English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


”භාෂණයේ, අදහස් ප‍්‍රකාශ කිරීමේ හා රැස්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අපව පිල්ලි වලට නවත්වන්නට බැහැ”


අගෝස්තු 04වන දා, මරදාන සී එස් ආර් මධ්‍යස්ථානයට පැමිණි අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින් රැස්වී සිටි හමුවක් කඩාකප්පල් කරමින් බෞද්ධ භික්‍ෂුන්වහන්සේලා ප‍්‍රමුඛ මැර කල්ලිය විසින් සිදුකළ නීති විරෝධි  කි‍්‍රයාවට විරෝධය හා අප‍්‍රසාදය පළකරමින් ද ඔවුන් ගෙනා සාවද්‍ය ප‍්‍රකාශ හා අභුත චෝදනා වලට පිළිතුරු සැපයීම සඳහා, සිවිල් සමාජ සංවිධාන එකතුව විසින් අගෝස්තු 12 වෙනි දා එම මධ්‍යස්ථානයේදීම මාධ්‍ය හමුවක් පැවැත් වුහ.

එදින සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු විසින්ම මාධ්‍ය වෙත අදහස් දැක්වු අතර අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා  විසින් ඉදිරිපත් කළ මුලික පැහැදිළි කිරීම මෙසේ පහත පළකරමු.

උතුරේ දිස්ත‍්‍රික්ක 05ක් නියෝජනය වන පරිදි පවුල් වලින් 24දෙනෙක් අපි කොළඹට කැඳෙව්වා ඒ අයගේ ඉල්ලීම මත. විශේෂයෙන්ම ඒ අය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට  කර තිබෙන පැමිණිළි ගැන සොයා බලන්න. එදා, එනම් අගෝස්තු 04 වෙනි දා උදැසන 10 යට, ඒ පැමිණි පිරිසෙනුත් රතු කුරුස සංවිධාන ශාලාවේ ඉඩ කඩ මදීවීම නිසා 12 දෙනෙක් පමණක් ගරු සෙබමාලෙයි පියතුමා සමඟ, මමත් ඊට සහභාගි වුණා, සාකච්ඡාවක් පැවැත්වුණා. විශේෂයෙන් ම ඔවුන් කරන ලද පැමිණිළි ගැන තමයි ඒ දෙමාපියන් විමසා සිටියේ.  ඒ සාකච්ඡාව පැය එකහාමාරක් පැවැත්වුවා. සවස්වරුවේ මෙම ස්ථානයට ආරාධනා කළා විශේෂයෙන්ම අතුරුදහන්වුවන්ගේ කාරණය සම්බන්ධයෙන් පහුගිය කාලෙදි වැඩකරපු සංවිධාන වලට වගේම ඒ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතන, එනම් තානාපති කාර්යාලවලට අපි ආරාධනා කළා, එසේ ආරාධනා කළේ වෙන මොකකටවත් නෙවෙයි, ඒ දෙමාපියන්ගේ පහුගිය වසර 05ක අත්දැකීම් , ඊටත් එහා ගිය අත්දැකීම් තමන්ගේ දරුවෝ, තමන්ගේ ආදාරවන්ත ස්වාමිපුරුෂයා , තමන්ගේ පියවරු නැතිවෙලා ඒ පිළිබඳව අද සිදුවෙමින් පවතින දේ සහ ඔවුන් මුහුණ දෙන ගැහැට පිළිබඳවත් ඇහුම්කන් දීමකට තමයි අපි මෙතැනට ඒ අයව කැඳෙව්වෙ. ඒ අනුව ඒ සාකච්ඡාව ආරම්භ කළා. එවිට තමයි මේ මැර පිරිස - මම ඒ අයට කියන්නෙ නැහැ ගෞරවනීය ස්වාමින්වහන්සේලා කියලා, මොකද ඒ ස්වාමින්වහන්සේලාගේ හැසිරීම ස්වාමින්වහන්සේලාට සුදුසු නැති නිසා. ඒ අය මේ ස්ථානයට කඩාපැන්නා. මේකයි මුලික කතන්දරය, අපි ඒ දෙමාපියන්ගේ මුලික ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න තෝරාගත්ත පිරිසකට ඉඩ සළසා තිබෙන විට ඒක කඩාකප්පල් කරන්න තමයි ඒ පිරිස මෙතැනට බලහත්කාරයෙන් කඩාපැන්නේ.

පේ සහෝදරියක් එළියෙ සිටියේ ඇයට හිරිහැර කරලා තිබුණා ඇගේ අත අඹරවලා, පහර දෙන්න උත්සාහා කරලා තිබුණා. ඇය ඒ පිරිසට ඇතුළට එන්න ඉඩ නොදි සිටියදි ඇයව තල්ලූකරගෙන ඒ පිරිස ඇතුළට කඩා වැදුණා. කඩාවැදිලා කෑ ගහන්න ගත්තෙ.

සුවදා මේ ස්වාමින්වහන්සේලා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවා. මෙහිදි බොහෝම ධාර්මීකව බණ කියනවා වගේ තමයි තැන්පත්ව කරුණු ඉදිරිපත් කළේ. ඒ අය කිවු එක් කරුණක් තමයි, ඒ අයටත් තිබෙනවාය අතුරුදහන්වුවන් හා මියගිය අයගේ පවුල් එකතුව කියලා සංවිධානයක්, ඒකේ අම්මා කෙනෙකුට ලැබුණු ලිපියකට අනුව ඒ අයගෙන් විමසුවාය මේ සිඑස්ආර් මධ්‍යස්ථානයේ පවත්වන රැස්වීම ගැන , ඒ විමසීමට අනුව ඒක ගැන සොයා බලන්න මේ ස්ථානයට ආවාය කියා. බොරු කියන එකනම් පව්! මම කතෝලිකයෙක් නිසා මම දන්නේ නැහැ බෞද්ධාගමේ බණ ගැන, මොකද අපි කිසිම අම්මා කෙනෙකුට ආරාධනා කරලා ලියුං ඇරියෙ නැහැ. උතුරෙන් පැමිණි අයව මන්නාරමේ පුරවැසි එකතුව තමා සංවිධානයකර ගෙන ආවේ. ඒ අයටයි අපි ඇහුම්කන් දුන්නේ. ඒක තමයි පළමුවෙනි බොරුව. ඒවගේම කියා තිබුණා හිටපු සෙනගගෙන් භාගයක්ම ඇමරිකන් තානාපති කාර්යාලයේ අය කියලා. වාහන කිහිපයක් දාලා ගෙන්නුවාය ඒ අය තමයි සල්ලි වියදමි කළේ කියලා. නොදන්න දේවල් ගැන කථාකරනවාට  අපිට ඒවට උත්තර බඳින්න බැහැ. ඒ වගේම කිව්වා, ඒ අය පැමිණෙන විට මෙතැන ස්කයිප් මගින් ජීනිවා වලටයි යු එන් එකටයි අපි සාක්‍ෂ ප‍්‍රචාරය කරමින් සිටියා කියා. (ස්වාමින්වහන්සේ කියන්න මා කැමති නැහැ මොකද ඒ අය හැසිරුණේ මැරයෝ හැටියට, මම දන්නා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සහ බුදුහාමුදුරුවෝ කියන්නෙ අන්ගුලිමාලටත් සමාව දුන්න සෞම්‍යව කථාකරන අයයි. නමුත් එදා හිටපු කිසිම කෙනෙක් සෞම්‍යව කථා කළේ නැහැ.( ඒ චිවරධාරියා දන්නවාද දන්නේ නැහැ ස්කයිප් කියන්නේ කුමක් ද කියලා. මෙතැන එවැනි කිසිම උපකරණයක් තිබුණේ නැහැ. එතැන හිටපු සිවිල් සංවිධාන නියෝජිතයෝ දුටුවා මොකක්ද එතැන සිදුවෙමින් පැවතියේ කියලා. ඒ අම්මලා අඬ අඬා කිව්වේ එක කාරණයයි. අපේ දරුවෝ සොයා දෙන්න කියලයි. අවුරුදු 09 යේ සහ 03 දරුවෝ දෙන්නාව සොයා දෙන්න කියලා කිව්වා එක අම්මා කෙනෙක්. ඒ දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි ඒ සියල්ලම නැතිව යනවා. මේවා තමා කථාකරමින් සිටි කතාන්දර. නමුත් මේ සිවුරු පොරවාගත්ත අය කියනවා අපි ස්කයිප් කරමින් සිටියා කියලා. ඒක අන්තිම පට්ට පල් බොරුවක් කියලා පැහැදිළිව කියා සිටිනවා.   
    
තව කරුණක් තමයි, ඒ අය ඇවිත් අපෙන් බොහෝම සාමකාමීව විමසුවා කියනවා එයාලා නැතිව කෙසේද මෙවැනි සාකච්ඡාවක් කරන්නේ කියා තමා මේ චීවරධාරින් කීවේ. එතකොට මම කීවාලූ මහාවිරු පවුල්වලට විතරයි අපි ආරාධනා කරන්නේ ඒ නිසා අද වෙන කිසිකෙනෙකුගේ සාක්‍ෂි ගන්නේ නැහැ කිවාලූ. නමුත් අපිට සාක්‍ෂි ගන්න කිසි අයිතියකුත් නැහැ. උවමනාවකුත් නැහැ. මෙවැනි ඉතාමත් නින්දිත ආකාරයේ බොරු ප‍්‍රචාරයන් තමයි ඒ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ තිබුණේ.

පෙරටුගාමි එකේ පුබුදු ජාගොඩ මෙහි හිටියා කියා අවධාරණයකර කිව්වා, එහෙම කෙනෙක් හිටියේ නැහැ. පුබුදු ජාගොඩ මහතා මීට උත්තර දෙයි කියා මා හිතනවා. ගරු ෂත්‍යවේල් පියතුමාට ඉතාම නින්දිත ආකාරයෙන් කථා කළා, පියතුමා ඊට පිළිතුරු දෙයි. රුකි ප‍්‍රනාන්දු ගැන කීවා ඔහු එල් ටී ටී ඊ එක ප‍්‍රතිසංස්කරණය කරන්න යන සැකකරුවන්ට රැකවරණය දුන්නේ රුකී ප‍්‍රනාන්දු යි කිවා. මේවගේ නින්දිත කථා මිනිස්සුන්ට කියන එක පව්! රුකී එසේ ක‍්‍රියාකර නැහැ. ඔහුට චෝදනාවක් තිබෙන එක ඇත්ත. නමුත් චෝදනාවක් ඉදිරිපත්කළ පමණින් මිනිස්සු වැරදිකරුවෝ වෙන්නෙ නැහැ. නමුත් හාමුදුරුවරු තීරණය කරලා ඉවරයි රුකී සහය දුන්නාය කියලා.


මීළගට බිෂප් රායප්පු තමයි මෙහි ප‍්‍රධානම නළුවා වුණේ. ඒ අය කියන්නේ මමත්, සෙබමාලෙයි පියතුමත්, ෂතී පියතුමත්, නිමල්කත් අපි බිෂප් රායප්පුගේ ගෝලයෝ තමයි මේ කොළඹ නාඩගම නටන්නේ.  අපි පැහැදිළිව කියනවා, අද උතුරේ අතුරුදහන්වීම් පිළිබඳව දකුණේ කතෝලික සභාව ඒ විධියට පෙනී නොසිටින අවස්ථාවක, ඒ මිනිස්සු එක්ක කථා කරන්නේ බිෂප් රායප්පු නම් අපි බිෂප් එක්ක පෙනී සිටිනවා, අපිට ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. 89 දි මහින්ද රාජපක්‍ෂ මහත්මයා කථාකරද්දිත් අපි එයාගේ රැකවරණේ එයා වෙනුවෙන් පෙනී සිටියා. මහින්ද රාජපක්‍ෂ අද කථා කරන්නේ නැති නිසා, අද මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව යටතේ මේ අතුරුදහන්වීම් සිදුවන නිසා අපිට සිද්ධවෙලා තිබෙනවා ඒ වෙනුවෙන් පෙනී සිටින බිෂප් රායප්පුත් එක්ක මේ කටයුත්ත ගැන සොයා බලන්න.

අපි ලක්‍ෂ දෙකහාමාර ගානේ දීලා තමයි මේ පවුල් එදා ගෙන්නුවේ කියා කියලා තිබෙනවා. මම අවංකවම සතුටු වෙනවා සල්ලි තිබුණා නම් ලක්‍ෂ 2ක් නෙවෙයි ලක්‍ෂ 5ක් දෙනවා. අපි කරන උත්සාහය තමයි, ඒ මිනිස්සු මැරිච්ච , කන්න බොන්න නැති බැරි ඒවගේම අධ්‍යාපන කටයුතු කරගන්න බැරි දරුවන්ගේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි කියන එක, කිසිම හිරිකිතයක් නැතිව අපි කියනවා සල්ලි තිබුණානම් දෙනවා තමයි කියා. එහෙම තිබුණානම් ඒ අම්මලාට සහ දරුවන්ට කොළඹට එන්න කියලා ලොකු උත්සවයක් තියල තමයි ඒ සල්ලි දෙන්නේ. එහෙම කරන්න අපිට සල්ලි නැහැ. අපිට දුකයි එහෙම කරන්න බැරිඑක ගැන.

විදේශීය තානාපතිවරු ගෙනල්ලා කොහොමද එහෙම සාකච්ඡා පවත්වන්නේ කියලත් අහනවා! මම අහනවා, ආණ්ඩුවේ උත්සව වලට විදේශ තානාපතිවරු යන්නේ නැද්ද ? වෙනත් උත්සව වලට තානාපතිවරුන්ව කැඳවන්නේ නැද්ද ? එතකොට අපිට අයිතියක් නැද්ද ඔවුන්ව කැඳවලා අපේ කාරණා කියන්න ? අපිට අවශ්‍ය දේවල් පිළිබඳ ඔවුන් පමණක් නොවෙයි මේ රටේ සිටින ප‍්‍රබුද්ධ අයත් එක්කත්  කථාකරන්න  අපිට අයිතියක් තිබෙනවා. ඒ මැරපිරිසට තියෙනවා කියන අයිතියම අපිට නැහැ කියන එක ගැන නම් අපිට හිනා යනවා. සිවුරු පොරවා ගත් ඒ අය කියනවානම් සාමකාමිව ඇතුල්වෙලා අපෙන් විමසුවාය මේ සාකච්ඡාවට සහභාගි වෙන්න කියලා, ඒකට හිනාවෙන්නෙ කොහෙන්ද කියන එකයි මට තිබෙන ප‍්‍රශ්නය. මෙතන හිටපු සියලූම දෙනා නිරික්‍ෂණය කලා සිදුවුණු දේ. අපිට සිදුවුණා මඳක් වේගවත්ව උස් හඬින් ඒ අයට කරුණු පැහැදිළි කරන්න. මම අත්දෙක වැඳලා කිව්වා, හාමුදුරුවනේ කරුණාකරලා එළියට යන්න, මේක පුද්ගලීකව පවත්වන රැස්වීමක්, වෙන ප‍්‍රශ්න තිබෙනවානම් අපි පස්සේ කථා කරමු කියලා. ඒ අයට වඩා හය්යෙන් අපි කළේ එළියට යන්න කියලා ඉල්ලීමයි. ඒ ආකාරයෙන් රැස්වීම්වලට කඩාපනින්න බැහැ කියලයි අපි කිවේ.

අවසන් වශයෙන් මට කියන්න තිබෙන්නේ. ඔව්! අපි උතුරේ දෙමළ මිනිස්සුන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව පෙනී සිටිනවා. අපි ඉතිහාසේ ඉඳලා අරගෙන ඇවිත් තිබෙනවා. අපි 89 පෙනීසිටියා. වික‍්‍රමබාහු කරුණාරත්න, මංගල සමරවීර මහින්ද රාජපක්‍ෂත් එක්ක අපි එකට වැඩ කළා.අදත් අපි කරන්නේ ඒ දේමයි. අපි ආණ්ඩුවටත් මහින්ද රාජපක්‍ෂටත් එයාගේ එදා මෙතන්ට ආ සිවුරු පොරවා ගත්ත හෙංචයියලටත් අපි කියන්නේ , අපි එදත් පෙනී සිටියා අතුරුදහන්වීම් වලට එරෙහිව, අදත් පෙනී හිටියා. අපි සිංහලද දෙමළද මරක්කලද කියන එක නෙවෙයි ප‍්‍රශ්නය. මේ රටේ හුස්ම ගන්න, මේ රටේ බත් කන මොකෙක්හරි නැතිවෙනවානම් අපි ඒකට විරුද්ධව පෙනී සිටිනවා. 89 දි මහින්ද රාජපක්‍ෂට තිබුණා ඒ ධෛර්ය. ඒ නිසා අපි එයාට ගෞරව කළා. අද එයාට අපේ එවන් ගෞරවයක් නැහැ. මොකද, එයා යටතේ අතුරුදහන් වන නිසා. ඒ අතුරුදහන් එයා සාධාරණය කරන නිසා.  එයා කියා තිබෙනවා එන් ජී  ඕ ගැන අපි දන්නවා කියලා. ඔව්! සහෝදරයා අපි කියනවා ලංකාවේ එන් ජී  ඕ ගැන හොඳටම දන්නේ ඔයා තමා කියලා. ඒවාලින් යැපිච්ච ඒවත් එක්ක වැඩකරපු මිනිහා ඔයා තමා. හැබැයි ඉතිහාසය අමතක වෙච්ච එක ගැන තමයි අපිට දුක.

අවසාන් වශයෙන් මේ මැර පිරිසට පණිවුඩයක් දෙන්න. ඒ තමයි, මාතලේ තිබෙනවා සමූහ මිණි වළක්. ඒකේ ඉන්නවා බෙලිකපලා කරන්ට් වද්දලා විවිධ වද දීලා මරාදාපු සිංහල අය. මේ සිවිල් සංවිධාන වල අය පමණයි මාතලේ සමූහ මිනි වළලඟට ගිහිල්ලා කොළයක් බෙදලා, උසාවිය ඉස්සරහා පැය 04ක් හිටගෙන ඉඳලා, ඒ මිනිස්සුන්ට සාධාරණත්වය ඔිනෙ කියලා ඉල්ලා සිටියේ. සිංහල අය ගැන නේ කැක්කුම ඒ නිසා පුළුවන්නම් මේ සමූහ මිණීවළේ වැඬේ කරන්න. මෙහි ඊළඟ නඩු දිනේට ඇවිල්ලා ඒ මිනී මරපු අපරාධ කරපු උන්ව සොයා ගන්න උදව් කරන්න. හැබැයි ප‍්‍රශ්නයකට තියෙන්නේ අපි දන්නේ නැහැ කවුද මැරුවේ කියලා. එදා ආපු අය ඇත්තටම බෞද්ධ භික්‍ෂුන්වහන්සේලා නම්, ඇත්තටම සිංහල අය මරාදමන එක ගැන කණගාටු වෙනවානම් 154ක ගොඩක් තිබෙනවා තොරතුරු සොයන්න, උසාවිය ආරම්භ කරලා. අපි මාතලේ පමණක් නෙවෙයි මන්නාරමෙත් මිණී වළේ තොරතුරු සොයන්න  මැදහත් වෙනවා. තවත් ඔත්තුවක් දෙන්නම්. ලබන මාසේ දෙවනිදා අපි උද්ඝෝෂණයක් කරනවා අනුරාධපුරේ මධුෂ්ක කියන සිංහල තරුණයාගේ අතුරුදහන්වීමට විරුද්ධව, මීට පෙර දෙවතාවක්ම අපි පොලීසිය ලඟ බිම වාඩිවෙලා ඉන්නවා පරික්‍ෂණ පවත්වන්න කියලා, ඔන්න හාමුදුරුවනේ පුළුවන් භාරගන්න. ඔයාලා දකුණ කරන්න, අපි උතුර කරන්නම්. එහෙම කරලා අතුරුදහන්කිරීම් නවත්වන්න කියලයි ඉල්ලා සිටින්නේ.


සාමකාමිව ආ මේ මැරපිරිස එළියේදි කීවා , දේශද්‍රෝහීන්ට මේ රටේ ඉඩක් නැහැ. දේශද්‍රෝහීන් රැස්වෙන  ඕනෑම තැනක දි  ඕනැම වෙලාවක පොලීසියට ඇවිත් කුදල ගෙන යන්න පුළුවනි. උන්ව ගහලා ඉවරයක් කරන්න කිව්වා. හැබැයි එයා එකක් කිව්වා, එල්ලනවානම් විතරක් නිත්‍යාණුකුලව කරන්න. ගහනවානම් ගහල ඉවරයක් කරන්න කිව්වා. මිනිසුන්ගේ නිදහස, කථා කිරීමේ නිදහස, අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහස, වෙන අය එය පිළිගත්තත් නැතත් සාමකාමිව ප‍්‍රකාශ කිරිමේ අයිිතිය අපි පාවිච්චි කරනවා, ඒ වෙනුවෙන් අපි බරපතල විධියට පෙනී සිටිනවා කියා කියනවා.

මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අපි කියන්නේ ඔබ පටන් ගත්ත ඒ දේ අපි ඉදිරියටම ගෙනියනවා, ඔබ තුමා අතහැරලා දෙපිට කාට්ටුවෙක් වුනාට අපි සිවිල් සංවිධාන එහෙම කරන්නේ නැහැ කියන පණිවුඩය දෙමින්, මේ එන පිල්ලි වලට කියනවා අපි භය නැහැ කියලා. අපිට ගහගන්න බැරිකමක් නැහැ. නුමත් අපි මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෝ නිසා අපේ අත පය දිග් වෙන්නේනැහැ. හැබැයි සිවුරට වැහිලා අපේ තිබෙන ගෞරවය පාවිච්චි කරලා බෞද්ධාගමට නින්දා ගෙන දෙන්න එපා! තියෙන දෙයක් කථා කරන්න අපි සුදානම්. හැබැයි අපි පෙනී සිටින එක නවත්වන්නේ නැහැ, උතුරේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින එක අපි නවත්වන්නේ නැහැ කියන පණිවුඩය අපි පැහැදිළිව දෙනවා.
-MMP



2014-08-14
Advertisement

Find us on Facebook