English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පසුපස සිටි සිසුවාට නොවැදී ධාවක සිසුවාට වෙඩි වැදුණේ කෙසේද? - තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය වේදියෝ සංවිධානය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය විසින් පසුගියදා යාපන සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරිම පිළිබඳ නිසි පරීක්සණයක් ඉල්ලා සිටියි.

එම පැමිණිල්ල පහත දැක්වේ:

සභාපති/කොමසාරිස්වරුන්,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
බොරැල්ල.

සභාපතිතුමියනි/කොමසාරිස්වරුනි,

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය ගැන කළ පෙර පැමිණිල්ල හා බැඳේ

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකයට තුඩු දෙන කාරණා ගැන වැඩිදුර වාර්තාවක් ලෙස මෙය ඉදිරිපත් කරමු.

සිසුන් දෙදෙනාගේ මරණය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය 2016 ඔක්තෝබර් 21 වැනි දා සවස 1.00 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

‘‘2016.10.20 වන දින පැය 2355 ට පමණ යාපනය පොලිස් වසමේ  කන්කසන්තුරය මාර්ගගයේ   කොකුවිල් ප්‍රදේශයේ දී යාපනය දෙස සිට චුන්නාගම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් තාප්පයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මරණකරුවන්

⦁     නඩරාසා කජන් වයස අවුරුදු 23යි, ලිපිනය අංක 155 කිලිනොච්චිය.
⦁    සවුන්ඩ් රාජා සුලක්ෂන් වයස අවුරුදු 24යි, ලිපිනය – කන්දරෝඩෙයි පාර, චුන්නාගම්.

මෘත ශරීර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ 2016 10 21 සිදු කිරීමට නියමිතය. යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන යනු ලබයි.‘‘

පොලිසිය මෙවැනි නිවේදනයක් නිකුත් කළේ පොලිසියේ සටහන අනුවම අනතුර සිදු වී පැය 14 කට පසුවය. ඒ වන විටත් මෙම මරණ සැක බවට කරුණු වාර්තා වෙමින් තිබියදී පොලිසිය මෙය සාමාන්‍ය රිය අනතුරක් ලෙස හුවා දැක්වූයේ ඇයිද යන්න ගැටළුවකි.

පෙර සඳහන් කළ පරිදි අනතුර සිදු වී ඇත්තේ 20 වැනි දා රාත්‍රී 11.55ට පමණය. මිය ගිය සුලක්ෂන්ගේ මව සහ හොඳම මිතුරන්ට අනුව අනතුර ගැන ඔවුන් දැනුම්වත් වී ඇත්තේ අලුයම 2.00 ට පමණය. අලුයම දෙක වන විටත් ඔවුන් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි සනාථ කර තිබුණු බව සුලක්ෂන්ගේ පවුලේ ඥාතීහු කියති. ඒ සමගම මෙම සිදුවීමේ සැක මුසු තැන් ගැන කතා බහක් ගොස් ඇතත් පොලිසිය එය ගණන් නොගත්තේ ඇයි?

පොලිසිය මුලින් කීවේ මෙය මාරාන්තික රිය අනතුරක් බවයි. මාරාන්තික රිය අනතුරකදී අනතුර සිදුවූ ස්ථානයට රථවාහන අංශයේ ස්ථානාධිපති, මූලස්ථාන පොලිස් පරීක්ෂක මෙන්ම සහකාර පොලිස් අධිකාරී ද යා යුතුය. එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මෙන්ම නියෝජ්‍ය පොලිස්පති ද සිදුවීම ගැන සොයා බලා අවශ්‍ය නියෝග ලබා දිය යුතුය. මාරාන්තික රිය අනතුරක් නම් එය හප්පා පළා යාමක්ද (හිට් ඇන්ඩ් රන්) යන්න ගැන ද විමර්ශන කළ යුතුය. පොලිසිය මුලින් කී ආකාරයට මෙය රිය අනතුරක් ලෙස මුල සිට කටයුතු කළා නම් පෙර සඳහන් කළ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සොයා බැලීද යන්නත් උසස් නිලධාරීන් අදාළ නියෝග ලබා දුන්නාද යන්නත් සොයා බැලිය යුතුය. අපරාධයක් නම් අපරාධ ස්ථානයද පෙර සඳහන් කළ පරිදි එම නිලධාරීන්ගේ නීරීක්ෂණයට ලක් විය යුතු අතර උසස් නිලධාරීන් අදාළ නියෝග ලබා දිය යුතුය.

ස්ථානීය පරීක්ෂණයට රථවාහන ස්ථානාධිපති, මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී ගියා නම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පති අදාල නියෝග නිසි ආකාරව දුන්නේ නම් මෙය කිසි ලෙසකින් රිය අනතුරක් ලෙස යට ගැසිය නොහැකිය. ඒ සිද්ධිය බැලූ බැල්මට මෙය අපරාධයක් බව පෙනී යන නිසාය. මෙය රිය අනතුරක් බව පෙන්වා යට ගැනීමට දැරූ උත්සාහයට රථවාහන ස්ථානාධිපති, මුලස්ථාන පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරීද සෘජුවම වග කිව යුතු බව අපේ අදහසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පති ද වක්‍රාකාරව වග කිව යුතු බව අපේ අදහසයි.  ඔවුන් සියලු දෙනා එක්වී මෙම අපරාධය වසන් කිරීමට කුමන්ත්‍රණය කළාදැයි සොයා බැලිය යුතුය. අපරාධයක් වසන් කිරීම සහ වසන් කිරීමට ආධාර අනුබල දීම ද දණ්ඩ නීති සංග්‍රහය අනුව දඩුවම් ලැබිය හැකි අපරාධ වරදකි.

මෙම සිසුන් දෙදෙනා බීමතින් සිටි බවට පොලිසිය ප්‍රචාරය කළත් එය ද පිළිගත නොහැකිය. පණ පිටින් සිටින පුද්ගලයකු බීමතින් සිටියේදැයි දැන ගැනීම සඳහා දැනට ක්‍රම දෙකක් අනුගමනය කරයි. එකක් බැලූන් පිම්බීමට දීමය. දෙවැන්න වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමය. සාමාන්‍ය වෛද්‍යවරයකුට එය තීරණය කළ හැකිදැයි ගැටළුවක් මතු වෙයි.  විජිත හේරත් සිදුවීමේදී අධිකරණය තීරණය කළේ කටින් ඇල්කොහොල් සුවඳ ආ පමණින් ඔහු බීමතින් සිටින බව තීරණය කළ නොහැකි බවයි. ඒ පණ පිටින් සිටින පුද්ගලයන් ගැනය. මිය ගිය පුද්ගලයකු බීමතින් සිටියේදැයි තීරණය කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අධිකරණ වෛද්‍යවරයාටය. යාපනය සිදුවීමේදී මිය ගිය සිසුන් බීමතින් සිටි බවට පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර පොලිසියට කිව නොහැකිය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද ඒ බව සනාථ කළ බවත් අපි නොදනිමු. සිසුන් බීමත්ව සිටි බව පොලිසිය කියන්නේ නම් ඔවුන් සිසුන් මිය යෑමට පෙර සිසුන්ට බැලුම් පිම්බවීමට දී තිබිය යුතුය. අඩු තරමේ සිසුන් සමග කතා කර තිබිය යුතුය. එය එසේ වී නම් නොනවත්වා ධාවනය කළ බව කීමද මුසාවකි.

සිසුන් දෙදෙනා නොනවත්වා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවට පොලිසිය කියන කාරණයද බරපතල සැකයට තුඩු දෙයි. පළමු කාරණය යතුරු පැදිය නොනවත්වා ධාවනය කරද්දී වෙඩි තැබුවා නම් පිටුපස සිටි කජන්ට වෙඩි නොවැදී ඉදිරිපස ගිය සුලක්ෂන්ට වෙඩි වැදුණේ කෙසේද? ඔහුට එක වෙඩිල්ලක් නොව  කිහිපයක් වැදී තිබිණි. එසේ නම් වෙඩි තැබූවන් ඔහු මරා දැමීමේ මුඛ්‍ය අරමුණින් වෙඩි තැබුවාද යන්න සාධාරණ සැකයක් මතු වෙයි.

රාත්‍රී රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි මාරු වෙද්දී තමන් සතු ගිනි අවි ආයුධ ගබඩාව බාරයට දිය යුතුය. ආයුධ ගබඩා බාර නිලධාරියා (උපසේවයේ සිටින නිලධාරියා විය හැකිය) නිසි පරිදි පරීක්ෂා කර ඒවා බාර ගත යුතුය. එසේ නම් වෙඩි තැබූ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදේ බාර දෙද්දී එම අවියේ උණ්ඩ අඩු බව දැක ඒ ගැන ඉහළට වාර්තා කළ යුතුය. නිලධාරියා අවිය බාර නොදුන්නේ නම් එය ද සොයා බැලිය යුතුය.

දැනගන්නට ඇති පරිදි යතුරුපැදියේ පසු පැදිකරු වූ කජන්ගේ හිසට බරපතල තුවාල සිදුවී තිබේ. එනමුත් ඔහු පැළද සිටි හිස් ආවරණයට අනතුරක් සිදුවී නැත. ඔහු හිස් ආවරණයේ පටි තද කරගෙන නැතිව සිටියේ නම් එය විසි වී යා යුතුය. නමුත් හෙල්මට් දෙකම ගලවා තැබුවා සේ එම ස්ථානයේ තිබිණි. (ඡායාරූප අමුණා ඇත.)

සිදුවීම වූ ස්ථානයේ සීසීටීවී දර්ශන ජනමාධ්‍යයට නිකුත් නොකිරීමද සැකයට තුඩු දෙන්නකි.

මෙම සිද්ධියේ දී වෙඩි වැදී තිබුණේ සුලක්ෂන්ටය. සුලක්ෂන් යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ සිසුවකු වන අතර ඔහු ශිෂ්‍ය අරගලවල ද ඉදිරියෙන් සිටි අයෙකි. වතුකරයේ ජනතාවගේ පඩි වැඩි කරන ලෙස බල කරමින් යාපන සරසවි සිසුන් ඔක්තෝබර 14 වැනි දා කළ විරෝධතාවයේද සුලක්ෂන් ඉදිරියෙන්ම සිටි බව ඔහුගේ මිතුරෝ කියති. එමෙන්ම ඔහු යාපනයේ ප්‍රසිද්ධ විකට නළුවෙකි. වීදි නාට්‍යකරුවෙකි. ඔහු සාමාජ ක්‍රියාකාරිකයකු වීම හා ඔහුට වෙඩි වැදීම අතර සම්බන්ධතාවක් තිබේදැයි සොයා බැලිය යුතුය.

ලංකාවේ මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක නොවන අතර නොනවත්වා රථයක් ධාවනය කරද්දී ඊට වෙඩි තැබිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 11 වැනි ව්‍යවස්ථාවට අනුව කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුතුය.  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාවේ හතර වැනි අනු ව්‍යවස්ථාව අනුව නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කළ නොහැකිය. සෑම නීතියකටම වටා මූලික නීතිය වූ ආණ්ඩුම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන හෙයින් හදිසි නීතියක් යටතේ හෝ පළා යන රථයකට වෙඩි තබා පුද්ගලයකු මරණයට පත් කළ නොහැකි බව අපේ අදහසයි.

වරදකරු යයි ඔප්පුකරනු ලබන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාවේ පස් වැනි අනු ව්‍යවස්ථාවේ සඳහන්ය. එසේ නම් සිසුන් බීමතින් සිටි බව හා අධික වේගයන් රිය ධාවනය කළ බව අධිකරණයකදී ඔප්පු වී නැති නිසා පිලි ගත නොහැකිය.

කොටබදු දුරගේ ශ්‍රියානි සිල්වා එදිරි පයාගල ස්ථානාධිපති චානක ඉද්දමල්ගොඩ නඩුවේදී (sc (FR) no 471/2000)  තීරණය කර ඇත්තේ අධිකරණයකින් නියම කරන දණ්ඩනයකදී හැර අනෙක් සෑම විටම යම් තැනැත්තකුට ජීවත්වීමේ අයිතිවාසිකමක් ඇති බවයි. කපුගීකියන එදිරි හෙට්ටිආරච්චි නඩුවේ තීන්දුවට අනුව දරුණු අපරාධකරුවකුට වුවද මූලික අයිතිවාසිකම් සඳහා අයිතිවාසිකම් ඇති බව පිළිගෙන තිබේ.

අන නොතකා ගිය නිසා වෙඩි තිබ්බා යැයි කියමින් යාපනයේ සිසුන් දෙදෙනාගේ මරණයේ වගකීම ශ්‍රී ලංකා පොලිසිය බාර ගන්නේ නම් ශ්‍රී ලංකා පොලීසිය එම සිසුන් දෙදෙනාගේ ජීවත්වීමේ අයිතිවාසිකම නැති කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ගණනාවක් කඩ කර ඇති බව අපේ හැඟීමයි.

අපරාධය සිදු කළ, අපරාධය වසන් කළ සහ ඊට අනුබල දුන් උසස් පොලිස් නිලධාරියාගේ සිට පහළ පොලිස් නිලධාරියා දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය අනුව මිනී මැරීම යටතේ නඩු පවරන ලෙස නිර්දේශ කරන ලෙසත්, වින්දිතයන්ට අවශ්‍ය වන්දි පිරිනමන ලෙස නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි

තරිඳු ජයවර්ධන
ලේකම්
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය


- මෙලනි




2016-10-26
Advertisement

Find us on Facebook