English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


‘යහ පාලනය’ මෙතැනින් කොතැනටද ?

‘ඔබේ මිතුරන් කව්දැයි කියන්න, ඔබ කවරෙක්දැයි මා කියන්නම්’ යනුවෙන් රුසියානු කියමනක් තිබේ.

‘සයනයිඩ් දේශණය’ යැයි ජනප්‍රිය වෙබ් කතුවරයකු විසින් උප්පැන්නය ලියන ලද ජනාධිපතිවරයාගේ ‘සත්විරු සංහිඳ’ කතාව අරභයා එම රුසියානු කියමන ආදේශ කළ විට ඔහුට ලැබෙන සියළුම ලකුණු රිනය. යහපාලන ආණ්ඩුවේ යහපැවැත්ම රඳා පවත්න්නේ එම රින ළකුණූ ඉක්මවා ධන ලකුණූ ලබා ගැනීමට ජනාධිපති සිරිසේන සමත්වන්නේද නැත්ද යන්න මතය.

ජනාධිපතිවරයාගේ කතාව ගෝඨාභය රාජපක්ෂගේ සිට වීරවංශ හරහා ගම්මන්පිළ දක්වා කනට මී පැණි වත්කිරීමක් වී තිබෙන්නේ එය ජනවාරි විප්ලවයේ එක් ප්‍රබල කුළුණක් සෙළවීමට සමත්ව ඇති නිසා ය.එනම් වංචා දූෂණයන්ගෙන් තොර යහපාලනයක් පිහිටුවීමය.

එකී කතාව ජනාධිපතිවරයා විසින් සයනයිඩ් කෑමක් හා සමාන වන්නේ එකී රාජපක්ෂවාදින්ගේ මන දොළ ඉන් සැපිරූ නිසාම නොවේ. ඊටත් වඩා ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් මෙන්ම ජනවාර්ගික ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් රාජපක්ෂ පාලනය සමඟ මුහුණට මුහුණ ලා සටන් කළ සියළු බලවේගයන්ගේ ගැඹුරු සිත් පෑරීමකට එම කතාව හේතු වූ නිසාය. තවද ඔහු එහිදී කරන ලද්දේ දූෂණ විමර්ශණ අප්‍රමාණවත් බවට විවේනයක් නොව ‘රණවිරුවන්’ කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමේ කතාවක් නිසාය.මා කාටවත් බැදී නැතැයි භයානක ප්‍රකාශයක් කළ නිසාය. එමතුද නොව ඔහුගේ එම කතාව  සමඟි ආණ්ඩුවේ අසමගියේ නිමිත්තක් බවට ද පත් වූ නිසාය.

එම කතාවෙහිදී ජනාධිපතිවරයා විසින්  වෙනත් වැදගත් දේ කියා තිබුණද අද එම කතාව ඉතිහාස ගත වී ඇත්තේ දූෂණ විමර්ශණ ආයතනයන්ට කරන ලද විවේචනය සම්බන්ධයෙන් පමණය.  ‘සත්විරු සංහිඳ’ කතාවෙහි වැදගත්කම තියෙන්නේ එහිදී ඔහු විසින් කී, මෙයට පෙර නොකී කරුණු උඩ පමණකි.

රාජපක්ෂ දූෂණය සහ භීෂණ පිටු දැකීම පිණිස ගොනුවෙමින් ආ බලවේගයන්ට නායකත්වය සැපයීමට ඉදිරිපත්වෙමින් තැබූ  ඉතිහාසීය පියවර විසින් මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයා හිමිකර ගත් දේශපාලන ප්‍රතිරූපය දැන් එකී සයනයිඩ් දේශණය විසින් යම් දුරකට අවර්ණ කර තිබේ. මෙවැනි පසුබෑමට මුහුණ දෙන ඥානවන්ත දේශපාලනඥයකුගේ කාරියවන්නේ හානි අවම කර ගනිමින් ජනතා බලවේගයන්හි අපේක්ෂා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය විශ්වාසය යළි දිනා ගැනීමය.

ජනාධිපතිවරයාගේ ඉලක්කකරුවන් විසින් හානි අවම කර ගැනීමේ උපායක් ලෙස ප්‍රකාශ කරමින් සිටින දූෂණ වංචා විමර්ශණයන්හි අගතිගාමීත්වයක් දක්නට ලැබෙන්නේය යන කතාව සැබෑය‍. දැන් ජනාධිපති පාර්ශවය විසින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වූ දිල්රුක්ෂි වික්‍රමසිංහට එරෙහිව මුදා හැර ඇති ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේද වංචා දූෂණ විමර්ශණ අගතිගාමී බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දිගටම ගෙන යාමට ඇති තීරණයයි.  අමාත්‍ය රාජිත සේනාරත්නගේ සිට හෙළ උරුමය දක්වාද   සිරිසේනවාදි මත ගොඩනගන්නන් විසින්ද වංචා දූෂණ විමර්ශණ ආයතන අපක්ෂපාත නැත යන මතය තහවුරු කරමින් සිටිති.

පෙනන විදිහට මෙම චෝදනා ඇත්තය. විමල් වීරවංශ සම්බන්ධ නඩු පමා වන්නේත් රාජපක්ෂවරුන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් බාරව සිටි බව කියන ගාමිණී සෙනරත්ට නඩු පැවැරී නැත්තේත් ජනපති සම්බන්ධ බොරු ලියැවිලි සකස්කළ එජාප හිටපු ලේකම් තිස්ස අත්තනායක ඊයේ පෙරේදා වනතුරුම යහතින් සිටියේත් ඒ නිසාය.  බැසිල් රාජපක්ෂගේ යැයි කියැවෙන දැන් හිමිකරුවකු නැති (!) මල්වාන ඉඩම පිළිබඳ පරීක්ෂණයේදී එම ඉඩම ගෘහ නිර්මාන ශිල්පියාගේ නමට විකුණූ තිරු කුමාර් නඩේසන් නම් ජාවාරම්කරුගෙන් ප්‍රශ්ණ නොකරන ලද්දේ කාගේ  බලපෑමක් නිසාද? රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වන මෙම පුද්ගලයා ජනවාරි විප්ලවයෙන් පසු අගමැති වික්‍රමසිංහගේ ආවතේවකරුවකු බවට වර්ණය වෙනස්කළ බව ප්‍රසිද්ධ රහසකි.

සයනයිඩ් දේශණයට නිහඬ විරෝධයක් දක්වමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය වූ  දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාගේ එම කතාවට දක්වන ලද ඍජු සහ නිවැරදි පියවරක් ලෙස සිවිල් සමාජ ප්‍රධානීන්ගේ වර්ණනාවට ලක්වූ නමුත්  සිරිසේනවාදී යම් යම් පිරිස් විසින් කියා සිටින්නේ එය රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ දූෂණ වසං කිරීමට ගත් පියවරක් බවය. නැත්නම් ඇය අසාර්ථක නිලධාරිනියක් බැවින් ඉවත්වීම හොඳ බවය.

මේ සම්බන්ධයෙන් අප අමතක නොකළ යුත්තේ සිය සිතැඟි අනුව කටයතු නොකරන්නේ  නම් සයිබීරියාවට යවන බවට පසුගිය කාලයෙහි අගමැති වික්‍රමසිංහ විසින් තර්ජනය කළ එවැනි නිලධාරීන් පිළිබද කතාන්තරවලින්ද අඩුවක් නැති බවයි.

අගමැති වික්‍රමසිංහගේ ලිච්චවී රාජ ධර්මය එනම් සාමයෙන් සාකච්ජා කොට, සාමයෙන් තීන්දුගෙන සාමයෙන් විසිර යාමේ දේශපාලනය පවතින්නේ නමට පමණක් බව ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට උත්සාහ කළ බොහෝ සිවිල් ක්‍රියාකාරීහු අත්දැකීමෙන්ම දනිති. ඔහුගේ පිළිවෙත වන්නේ උපාමාරු දේශපාලනයයි.

අනෙක් අතට ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන්ද අසන්නට ලැබෙන කතා එතරම් සුභදායක නැත. මෑතම සිදුවීම නම් සිය පුත්‍රයාගේ මදාවි හැසිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක  නොවන බවක් පෙනී යාමයි. ඔහු මෙවර නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ සමුළුවට සහභාගි වූයේ 70 දෙනෙකුගේ දැවැන්ත නියෝජිත පිරිසක් සමඟ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

තවද  ජනාධිපති සිරිසේන පසුගිය මාස ගණනාව පුරා ක්‍රමයෙන් මානව හිමිකම් දේශපාලන භාෂාව වෙනුවට ජාතිකවාදයේ සහ ගතානුගතිකත්වයේ භාෂාව කරා පසු බසිමින් සිටිනු දක්නට ලැබුණි. ඔහු වරක් රාජපක්ෂගේ මර්දන භාෂාවෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි කියා සිටියේය. තවත් වරක් පාසැල්හි දරුවන්ට කායික දඩුවම්දිම සාධාරණ කරමින් විශ්වමය මානව හිමිකම් අවඥාවට ලක් කළේය. මෙරට ගැහැණුන් වැඩි පුර බීමට ඇබ්බැහි වෙමින් සිටින්නේයැයි පදනම් විරහිත පටු ජනතාවාදී ප්‍රකාශයක් කළේය. එය මඩුවලිග කතාවේ තවත් දෝංකාරයකි.

මෙම කී නොකී කරුණූ විසින් අප හමුවේ තබන අභියෝගය වන්නේ හුදෙක් සිරිසේන – රනිල් ආණ්ඩුව ඉදිරි වසර තුන හතර ඇදගෙන යාම නොව යළි ජනවාරි විප්ලවයේ මාවත කරා එය රැගෙන ඒමයි. එහිලා තීරණාත්මක කාරියක් තවමත් විධායක බලතල සහිත සහ එම විප්ලවයේ සංකේතය වන ජනාධිපති සිරිසේනටද පැවරෙයි. එහිලා ඔහු විසින් ගත හැකි පියවර කිහිපයක් මෙසේය:

සයනයිඩ් දේශණයේ නිශේධාත්මක බලපෑම යටපත් කළ හැකි පරිදි සහ   සිවිල් සමාජ සංවිධාන විසින් යළි යළි අවධාරනය කර ඇති පරිදි  මහා පරිමාණ වංචා දූෂණ සහ මුල්‍ය අපරාධ විභාග කිරීම පිණිස විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට වහාම පියවර ගත යුතුය‍. දැනට පවරා ඇති එවැනි නඩු එකී විශේෂ අධිකරණයට යොමු කළ යුතුය.

රාජපක්ෂ සමයෙහි විවිධ ප්‍රහාරයන්ට ලක්වූ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනයන්ට වන්දි ගෙවීමට තමා විසින්  ඇති කරන ලද ක්‍රියාපාරිපාටිය ප්‍රසිද්ධියට පත් කර එම වන්දි ගෙවීම්  ඉක්මන් කළ යුතුය. එමෙන්ම රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් පිළිබඳ විශේෂ විමර්ශණ යාන්ත්‍රණයක් ඇති කළ යුතුය.

19වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවන්ට දේශපාලන අතපෙවීම් නතර කර  ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය.

නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සදහා වන ක්‍රියාදාමයට නායකත්වය දෙමින් ඒ පිළිබඳ පුළුල් මහජන කතිකාවතක් ඇති කරමින් දින වකවානු සහිත වැඩ සටහනක් කරා ගමන් කළ යුතුය.

ආණ්ඩුවේ සංක්‍රාන්ති යුක්ති වැඩසටහන ඉදිරියට යන අතරතුරම  යුද්ධයෙන් පිඩාවට පත් දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවිතය වැඩි දියුණු කිරීමට මූලිකත්වයක් දිය යුතුය. උතුරු නැගෙනහිර සිවිල් ක්‍රියාකාරිත්වයන්ගෙන් යුද හමුදාව ඉවත් කිරීමට පියවර ගත යුතුය. දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දී ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගත යුතුය.

පිරිහී යමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මූලිකත්වය ජනවාරි විප්ලවයට දෙවසරක් පිරෙන එළඹෙන ජනවාරි 08දාට පෙර යළි අල්ලා ගැනීමට නම් ජනාධිපති සිරිසේන විසින් ගත හැකි මූලික පියවර කිහිපයක් මෙසේ ලියා තබම්හ.

  සුනන්ද දේශප්‍රිය

-  මෙලනි




2016-10-23
Advertisement

Find us on Facebook