English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගේ ඉල්ලා අස්වීම

"ජනාධිපතිතුමා කාටවත් ඇඟිල්ල දිගු නොකළ ද ඇයගේ ඉල්ලා අස්වීම තොප්පිය දමා ගැනීමයක් විය හැකියි" - අමාත්‍ය ඩිලාන් පෙරේරා

"සිය ගරුත්වය අභිමානය රැකගෙන ඉල්ලා අස්වීම ජනාධිපතිගේ සාහසික ප‍්‍රකාශයට හොඳ පිළිතුරක්." - සිවිල් සමාජ ක‍්‍රියාධර ගාමිණි වියන්ගොඩ

පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ සත්විරු සංහිඳ දෙසුමෙන් ප‍්‍රහාරයට ලක්වු ආයතන තුනෙන් එක් ආයතනයක ප‍්‍රධානියාවු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද ඊයේ (ඔක් 17) භාර දෙනු ලැබිණි. ඇගේ ඉල්ලා අස්වීමට හේතුව ප‍්‍රකාශ නොකරන අතර එය හුදෙක් පසුුගිය සතියේදි රටේ ප‍්‍රධාන පුරවැසියා විසින් එල්ල කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිඋත්තර සැපයීමක් ලෙසට අනුමාන කළ හැකිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගේ ඉල්ලා අස්වීමේ තීරණය, තොප්පිය දමාගැනීමක් ලෙසට ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරයෙකු ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අර්ථ දැක්වු අතර, එහෙත් එම ක‍්‍රියාව ජනපතිට ඉතා හොඳ පිළිතුරක් බවට සිවිල් සමාජ ක‍්‍රියාධරයෙකු අර්ථ දැක්වුයේය.
 
"ජනාධිපතිතුමාගේ කථාවෙන් කිසිවිටෙකත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂකවරියට චෝදනා එල්ල කළේ නැහැ. එතුමිය ඉල්ලා අස්වෙච්ච හේතු අහන්න  ඕනේ එතුමියගෙන්. ජනාධිපතිතුමාගේ කථාව ඊට හේතු වෙන්න බැහැ. මොකද ජනාධිපතිතුමා කාටවත් ඇඟිල්ල දිගු කළේ නැහැ. තොප්පිය හරිකට්ටිය තොප්පිය දාගෙන තිබෙනවා." යැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා මාධ්‍යට ප‍්‍රකාශ කළා.

රටේ යුද්දය කළ ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු තුන්දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව තමාගේ දැඩි අප‍්‍රසාදය පළකරන බව පසුගිය 12 වෙනිදා ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේදි පැවැති සත්විරු සංහිඳ ප‍්‍රසිද්ධ රැස්වීමේදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රකාශ කළේය.

එහිදි, මේ රටේ ස්වාධීන කොමිසන් සභා හදපු අරමුණක් හා ප‍්‍රතිපත්තියක් තිබෙන බවත් ඊට අදාළ විෂය ක්‍ෂේත‍්‍රය එහි සේවය කරන නිළධාරින් දැනගත යුතු බවත් ජනාධිපතිවරයා උච්ච ස්වරයෙන් ප‍්‍රකාශ කළා.

"අගමැතිතුමා සහ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ විශේෂ සාකච්ඡවක් තිබුණා ඊයේ හවස. මම මේ කාරණා බොහෝම පැහැදිළිව කිව්වා. සී අයිඞී එෆ් සී අයි ඩි අල්ලස් හා දූෂණ කොමිසන් සභාව දේශපාලන න්‍යාය පත‍්‍රවලට කටයුතු කරනවානම් ඒ සම්බන්ධයෙන් මටත් තින්දු තීරණ ගන්න සිද්ධවෙනවා කියා බොහොම පැහැදිළිව කිව්වා. "

මේ සම්බන්ධව බීබීසී සංදේශයේ පළවු හඬ සහිත වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම: ජනපති අප්‍රසාදය
2016 ඔක්තෝබර් 12

අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගේ ප‍්‍රතිචාරය ජනාධිපතිවරයාගේ සාහසික ප‍්‍රකාශයට ඉතා හොඳ පිළිතුරක් බවට යහපාලන ආණ්ඩුව බිහිකරලීමට උරදුන් සිවිල් සමාජ ක‍්‍රියාධරයෙකු වන ගාමිණි වියන්ගොඩ ප‍්‍රකාශ කරයි.
 
කොන්ද නොනමා වැඩකරන රාජ්‍ය නිළධාරින්ට නිදහසේ වැඩ කිරීමේ නිදහස සීමාකර ඇති බවක් ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශ මගින් පැහැදිළි වන බව ද ඔහු පෙන්වා දෙයි.

යහපාලන දෙවසර තුළ, ඉතිහාසයේ ඇති වුණු ඉතාම නරක කලූ පැල්ලමක් ලෙසට ද ගාමිණි වියන්ගොඩ විසින් මෙම සිදුවීම හදුන්වනු ලබන අතර, එහෙත් "මෙය, යහපාලන ආණ්ඩුව බිඳවැටෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. මෙවැනි සිද්ධින් තුළ යහපාලනය බිඳවැටීමට ඉඩ තැබිය යුතු වන්නේත් නැහැ. හේතුව තමයි, යහපාලනය බිඳවැටෙනවා කියන්නේ නැවත අපි අර පරණ අඳුරු යුගයට යනවයි කියන එකයි. ඒ අඳුරු යුගය අපිට කෙසේවත් අවශ්‍ය නැහැ. නමුත් අපි පාඩම් උගත යුතුව තිබෙනවා, අපි කරන වැරදි නිවරැදිකර ගත යුතුව තිබෙනවා. ඒ නිසා මෙය විශේෂ අවස්ථාවක් වේවි අප රට පාලනය කරන නායකයින්ට යම් යම් පාඩම් ඉගෙන ගන්නට." යැයි ඔහු ප‍්‍රකාශ කළේය.

ඡායාරූපය  -  අන්තර්ජාලයෙන්
උපුටාගැනීම් - බීබීසී සංදේ්ශය

-    මෙලනි




2016-10-18
Advertisement

Find us on Facebook