියයි.

”ඇයි අපි මරාගන්නේ ? වෙන්වෙලා ජීවත්වෙන්නේ ? එහෙම නෙවෙයි අපි සමාදානෙන් ජීවත්වෙන්න  ඕනේ. හැමදෙනාම හැමදෙනාටම උදව් වෙන්න  ඕනේ ජීවත් වෙන්න. ආදරය මහා පුදුමාකාර දෙයක්” යැයි තවමත් 24 වියැති වියෙහි පසුවන ඇය පවසන්නීය. යුද්දය තුළ ම ඉපිදී, යුද්දය පැවති වසර ගණනාව පුරාවට ම කෲර අත්දැකීම් වලට මුහුණ දී යුද්දයේ අකාරූණික ත්‍යාගයක් ලෙසට සිය ආදරණීය දෙමාපියන් ද අහිමි වු ඇය, එවන් යුද්දයක් කිසි කලෙකත් නොපතන ඇය, මිනිසුන් අතර සමඟියත් සංහිඳියාවත් ඇතිකිරීම වෙනුවෙන් සිය ජීවිතය යොදවන බව සපත කරන්නීය.

අමතක නොවන බාල කාලයත් නව යෞවනයත්   
 
රාතිකා පද්මනාදන් වන ඇය ඉපදුණේ කිළිනොච්චියේ දි, දමිළ මවකට හා පියෙකුට දාවය. යුද්දයේ අමිහිර මොහොතක් විසින් ඇගේ මව හා පියා ඇගෙන් උදුරාගෙන ගිය කළ ඇගේ කියා ඇයට ඉතිරි වුයේ වැඩිමහල් සොයුරියත් බාල සොයුරියන් දෙදෙනාත් පමණි.

”වයස අවුරුදු 06 වෙනකොටම මට මගේ දෙමාපියෝ අහිමි වුණා. මම තනිවෙලා පුංචි අනාථයෙක් වුණා. මම විතරක් නෙවෙයි, මා වටේ හිටපු අනෙක් පුංචි යාලූවොත් ,හැමදෙනාම මේ අමිහිරි අනාථභාවයේ අත්දැකීමේ අයිතිකරුවන් වුණා. ඒ අනාථබව තුළ තිබුණු දුක සහ දුප්පත්කම, මා තුළ ගොඩනැගුවා මේ සමාජය ගැන විශාල බියක් වගේම ලොකු සැකයක්. ඒ බිය සැක දෙකම මම ලොකු වෙනකොට වෛරයක් බවට පෙරළුනා. මේක තමයි එදා මම පුංචි අවදියේදි මගේ ලෝකය මට තිළිණ කළේ.” යැයි ඇය කියයි.
 
වෙනත් දරුවන් මෙන් නොව, රාතිකාගේ ළාමක තාරුණ්‍යට රැගෙන එන්නට ඉතිරි වි තිබී ඇත්තේ ක‍්‍රමයෙන් දළුළා වැඩුණු ජාතිවාදි , බියගුළු, වෛරී සිතුවිලි රාශියක් පමණි. ඇය අධ්‍යපනය හදාරන කළ, ඇය ජීවත්වුණු පරිසරය විසින් ඇයට තිළිණ කර දී තිබුණේ ඉතාම ඛේදනීය සිදුවීම්වල අකාරූණික වේදනාබර දර්ශනයන්ය. තම පවුල ඇතුළු ගම්මුන්ට සිදුවන දේ ඇය සියැසින් දුටුවාය. තම පවුලේ අය මෙන් ම ගම්මුන් ගෙව් ජීවිත කෙබඳුද යන්න කෙදිනකවත් අමතක නොවන වග ඇය කීවේ මෙසේය,  

”ඒ ජිවිතවල තිබුණේ දුක වේදනාව විතරයි. එහෙම වුනේ, අපි දැක්කේ අපේ ගමට බෝම්බ වැටෙනවා. ඒ බෝම්බ නිසා ගමේ මිනිස්සු මැරෙනවා දැක්කා. තැන තැන වැටිලා කෑගහන අයව දැක්කා. කෑලි කෑලි වලට ශරීර කැඩිල ගිය නැන්දලා මාමාලාගේ මිනී දැක්කා. බේදයක් නැතිව විලාප දීදී තුවාල ලබපු ගමේ ලොකු අය පොඩි අයව  දැක්කා. ඊට පස්සේ ඉතිරිවෙන අය අසරණවෙලා අනාථයෝ බවට පත්වෙනවා දැක්කා. දවස් ගණන් එක දිගට ඇහෙන වෙඩි හඩ. බෝම්බ හඩ. මිනිස්සුන්ගේ ලතෝ්නි හඩ. පොඩි දරුවන්ගේ ලතෝනි හඩ, කෑමක් බීමක් නැතිව බංකරවල අපි දවස් ගණන් ගෙවු හැටි, පාසැල් යන්න බැරිවගිය හැටි .,., මේ සියල්ලක්ම අපිට දරාගන්න බැරිවුණා. ඒ අනාථ බව තුළ එල්ටීටීඊ සංවිධානයෙන් අපිව රැස්කරලා දේශනා පැවැත්වුවා. එල්ටීටීඊ අය්යලා අක්කලා කථාකරපු විදියට, බෝම්බ වැදිලා තුවාල වෙච්ච අයට, මැරුණු අයට සළකපු විදිය දැක්කම අපිට තේරුම්ගියා ඒ අය්යලා අක්කලා අපි වෙනුවෙන් දිවි පුදන්න වුනත් ලැස්තිියි කියලා. එයාලා කියන කරන දේවල් යහපත් බව අපි තේරරුම් ගත්තා. එයාලා ගැන ලොකු ගෞරවයක් , ආදරයක් අපිට ඇතිවුණා. පස්සෙ කාලෙක අකමැත්තෙන් හරි මටත් එල්ටීටීඊ සංවිධානයට බැඳෙන්න සිද්දවුණා. නමුත් පසුකාලිනව මම පැනලා ආවා.”

යුධ කාලසීමාවේදි ඉපිද, ළමා විය යුද්දයේ භිහිසුණු අත්දැකිම් සමග ගෙවා දමා, ළාමක තුරුණුවිය ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් අවි අතදරා පසුකාලිනව සන්නද්ධ බලඇණියෙන් රහසිගතව පලාවිත්, පසුව අවි හරඹයෙන් ම වැදුණු වෙඩිපහරකින් තුවාල ලත් පාදයක් සහිතව රෝහලෙන් රෝහලට මාරුවී පැමිණ අවසානයේ රාතිකා කොළඹ මහරෝහලේ නේවාසික වෙයි.

”2009 අවසන් සටන්වලදි අපි ලොකු දුකක් වින්දා. ඒ කාලය අපිට දරාගන්න හරිම අමාරු වුනා. බෝම්බ වරුසාවලින් උණ්ඩ වරුසාවලින් ගිනි වරුසාවලින් නොමැරී මාව බේරුණාට අවසන් සටන් වලදි මගේ කකුලක් කැඩුණා. මුල්ලිවයික්කාල් ඉදලා කඳවුරෙන් කඳවුරට , ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරුකරලා අන්තිමේදි කොළඹ මහරෝහලට එව්වා කකුලට බෙහෙත් දාන්න.” යැයි රාතිකා කීවා.  
       
කිලිනොච්චියේ ඇය කොළඹ නතරවෙයි

”ඇත්තටම මම මැරිලා ගියානම් හොඳයි කියලා හිතුනු වාර ගණන අපමනයි. තවදුරටත් මට මගේ මේ ජිවිතය  ඕනේද කියන ඉතාම කලකිරුණු සිතුවිල්ලකින් තමයි මම එදා රෝහලේ ජීවත් වුණේ. අනෙක් ලෙඞ්ඩු  බලන්න ගෙවල්වල අය එනකොට මාව බලන්න එන්න කවුරුත් නැහැ. මට ඇවිදින්නත් බැහැ. අඩුම තරමේ මගෙ කකුළ රිදෙනවාද කියලා මට තේරෙන භාෂාවකින් මගෙන් අහන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මං හරියට අසරණවෙලා, එපාවෙලා හිටියේ.” 

ඒත් ටික දවසක් ගියාට පස්සේ, ඩොක්ටර් විමලා ආන්ටි , රාජි ආන්ටි , මේනහා අක්කා, උපාලි චන්ද්‍රසිරි අංකල් රංජිත් දිසානායක , ගාමිණි අජිත් අංකල් කියන මේ කට්ටිය තමයි මට ලංවෙලා මගේ දුකසැප සොයලා මට උදව් කළේ. මගේම අම්ම තාත්තා මට නැතිවුනාට, එහෙම අඩුපාඩුවක් වෙන්න ඉඩ නොදි මගේ අධ්‍යාපනය කරගෙන ඉස්සරහට යන්න මට මේ සියලූම දෙනා උදව් කළා. ඇත්තටම මගේ අම්මා තාත්තා අහිමි වීම ගැන මට හරිම දුකයි. එ අහිමි වීම තුළ මේ වගේ කට්ටියක් උදව් කරන්න ඉදිිරිපත් වෙච්ච නිසා මට හිතුනා මම හරි වාසනාවන්තයි කියලා. මම කොළඹට ආවට පස්සේ ගොඩාක් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවුණා. නමුත් ඒ හැම වෙලාවකම මේ කට්ටිය මගේ ලඟම හිටියා. මාව තනි කළේ නැහැ. මම අද ඉන්න තැන මට සකස්කර ගන්න පුළුවන් උනේ මේ විශේෂිත පිරිස නිසයි කියලා මම ඉතාම, ඉතාම, ඉතාම සතුටින් කියනවා ඒවගේම ගොඩාක් ස්තුතියි කියනවා. 

ඉතිං මම හිතුවා මම ඉපදුණු ප‍්‍රදේශයට වඩා මට සෙනෙහස දුන්න, මගේ ජීවිතය ආරක්‍ෂා කරපු ප‍්‍රදේශය මගේ ජීවිතේ ඉතිරි කාලසීමාව ජවයකින් සහ නව ආරකින් යුතුව ගෙනියන්න මට අත්තිවාරමක් වෙයි කියලා. ආශිර්වාදයක් වෙයි කියලා.

සංහිඳියාවට ආරාධනාකර පොතක් ලියයි

”අධික කම්පනයෙන් විඩාබරව තිබු මගේ මානසීක තත්ත්වයෙන් මිදිලා, අලූත් ජීවිතයක් පටන් ගැනීම මේ පොත ලිවිමෙහි පසෙක තිබු තවත් හේතුවක් වුණා. අනික් කරුණ තමයි යුද්දය ඇතුලේ මිනිස්සු කොච්චර දුක් වින්දද කියලා මිනිස්සු බොහෝ  දෙනා දන්නෙ නැහැ. යුද්දෙට මූහුණ දුන්න මිනිස්සු කොච්චර මානසික පීඩාවකින්ද හිටියේ කියලා හැමදෙනාම දැනගන්න  ඕනේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ බෝම්බ වැටුණා, මිනිස්සු තුවාල වුණා, මැරුනා කියලා විතරයි. නෑ.... අපිට හිතාගන්නවත් බැහැ මේ යුද්දෙ අස්සේ අපි පණපිටින් ජිවත්වුණාද කියලා. දැනටත් මට පොඩි ශද්දයක් ඇහෙනකොට මාව හොඳටම ගැස්සෙනවා. යුද්දෙ අමිහිරි සද්දෙ තාමත් හිතේ කන්වල තියෙනවා. සමහර වෙලාවට මම මාව ම හොල්ලලා බලනවා මම ජීවත්වෙනවද කියලා. සමහර වෙලාවට නින්දෙන් නැගිටිනකොටත් මම මගේ අතපය හොලවලා බලනවා මම ජිවත්වෙනවාද කියලා.”


”ඇත්තටම අපි විඳපු ඒ පීඩනය කියන්න හරිම , හරිම අමාරුයි. මේ පොත ලිවීමේ මගේ අරමුණ වුනෙත් මම වසය අවුරුදු 06 ඉඳලා අවුරුදු 24 වෙනකම් යුද්දෙදිත් යුද්දයෙන් පසුවත් මගේ ජීවිත අත්දැකිම කොච්චර දුක්ඛිත ද කොච්චර මිහිරි ද කියන සැබෑ ස්වභාවය ගැන මේ සමාජයට කියලා දෙන්න. අඩුම තරමේ පොත කියවලා පොඩි පිරිසක් හරි ඒ පිඩනය වගේම වර්තමානයේදි මම අන් ජාතිකයින්ගෙන අත්විඳින සැබෑ ආදරය, තේරුම්ගැනීම පිළිබඳව තේරුම් අරගත්තොත්, ඒක සාමය , සංහිඳියාව ඇතිකරගන්න බලපෑමක් වෙනවා කියලා මට හිතෙනවා. එහෙම වුනොත් ඒක මට හරිම වටිනවා. මට  ඕනේ ආයෙමත් මේ රටේ කවුරුවත්ම අවි ආයුධ අතට නොගන්න. අයෙමත් යුද්ද නොකරන්න. අයෙමත් මිනිස්සු නොමැරෙන්න. විශේෂයෙන්ම ළමයින්ට නිදහසේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන හැමකෙනාම සතුටින් ජිවත්වෙනවා දකින්න.” යැයි රාතිකා බලාපොරොත්තුවේ දෑස් තුළින් කීවේය.

මේ පොතේ ෆොයම්ස් තියෙනවා, ඒ ෆොයම්ස් ඉස්සෙල්ලාම ලිව්වේ 2009 දි මම ජෙනරල් හොස්පිට්ල් ඉන්න කාලේ. කිසිම දෙයක් ගැන අදහසක් නැති, කිසිම සිංහල වචනයක් දන්නෙ නැති, දන්න අදුනන කිසිම කෙනෙක් නැති කාලසීමාවකදි තමයි මේ ෆොයම්ස් ටික මට ලියවුණේ.  මොකද මට මගේ හිතේ තියෙන දුක ගැන කියන්න කෙනෙක් හිටියෙත් නැහැ, මගෙන් අහන්න කෙනෙක් හිටියෙත් නැහැ.
 
නිවරැදි පියවරක් - ආදරණීය දිගු ගමනක්

මම ගත්ත මේ පියවරේදි, මේ දිගු ගමනෙදි මට මගේම ඥාතින් අහිමි වුණා. එයාලා ඇතිවෙනකම් මාව ප‍්‍රශ්න කළා. සිංහල මිනිස්සුන්ව උඹට විශ්වාස ද ? උඹ මොකද්ද මේ කරන්න හදන්නේ ? සිංහල මිනිස්සු උඹේ ජීවිතේ විනාශකරන්නයි හදන්නේ ? ඔය ගමන නවත්තලා වහාම ආපසු වරෙන් කියලා දවසකට දුරකථන ඇමතුම් රාශියක් දුන්නා. තුළ මට අභියෝග එල්ල වුණා. නමුත් මම මගේ ගමන ඉදිරියට මිසක් ආපස්සට ගියේ නැහැ. ඒ නිසා මට මගේ සියලූම නෑදෑයින් අහිමි වුණා.
 

නමුත් ඇය කීවේ තාවකාලිකව ඇගේ ඥාතින් අහිමිවුණත් ”මට අලූත් ලෝකයක් ලැබුණා. විවිධ සිතුවිලි, හැගිම්, අදහස් දරණ, නපුරු නරක මිනිස්සු, ආදරය දයාව කරුණාව පිරිච්ච සෙනෙහෙවන්ත මිනිස්සු, විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන මිනිස්සු මට හමුවුණා. ඒ අය එක්ක එකට හැසිරෙනකොට එකට ජීවත්වෙනකොට මට ධනාත්මක අලූත් හැඟීම් ගොඩාක් මගේ හිතේ බිහිවෙන්න පටන්ගත්තා. ඔවුන්ගේ ආදරය, ගෞරවය හා සෙනෙහස මට ලබාදෙන අතරේ ආර්ථික වශයෙනුත් සාමාජීය වශයෙනුත් ඔවුන් මට උදව් කළා. එතකොට මම අලූතින් මං ගැන හිතන්න පටන්ගත්තා. අලුත් දේවල් කරන්න පටන්ගත්තා.” කියලයි.   

ඒ අතරේ ඇයි විශේෂයෙන් සිහිපත්කරන පුද්ගලයෙක් විය. නමින් උපාලි චන්ද්‍රසිරි වන ඔහු රාතිකා කොළඹ මහරෝහලේ නේ්වාසිකව සිටින විටදී අහම්බෙන් හමුවුණු, එහෙත් දැන් පියා අහිමි රාතිකාගේ වර්තමාන පියා වී සිටින, රාතිකාගේ ම වයසැති දියණික සිටින සිංහල පියෙකිි. රාතිකා දැන් තාත්තා කියන්නේ ඔහුට ය. පාදයේ අපහසුතාවයෙන් ද පෙළෙන රාතිකාගේ සියලූ වැඩකටයුතු වලට නොපැකිලිව සහය වන්නේ ඇය රැකබලාගන්නේ සිංහල තාත්තා උපාලිය චන්ද‍්‍රසිරි ය.    

සාකච්ඡා සටහන සහ පිංතුර  -  මෙලනි මානෙල් පෙරේරා 



2016-11-10
Advertisement

Find us on Facebook