English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලන වීරාඛ්‍යානය: දීර්ඝ ආරම්භයක අවසානය

2015 ජනවාරියෙන් පසු බොහෝ දේවල් සිදුව තිබේ. අනතුරුව, 2015 අගෝස්තුවෙන් පසුවත් එසේමැයි. බොහෝ යහපත් දේවල්, වඩා අයහපත් දේවල් සහ ඊටත් වඩා කැත දේවල් ද සිදුව තිබේ. ඒ සියල්ලටම ඇත්තේ එක අවසර පතකි. හේතුව, 2015 ජනවාරිය නව ඇරැඹුමක් වීමයි. එම දීර්ඝ ඇරැඹුමේ අවසානයට දැන් අප ළඟාව තිබේ. ඉවසීම හිඳී යයි. ආණ්ඩුවෙන් පිටත පමණක් නොව, ආණ්ඩුව ඇතුළෙත් එසේමැයි. හැබැයි ඒ, එකිනෙකින් සපුරා වෙනස් හේතු මතයි. දැනට සතියකට දෙකකට පෙර ජනාධිපතිවරයා තමාගේ නොඉවසීම ප‍්‍රදර්ශනය කෙළේය. එයින් සතියක් ඇතුළත, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉල්ලා අස්වූවාය. ඒ, ඇය තනතුරට පත්වූ අවස්ථාවේ පැවතියාට වඩා අඩු උත්කර්ෂයෙනි. සාලංකාර හොල්මන් නෞකාවට වඩා, ‘පියාඹන ලන්දේසියා’ සේ අගමැතිවරයා ගුවනේ සැරිසරයි. අවසාන චාරිකාව අවසන් කොට මේ දැන් ඔහු පැමිණ ඇත. එහෙත් ගුවන් විඩාව නිවා ගැනීමට කාලයක් ඔහුට නැත. රටේ සහ ආණ්ඩුවේ ඇවිල ඇති ගිනි නිවීම සඳහා පේ වීමට ඇති බැවිනි.

නතර කරන්නැයි දුන් අණ නෑසීමේ වරදට පොලිස් වෙඩි පහර ලැබ ඝාතනය වූ යාපනේ සරසවි සිසුන් දෙන්නා සමග, යාපනය ‘පරණ සාමාන්‍ය’ තත්වයට යළි ඇවිලී ගොසිනි. අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වහා පරීක්ෂණ පටන් ගැනීමට පොලිස්පතිවරයා පියවර ගැනීම, කෙසේ වෙතත්, අගේ කටයුතුයි.

දැන් කොළඹ නගරය දිනපතාම, යම් ආකාරයක විරෝධතාවකින් හෝ ජල ගැල්මකින් යට වෙයි. දුෂ්ට ජාවාරම්කරුවන් ඔරොත්තු නොදෙන මසුන් මැරීමක නිරත වීමට එරෙහිව පුත්තලමේ සම්ප‍්‍රදායික ධීවරයෝ පාරට බැස සිටිති. කොළඹ ‘වරාය නගරය’ ගොඩ කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන්ගේ පළාත්වලින් වැලි ගැරීම ගැන මුහුදුබඩ ජනයා නොසන්සුන් ය. ඒ කිසිවක් නොසළකා, ස්වප්නරූපී කුලූනු සහ නීරස ගොඩබිම් ආලවට්ටම් සහිත යෝධ මහ නගරයක් සේ කොළඹ කණපිට හැරවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක් පෙනේ. මහ බැංකුවේ අර්ජුන මහේන්ද්‍රන්ගේ භූමිකාව සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න ගැන ආණ්ඩුව ඇතුළේ පක්ෂ න්‍යාය පත‍්‍ර ඔස්සේ බෙදීමක් හටගෙන තිබේ. ඊටත් වඩා බරපතල වන්නේ, යුද්ධයෙන් පසු රාජපක්ෂලා රටට කළ දේවල් ගැන කුමක් කළ යුතුද යන්න ගැන, පක්ෂ දේශපාලනයෙන් තොරව පවා, ආණ්ඩුව තුළ එකඟත්වයක් නොතිබීමයි.

අගමැතිවරයාගේ මුළාව නිසා උඩින් ගොඩබැස්සූ අර්ජුන මහේන්ද්‍රන් දැන් දේශපාලනික උරචක‍්‍රමාලයක් වී ඇත. සමහර විට යහපාලන ආණ්ඩුව යන්න තුළ අද සරදම් අරුතක් මිස වෙනත් අරුතක් නැතුව ඇති. කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුවෙන් බාගයක් (ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ) සිටින්නේ, 2015 ජනවාරි යහපාලනයට ඉඳුරා සතුරුවයි. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනාත් යහපාලන පරමාදර්ශ සහ විනය ප‍්‍රතිපදාවට අවංකව අනුගත බවක් මෙයින් අදහස් නොවේ. 2015 අගෝස්තු මැතිවරණයෙන් පරාජය වුව ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයෙකි. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයත් එම මැතිවරණය ජය ගැනීමට කලින් තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටි නිසා, මැතිවරණය පරාජය වීමෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවේ සිටීම ගැන මැසිවිලි කීමට කෙනෙකුට පුළුවන් කමක් නැත. රාජපක්ෂලාට එරෙහිව කිසි බරකට කර නොගැසූ එක්සත් ජාතික පක්ෂ ඌරුමීයන්, වර්තමාන කැබිනට් මණ්ඩලයේ පතාකයන් ය. එදා විපක්ෂයේ බර කර ගැසූ තරුණ මන්ත‍්‍රීවරුන්ව පැත්තකට කොට ඇති අතර පවතින තත්වය ආරක්ෂා කිරීමට ඔවුන්ට බල කරනු ලැබේ.

යහපාලන තුන් තේරවිල්ල

ඇතැම් විචාරකයන් කියන පරිදි, දේශපාලනික හෝ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇත්තේ නැත. සැබවින්ම ඇත්තේ, යහපාලනයේ තුන් තේරවිල්ලකි: මෛත‍්‍රීපාලට එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය කෙරේ. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් උවමනා ය. රනිල්ට, සිරිසේනව අවශ්‍ය ය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප‍්‍රයෝජනයක් ඔහුට නැත. සිරිසේන සහ රනිල් යන දෙන්නාටම හමුදාව තමන්ගේ පැත්තේ තබා ගැනීම අවශ්‍ය ය. මේ තුන් තේරවිල්ල අරටුවේ ඇත්තේ, අවශ්‍යතාව සහ උවමනාවයි. ආර්ථික විද්‍යාවේදී මේ යෙදුම් දෙකට ලැබෙන්නේ වෙනස් අරුත් ය. අවශ්‍යතාව යනු, භෞතික සහ අධ්‍යාත්මික (මානසික) වශයෙන්, පැවැත්ම සඳහා නැතුවම බැරි දේවල් ය. උවමනාව යනු, ජීවිතයට අත්‍යාවශ්‍ය මේ දේවල්වලින් එහාට ගොස් අත්පත් කර ගැනීමට බලන සහ ආශා කරන දේවල් ය. 19 වැනි සියවසේදී තරුණ මාක්ස් මිනිස් ජීවියාව හැඳින්නුවේ, ‘අවශ්‍යතාවන්ගේ ප‍්‍රාණියෙකු’ සේ ය. ඒ අනුව, මිනිස් ප‍්‍රාණියාගේ සාරය සහ පරාරෝපණය ගැන පැහැදිළි කෙළේය. ඊට අවුරුදු දෙදහසකට කලින් සිද්ධාර්ථ කුමාරයා, ඕනෑ කම හෙවත් ආශාව (තණ්හාව) සියලූ දුකට මුල බව පෙන්වා දී, ඒවායින් මිදී මිනිසාගේ විමුක්තිය ලබා ගන්නා මාර්ගයක් දේශනා කෙළේය. අපේ කාලයේදී, අද අප දකින ‘පරිභෝජනවාදයේ’ වසංගතයට අපව ඇද දමනු ලබන්නේ, අසීමිත උවමනාවන් පිළිබඳ පේ‍්‍රරණය විසිනි. යථා ලෝකයේදී, අවශ්‍යතා සහ උවමනාවල් වෙන් කොට ගත නොහැකි තරමට පැටලෙයි. අඩු වශයෙන්, බොහෝ දෙනා, ජීවිතයේදී සහ දේශපාලනයේදී ඒ දෙක මාරුවෙන් මාරුවට පාවිච්චියට ගනිති. අත්දකිති.

එක්සත් ජාතික පක්ෂයෙන් තොරව තමාට පැවතිය නොහැකි බව මෛත‍්‍රිපාල සිරිසේන දනී. එසේම, එක්සත් ජාතික පක්ෂයෙන් පිටස්තර බලවේගයක තල්ලූවක් නැතිව තමාට කිසි දේශපාලන බරක් නොලැබෙන බවත් ඔහු දනී. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස් නොවී වුව, රාජපක්ෂ ආණ්ඩුවෙන් කැඞී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන අවස්ථාවේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමේ කිසි අදහසක් ඔහුට තිබෙන්නට නැත. සිරිසේනට එම නායකත්වය ලැබුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ සාමකාමී සම්ප‍්‍රදායට ගරු කිරීමට මහින්ද රාජපක්ෂ තීරණය කළ නිසා ය. එය, ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දේශපාලනයට වෙනස් ය. ඇමරිකාවේ එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය කඩ කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැනටමත් කැසකවයි.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ස්වේච්ඡාවෙන් අතහැරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ නැවත ඒ ගැන සිතා බැලූවේය. අනිත් අතට, පක්ෂ නායකත්වය ගැනීමෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත්, මෛත‍්‍රීපාල සිරිසේනට එම පක්ෂයේ පූර්ණ පාලනය තවමත් අතට ගත නොහැකිව තිබේ. සිරිසේනට එක්සත් ජාතික පක්ෂයේ ඇති අවශ්‍යතාවත්, ඒ සමගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමට ඇති උවමනාවත් කෙනෙකුට තේරුම් ගත හැකිය. එහෙත් ඔවුන්ට තේරුම්ගත නොහැකි දෙය වන්නේ, රාජපක්ෂගේ අනුකාරක රූපය බවට ඔහු පත්වීම ය. අනුකරණයට සාමාන්‍යයෙන් මිනිසුන් කැමති නැත. විශේෂයෙන්ම, තමන්ට අවශ්‍ය නම්, එහි ‘ඔරිජිනල්’ එක ලබා ගත හැකිව තිබියදී, ඔවුන් කොහෙත්ම අනුකරණයකට කැමති නැත.

අගමැතිවරයා තමන්ගේ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී වෙනත් ආකාරයකට කටයුතු කෙළේ නම්, මහ බැංකුව වැනි ආයතන හිතුමතේට වෙනත් අමාත්‍යාංශවලට කඩා වෙන් කර නොගත්තේ නම් සහ ප‍්‍රධාන තනතුරුවලට නොවටිනා පුද්ගලයන් පත් නොකෙළේ නම්, යහපාලනය අද වැටී සිටින මඩ ගොහොරුවේ එරෙන්නේ නැති බව කවුරුත් දනිති. අගමැතිවරයාගේ අභිලාෂය යහපත් බවට සැකයක් නැත. එහෙත්, 2015 ජනවාරියෙන් පසු, ශී‍්‍ර ලංකාවට අවශ්‍ය කෙළේ, කුරිරු ඒකාධිපති තන්ත‍්‍රයක් වෙනුවට, යහපත් අදහසින් කෙරෙන විකාරයක් ස්ථාපිත කිරීම නොව, විනිවිද පෙනෙන, ඇහුම්කන්දෙන සහ වගවෙන ආයතනගත තීරක ක‍්‍රියාවලියක් මත පදනම් වන ආණ්ඩුකරණ පද්ධතියකි. ඒ වෙනුවට අද අපට ඇත්තේ, විනිවිද භාවයක් සහ ඇහුම්කන්දීමක් නැති, අනෙක් අය නොතකා හැරෙන පුද්ගලවාදී අගමැති-තීරක ක‍්‍රියාවලියකි.

එකිනෙකාට එකිනෙකා අවශ්‍ය කරන බව, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දනිති. එහෙත් තමන් අතරේ එකඟ විය හැකි පරාසයන් පුළුල් කිරීමේ කලාව සහ තමන් එකඟ නොවන පරාසයන්ට වඩා වැඩි ප‍්‍රමුඛත්වයක් ඒ කියන එකඟ විය හැකි පරාසයට ලබා දීමේ කලාව ඔවුන් ප‍්‍රගුණ කර ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ සුවිශේෂී හවුල්කාරීත්වය සඳහා, ‘එකඟ නොවීමට එකඟ වීමේ’ උපායික අකර්මණ්‍යත්වයට වඩා, සාධනීය එකඟත්වයන් වැඩි වැඩියෙන් අවශ්‍ය කෙරේ. තවත් කෙනෙකු සමග එක්ව තීරණ ගැනීමේ පුරුද්දක් අගමැතිවරයාට නැත. ඔවුන්ගේ පෞද්ගලික හමුවීම්වලදී අගමැතිවරයාව තල්ලූ කිරීමට ජනාධිපතිවරයා පසුබට වෙනවාද විය හැකිය. එසේ තිබියදී ඔහු ප‍්‍රසිද්ධියේ කෑගසයි. ඊළඟට, තමාව නිවැරදිව වාර්තා නොකළ බවට ජනමාධ්‍යයට චෝදනා කරයි. තමාගේ පණිවිඩය කොටස් දෙකකින් ඉදිරිපත් කළ නිසා එවැනි චෝදනාවක් කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ. එකක් වන්නේ, තමා නොදැනුවත්ව ආණ්ඩුව ඇතුළේ සිදුවන දේවල් සම්බන්ධයෙන් චෝදනා කිරීම ය. දෙවැන්න වන්නේ, ආණ්ඩුව කඩා වැට්ටීම සඳහා තමා කිසිවක් නොකරන බව ය. තමාගේ තුන් තේරවිල්ල ඔහු විස්තර කරන ආකාරය එබඳු ය.

බලයට පත්ව අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගතව තිබියදීත්, ජනතාව විසින් ඔවුන්ව බලයට පත්කළ ප‍්‍රධාන අභිප‍්‍රාය ගැන දෙන්නා අතර තවමත් එකඟත්වයක් නොතිබීම ප‍්‍රහේලිකාවකි. එනම්, රාජපක්ෂලා යටතේ සිදු කරන ලද දූෂණ හෙළිදරව් කර ගැනීමත්, අළුත් ආණ්ඩුව තුළ එවැනි දෑ කිරීමෙන් වැළැකී සිටීමත් ය. මේ මාතෘකාව දෙන්නා අතර දිනපතා සාකච්ඡාවට ගැනෙනවා ඇතැයි කෙනෙකු සිතුවොත් එහි වරදක් නැත. එසේම එම අභියෝගයේ බරපතල ස්වභාවය ගැන දෙන්නා අතර යම් අවබෝධයක් ඇති කර ගනිමින්, ඊට මුහුණදීමේ ප‍්‍රායෝගික පියවර ගැන දෙන්නා අතර නිතර කතාබහ වෙතැයි කෙනෙකු සිතුවොත් එහිද වරදක් නැත. මන්ද යත්, සියල්ලන්ගේ අපේක්ෂාව එයම වන බැවිනි. එසේ තිබියදී, රාජපක්ෂ පාලනයේ අතුරුබිතුරු විසින් අදාළ විමර්ශන සහ නඩු පැවරීම් අඩාල කරන්නේ යැයි කීම හතරබීරි කතාවකි. අපට මගහැරිය නොහැකි සත්‍යය වන්නේ, මේ කාරණය සම්බන්ධයෙන් තමන් බරසාරව කටයුතු කරන බවට දෙන්නා විසින් මේ දක්වා ප‍්‍රසිද්ධ ඒකාබද්ධ ප‍්‍රකාශයක් කර නැති වීමයි.

ඊටත් වඩා, මේ ආණ්ඩුව තුළත්, ඔවුන් දෙන්නාගේ ඇස් ඉදිරිපිටම එයාකාරයේම දූෂණ සිදුවෙමින් තිබීම, තත්වය තවත් නරක් කරයි. වර්තමාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අසාධාරණ ලෙස නීතිය ඉදිරියට පැමිණවීමට බැලෙන අතරේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් නිදහසේ සොරකම්වල නියැලීම ජනාධිපතිවරයාගේ කණස්සලට හේතුවක් වී තිබේ.

වෙනත් ක්ෂේත‍්‍රවල, විශේෂයෙන් ජාතික සංහිඳියාව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ යෝජනාදිය සම්බන්ධයෙන් දෙදෙනා අතර පවතින වෙනස්කම්, සාධාරණ නැතත්, අපට තේරුම්ගත හැකිය. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ක‍්‍රියාත්මක වන ප‍්‍රතිවිරෝධී බලවේග සමග කටයුතු කිරීමට ඔවුන්ට සිදුවෙයි. අතීත සහ වර්තමාන දූෂණ සම්බන්ධයෙන් එකාවන්ව කටයුතු කළ හැකි නම්, ඉහත කී කාරණා සම්බන්ධයෙන්ද දෙන්නාට මීට වඩා අන්‍යොන්‍ය අවබෝධයකට ළඟා විය හැකි වනු ඇත. එවැනි සූදානමක් ප‍්‍රදර්ශනය නොකරන තාක් කල්, ඔවුන්ට ලැබෙනු ඇත්තේ ජනතා අප‍්‍රසාදය මිස ජනතා අනුග‍්‍රහය නොවේ.

ඊට අමතරව, විවාදාපන්න කාරණා සම්බන්ධයෙන් මීට වඩා පහසුවෙන් දෙන්නාට කටයුතු කළ හැකි වන්නේ, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැක්විය යුතු ප‍්‍රතිචාර ගැන කාලය නාස්ති නොකොට රටේ පවතින බිම් මට්ටමේ යථාර්ථයන්ට එක්ව මුහුණදීමෙනි. මීට පෙරද බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇති පරිදි, යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකිරීම සඳහා දෙන්නා කටයුතු කරන්නේ නම්, යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ ඉල්ලා කෙරෙන ජාත්‍යන්තරයේ බලපෑම්ද අඩු වෙනු ඇත.


රාජන් පිලිප්ස්


(2016 ඔක්තෝබර් 22 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ The Yahapalanaya Saga: The end of the Long Beginning නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

- මෙලනි
 



2016-10-31
Advertisement

Find us on Facebook