English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"බලාපොරොත්තුව" සමඟ ඔක්තෝබර් 27 ඉදිරියට !
අඛණ්ඩව වසර 25ක් පුරා සමරන්නට යෙදුණු ඔක්තෝබර් 27 අතුරුදහන්වුවන් සිහිකිරිමේ සැමරුම මෙවර ද සීදුව රද්දොළුගම මංසන්දියේ පිහිටුවා ඇති අතුරුදහන්වුවන්ගේ සිිහිවටනය අභියස 26 වන වරටත් ඊයේ (ඔක් 27) පැවැත්විය. අතුරුදහන්වුවන් වෙනුවෙන් පුෂ්පෝපාහාරයක් සමඟින් අත්අඩංගුවේ පසුවන විදෙස් ක‍්‍රියාධරයෙකු වෙනුවෙන් සාමකාමි විරෝධතාවක් ද මෙවර සැමරුමට එක්විය. අතුරුදහන් කිරීම්වලට එරෙහි දෙස් විදෙස් ක‍්‍රියාධරයින් කිහිප දෙනෙකු මෙවර සැමරුමට සහභාගි වුහ.



රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් සෑම වසරකම සංවිධානය කරනු ලබන අතුරුදහන්වුවන් සැමරීමේ දිනයේ මෙවර සැමරුම, "බලාපොරොත්තු අත්නොහරිමු යුක්තිය සාධාරණත්වය ඉටුකරගැනීම තුළින් නැවත සිදුනොවීම" යන තේමාව යටතේ පැවැත්විණි.

මලක් තබා, ඉටිපහනක් දල්වා අතුරුදහන්ව ඇති සිය ඥාතීන් සමරන්නට ඇති එකම ස්ථානය වන "රද්දොළුගම ස්මාරකය" අභියස දී, ඊයේ දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයකින් පැමිණ සිටී අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජීකයින් විශාල පිරිසක් පුෂ්පෝපාහාර දක්වමින් සිය ආදරණිය ඥාතින් සිහිපත් කළහ.
 
"අතුරුදහන්වු අපේ ඥාතින් වෙනුවෙන් අපිට යුක්තිය සාධාරණය ඉටුවිය යුතුමයි. යම්කිසි පියවරයන් අරගෙන තිබෙන නිසා මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් තියෙනවා". යැයි හම්බන්තොට සිට පැමිණ සිටි පේ‍්‍රමශීලි අම්මාත් කළුතර සිට පැමිණ සිටී මැගිලින් අම්මාත් අයිතිය ට පැවසීය.  

 
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සභාව අමතමින් කියා සිටයේ, “විවිධ ආණ්ඩු යටතේ මෙම උළෙල සමරා ඇතිමුත්, බොහෝ ආණ්ඩු වලින්, මහින්ද රෙජීමය හා ඊට කලින් පැවති UNP රජය යටතේත්, විවිධ තර්ජන වලට මුහුණ පාන සිද්ධ වුණා. නමුත් මෙවර ඔක්තෝබරය ඊට වෙනස් ආකාරයෙන් නිදහසේ සැමරීමට හැකියාව ලැබී තිබෙනවා”.

එමෙන්ම, "පවතින ආණ්ඩුව විශාල වශයෙන් මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් බලාපොරොත්තු රාශියක් අපට දීල තියෙනවා. එයින් කීපයක් ඉෂ්ඨකිරීමේ පැත්තට පියවර තබල තියෙනවා. මේ රටේ ආණ්ඩුවල ඉතිහාසය හැමදාම බොරු කියපු, වංචා කරපු හා පාවා දුන් ඉතිහාසයක්. නමුත් මේ ආණ්ඩුව එකෙන් වෙනස් වෙනවා කියල තියෙනවා” යනුවෙන්ද බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සභාව අමතමින් පැවසීය.



මෙහිදි,  පාකිස්ථානයේ අතුරුහන්වුවන් වෙනුවෙන් ක‍්‍රියාකරන දැනට අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු වන කුරාම් පාර්වේස් වෙනුවෙන් ද සහයෝගිතාවය පළකරමින් ඔහුගේ නිදහස්වීම උදෙසා නිහඬ විරෝධතාවක් පැවැත්විණි.  

අතුරුදහන් කිරිම් වලට එරෙහි මෙරට සංවිධානවල සාමාජිකයින් මෙන්ම "අතුරුදහන්වීම් වලට එරෙහි ආසියානු ෆෙඩරේෂන්" හි සාමාජීකයින් ද "දකුණු කොරියාවේ ක්වාන්ජු නගරයේ මැයි 18 පදනමේ" සාමාජිකයින් ද "මැයි 18 වින්දිතයින්ගේ පදනමේ" සාමාජිකයින් ද "ආසියනු මානවහිමිකම් කොමිෂමේ" සාමාජීකයින් ද මෙවර සැමරුම වෙනුවෙන් සහභාගී වුහ.




සටහන  -   මෙලනි
පිංතුර  රයිට් ටු ලයිෆ්




2016-10-28
Advertisement

Find us on Facebook