English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මඩකළපු වැසියෝ ජීවත්වීමේ අරගලයක!
 
විරැකියාව, ක්ෂුද‍්‍ර ණය ව්‍යාපෘති වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම, නීති විරෝධි මත්පැන් හල් පවත්වාගෙන යාම, පහළ අධ්‍යාපන මට්ටම සහ ගෘහමූලික කාන්තාවන් මුහුණ දෙන ආර්ථීක ගැටළු යානාදි ප‍්‍රධාන ප‍්‍රශ්න කිහිපයකින් මඩකළපුව දිස්ත‍්‍රික්කය තුළ ජනතාව අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටින බව මඩකළපුව සිවිල් සංවිධාන නියෝජිතයින් පවසති.

ක්ෂුද‍්‍ර ණය ව්‍යාපෘති තුළින් වැඩිපුර ණය මුදල් ලබාගැනීමට පහසුකමක් ඇති හෙයින් තමන්ට ඇවැසි ආකාරයෙන් එසේ මුදල් ලබාගත්ත ද, එම විශාල ණය මුදල් ප‍්‍රමාණය නැවත ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ එම කාන්තාවන් විදෙස් රැකියාවන් සඳහා යොමුවීමත් එමගින් දරුවන් අසරණවීමත් ඔවුන්ගේ අධ්‍යාපනය කඩාවැටීමත් ඇතැම්විට පවුල් සංස්ථාව පවා විනාශ වී යාමත් සිදුවමින් පවතින බව මඩකළපුව රාජ්‍ය නොවන සංවිධාන සාමුහිකයේ සභාපති එස් ශිවයෝගනාදන් පසුගියදා (ඔක් 28දා) මඩකළපුවේදි පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

අසල්වැසි අම්පාර දිස්ත‍්‍රික්කය වර්තමානයේදි අධ්‍යාපන මට්ටම අතින් 16 වැනි ස්ථානයේ පසුවන විට, මඩකළපු දිස්ත‍්‍රික්කයේ අධ්‍යාපන මට්ටම 25වන ස්ථානයේ පැවතීම ඉතාම කණගාටුදායක බැව් ද ශිවයෝගනාදන් ප‍්‍රකාශ කළේය. එසේ වී ඇත්තේ ගුරුවරුන් මත දේශපාලන මැදිහත්වීම් ක‍්‍රියාත්මක වීම, වෙනස්කොට සැළකීම් සහ වැඩිහිටියන් ද ළමුන් අධ්‍යාපනය කෙරෙහි යොමුකිරිම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙසට නොසිතිම යනාදි කරුණු බලපාන බැව් ඔහු කිවේය.
 
එමෙන්ම, මඩකළපුව දිස්ත‍්‍රික්කය තුළ ගෘහ මුලික කාන්තා පවුල් 25000 ක් ජීවත්වන බවත් ඔවුන්ගෙන් බහුතරයක් යුද්දය හේතුවෙන් වැන්දඹු තත්ත්වයට පත්වු බවත් එස් ශිවයෝගනාදන් පැවසීය.


ඔහුට අනුව, යුද්දය විසින් වැන්දඹු භාවයට පත්කළ කාන්තාවන් මෙන්ම විවාහ ගිවිස නොගෙන සිටීමත් , පිරිමි සොහොයුරන් හා පියවරුන් අහිමිවීමත් මෙම කාන්තාවන් ගෘහමුලික කාන්තාවන් බවට පත්වන්නට හේතු වී ඇත.

සිය දෛනික ජීවිතය ගැටගසා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ කුලී වැඩ කිරීම , මැදපෙරදිග රැකියා සඳහා යොමුවීම අනිවාර්ය අංගයක් වී ඇති බව පවසන ශිවයෝගනාදන්, ඇතැම් කාන්තාවන් ක්ෂුද්‍ර ණය ව්‍යාපෘතිය තුළ ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව තවත් ණයකරුවන් බවට පත්වි සිටින බව පැවසීය.

දිස්ත‍්‍රික්කයේ ගොවීන් ද පාඩුලබන කාලසීමාවකට මුහුණ දි සිටින අතර විදෙස් යාත‍්‍රා පැමිණ තමන්ගේ මුහුදේ රැුකියාව කිරීම හේතුවෙන් මඩකළපු ධිවරයින් හට ද නිසිලෙසට රැකියාව කරන්නට හැකි පරිසරයක් නැතැයි ශිවයෝගනාදන් පෙන්වා දුණි.

පිංතුර සහ සටහන  -  මෙලනි



2016-10-31
Advertisement

Find us on Facebook