English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සදාචාර පරමාදර්ශ වඩවා ගැනීමට ව්‍යවස්ථාව පිටිවහලක් වන්නේ නැත!

හුදෙක් ප්‍රචාරක පරමාර්ථ වෙනුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ‘ඬේලි මිරර්’ පුවත්පතේ කැලුම් බණ්ඩාර සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙනි. ‘ප්‍රමුඛ ස්ථානය’ භුක්ති විඳින කෙනෙකු වශයෙන් ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති වරප්‍රසාද සහ බලය ඔහු පාවිච්චි කරයි. ඊට එරෙහි අපේ මත, වෙනස් මතවාද සහ ප්‍රතික්ෂේප කිරීම්වවලට මේ පුවත්පතේ ඉඩක් නැති විය හැක. කෙසේ වෙතත්, ඔහු මතු කළ ඇතැම් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මගේ අදහස් දැක්වීමට කැමැත්තෙමි.

ලෞකික රාජ්‍යය

රාජ්‍යයේ ලෞකිකත්වය තුළින්, “සියලු ආගම්වල සදාචාර සාරධර්ම වැළලී යා හැකි” යැයි ඔහු කියයි. මේ කියන සාරධර්ම දැනටමත් විනාශ වී තිබේ. ඒ, ලෞකික රාජ්‍යයක් තුළ නොව, ආගමට බර තැබෙන ව්‍යවස්ථාවක් යටතේ ගෙන ගිය පාලනයක් තුළ ය. එනම්, ලෞකික නොවන රාජ්‍යයක් තුළ ය. 1978 සිට අපට තිබෙන්නේ, “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය” ලබා දෙන ව්‍යවස්ථාවක් ය. ලෞකික නොවන රාජ්‍යයක බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය සලසන ව්‍යවස්ථාවක් යටතේ සදාචාර පරමාදර්ශ මුදුන්පත් වෙනවා වෙනුවට සහ වර්ධනය වෙනවා වෙනුවට පෙන්නුම් කරන්නේ, ඒවායේ පැහැදිළි ගරා වැටීමකි. එම නිසා ඔහුගේ තර්කයෙන් කෙරෙන්නේ, ඔහුගේම අදහස නිෂේධනය කිරීමකි.

ගත වූ 38 වසර තුළ, මෙසේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දී තිබියදී පවා, අබෞද්ධයන්ගේ කෙසේ වෙතත්, අඩු වශයෙන් බෞද්ධයන්ගේ සදාචාර පරමාදර්ශ නගා සිටුවීමටවත් ඊට හැකි වී නැත. ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ, මේ ප්‍රමුඛ ස්ථානය දීම නිසාම සදාචාරමය කඩා වැටීමක් සිදු වීමයි. මෙය, පොදුවේ මුළු මහත් සමාජයට පමණක් නොව, පැහැදිළිවම එක පංතියක් වශයෙන් ගත් විට, දේශපාලඥයන්ටත්, බුද්ධ ශාසනයේ බහුතරයක් සංඝයා වහන්සේලාටත් බලපා තිබේ.

එක පැත්තකින් ආගමික කරුණුවලට මුල් තැන දෙමින්, තාක්ෂණික, වෘත්තීය සහ කළමනාරකරණ අංශ කෙරෙහි අඩු සැළකිල්ලක් දැක්වීම නිසා රට පාලනය කෙරෙන මාදිලිය අවලස්සණ වී ඇති අතර, අනිත් පැත්තෙන්, ආගම සහ එහි භාරකරුවන් වන සංඝ රත්නය ඒ කෙරෙහි පැවති භක්තිය නැති කරගෙන දේශපාලනීකරණය වී ඇත්තේය.

සත්තකින්ම සැබෑ ධර්මය පසෙක ලා වීදි විරෝධතා සහ පෙළපාලිවල නියැලෙමින් සංඝයා වහන්සේලා දේශපාලන පක්ෂවල නායකයන් බවට පත්ව සිටිති. දේශපාලඥයෝද, පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වෙනවාට වඩා වැඩි කාලයක් පන්සල් ගානේ රස්තියාදු වීම සඳහා ගත කරති. ලෞකික ජීවිතයේ ආකර්ශනයන් අතහරින ශුද්ධවන්ත පිරිසක් වෙනවා වෙනුවට සංඝයා වහන්සේලා බලය පස්සේ පන්නන, සුඛෝපභෝගීත්වය අගයන පිරිසක් බවට පත්ව සිටින අතර, දේශපාලන නායකත්වය කෙරෙහි චානක්‍යලා සේ කටයුතු කරති. ගරු ස්වාමීන් වහන්සේ, කාදිනල් මැල්කම් රංජිත් පියතුමා කෙරෙහි අමුතු කරුණාවක් දක්වා තිබේ. හේතුව, බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම කාදිනල්වරයා අනුමත කරන බැවිනි. යක්ෂයාද තමන්ට ගැලපෙන තන්හිදී දේව වාක්‍යය උපුටා දක්වයි. වෙනත් අවස්ථාවලදී ඇතැම් භික්ෂූන් කරන්නේ, කිතුණුවන් කෙරෙහි ප්‍රේමය දැක්වීමට වඩා ඔවුන් කෙරෙහි වෛරය වැපිරවීම සහ ආගමට හරවා ගැනීම් සම්බන්ධයෙන්, ඉවැන්ජලික සහ කිතුණු පල්ලිවලට පහර දීමයි.

අද බහුලව දක්නට ලැබෙන මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගෙන යාම් සහ මාධ්‍යවේදීන් වැනි රජයට පසමිතුරු අදහස් දරන්නන් ඝාතනය කිරීම්, මහජන මුදල් සොරකම් කිරීම්, අල්ලස් සහ දූෂණ, මත්ද්‍රව්‍ය මාෆියාවල සාමාජිකයන් වීම් වැනි දේවල් සංඛ්‍යාත්මකව බැලූ විට වැඩි වී තිබෙනවා මිස මිනිසුන්ගේ සදාචාර සාරධර්ම, උන්වහන්සේ කියන ලෞකික නොවන රාජ්‍යය තුළ, වර්ධනය වී නැත. කොටින්ම, එවැනි සාරධර්ම වර්ධනයක් ව්‍යවස්ථාවක් තුළ ආගමික වගන්තියක් ඇතුළු කිරීමෙන් ඇති කරගත නොහැකි වන අතර, එවැන්නක් නොතිබීමෙන් එවැනි සාරධර්ම පිරිහීමක් සිදු වන්නේද නැත.

සදාචාර සාරධර්ම ඇති කෙරෙන්නේ, සාරධර්මීය මට්ටමෙන් පුද්ගලයා තුළ ඇති වන පරිවර්තනයක් මාර්ගයෙනි. එය ආගමට කළ නොහැකි නම් ආගම අසාර්ථක ආගමක් වන්නේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත. එසේ තිබියදී, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුළට බුද්ධාගම පිළිබද වගන්තියක් ඇතුළු කිරීමෙන් කරන්නේ, බෞද්ධ සංඝ රත්නයේ ස්වෝත්තමවාදී මාන්නය තෘප්තිමත් කිරීමක් පමණි.

ලෝකයේ ලෞකික රාජ්‍යයන් නැතැයි ගරු හිමියෝ කියති. ඊට හේතුව, යම් තරමක සමජාතීය සමාජ සහිත රටවල් තමන් ලෞකික රාජ්‍යයක් බව විශේෂයෙන් ප්‍රකාශ කරනු නොලැබීමයි. අනිත් අතට, මැද පෙරදිග දක්නට ලැබෙන ආගමික රාජ්‍යයන් එය කොහෙත්ම පවසන්නේ නැත. ජාතිය, ආගම සහ භාෂාව සම්බන්ධයෙන් වෙනස්කම් බහුලව පවතින රටවල් පමණක් එය විශේෂයෙන් ප්‍රකාශ කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත හැක. එසේ වීමෙන් ඉන්දියාවේ සදාචාර පරමාදර්ශ, සංස්කෘතිය සහ ආගම එරටේ ඛාදනය වී තිබේද?

එරටේ ප්‍රාන්ත රාජ්‍යයන් අතර මොන තරම් වෙනස්කම් තිබුණත් සෑම පුද්ගලයෙකුම සිතන්නේ සහ ක්‍රියා කරන්නේ, මුලින්ම ඉන්දියානුවෙකු වශයෙනි. ඊට හේතුව, විවිධ ප්‍රාන්තයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගනු ලැබ, දේශපාලනික සහ පරිපාලනමය බලය ඒවා හරහා විසුරුවා හැර තිබීමයි. ගරු ස්වාමීන් වහන්සේ කියන පරිදි, ලෞකික රාජ්‍යක් තුළ ආගමක් නැත. එය පිස්සු කතාවකි. ඔහු සිතන්නේ ඉන්දියාවේ ආගමක් නැතැයි කියාද? ඇත්තෙන්ම ඉන්දියාවේදී ආගම, ලංකාවේ ලබනවාට වඩා ප්‍රධාන තැනක් ලබයි. මන්ද යත්, ඉන්දියාවේ හින්දු ආගම, ලංකාවේ බුද්ධාගම මෙන්, සංවිධානගත සහ ආයතනගත ආගමක් නොවීමයි.

“ජාතික අයිතීන් පිළිබඳ සංවිධානය”

උන්වහන්සේ මානව හිමිකම් සංවිධානයට එරෙහිව ‘ජාතික අයිතීන් පිළිබඳ සංවිධානයක්’ පිහිටුවා ඇත. මෙය අද්විතීය සංකල්පයක් යැයි ඔහු කියයි. එය මානව හිමිකම්වලට අනුපූරකයකි. නැත්නම්, මානව හිමිකම්වලට උඩින් පවතින හෝ මානව හිමිකම් ප්‍රතික්ෂේප කරන සංකල්පයකි. ජාතියේ අයිතීන්ට සුජාත භාවය ලැබෙන්නේ ව්‍යවස්ථාව තුළිනි. එය භෞමික ඒකාබද්ධතාව සහ ජනතා ස්වෛරීත්වය හරහා ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. ජාතික අයිතීන් යනු, ඔහුට අනුව, ‘එම රටේ භූමිය, ජනතාව, ගුවන් අවකාශය, භෞමික මුහුදු සීමාව, සංස්කෘතිය සහ ඉතිහාසය’ වන්නේය. මේ සියලු කරුණු ජාතියේ ස්වෛරීත්වය තුළ අන්තරගත වෙයි. එබැවින් වෙනම ‘ජාතික අයිතීන් පිළිබඳ සංවිධානයක්’ අනවශ්‍ය අතිරික්තයකි.

අනිත් අතට, ස්වෛරීත්වය පවා පරම නැත. එය සීමාසහිත වන අතර විවිධ අංශවලින් එය නිදහස සීමා කෙරෙනු ලැබේ. උදාහරණයක් වශයෙන් ඊට, ජාත්‍යන්තර නීති, ප්‍රඥප්තීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය වැනි දේවල් අභිබවා යා නොහැක. මන්ද යත්, එක්සත් ජාතීන්ගේ සෑම සාමාජිකයෙකුම එකී අංශවලින් බැඳී පවතින බැවිනි. ලෝක ක්‍රමය පවත්වා ගැනීම වෙනුවෙන් සෑම රටක්ම එක්තරා තරමකට තමන්ගේ ස්වෛරීත්වය අත්හල යුතුය.

එසේ නොවුණහොත්, ලෝකය පිස්සන් කොටුවක් වෙනු ඇත. තම සංවිධානය මගින් ඒ හිමියන් ඉල්ලා සිටින්නේ, තමන්ට රිසි පරිදි කටයුතු කිරීමටයි. එනම්, මානව හිමිකම් පැත්තකට දමමින්, යුද අපරාධ නොතකා හරිමින්, ජාත්‍යන්තර මානවවාදී නීති නොතකා හරිමින්, සමුහ ඝාතන, වධහිංසා, අධිකරණමය නොවන ඝාතන, බලහත්කාර පැහැරගෙන යාම් සහ සුදු වෑන් සංස්කෘතිය සඳහා අයිතිය ඉල්ලා සිටීමකි. ඒ සියල්ල, පසුගිය රජයේ විශේෂ ලක්ෂණ වශයෙන් පැවති දේවල් බව කවුරුත් දනිති.

සෑම ආගමකම සාරය සහ හෘදය වශයෙන් පවතින්නේ, ‘මිනිස් ජීවියා’ බව උන්වහන්සේ නොදන්නා සෙයකි. සෑම ආගමකම එකම ඉලක්කය වන්නේ, මිනිස් පරිපූර්ණත්වය සහ විමුක්තියයි. අප්‍රාණික ජාතික අයිතීන් සමුදායකට එම මිනිස්කම යටත් කිරීම, ආගම කෙලසීමකි.

බුද්ධාගම සියල්ලන්ට

ගරු හිමියන්ගේ සාඩම්බර ප්‍රකාශයක් වන්නේ, බුද්ධාගම බෞද්ධයන්ට පමණක් නොව, සියල්ලන්ට අයත් බවයි. එය විශ්ව දහමකට ඔහු සම කරයි. යමෙකුට සිය දහම සියල්ලන් සඳහා ප්‍රචාරය කළ හැක. එහෙත් එහි අනුගාමිකයන් වන්නේ, එම ධර්මතා පිළිගන්නා සහ ඒ අනුව හැසිරෙන අයවළුන් මිස වෙනත් කිසිවෙකු නොවේ.

කිතුණුවන්, ඉස්ලාම් භක්තිකයන් සහ හින්දු භක්තිකයන් බුද්ධාගම තමන්ට අයත් බවක් කියන්නේ නැත. එසේ කිවහොත්, එය ඔවුන්ගේ දහම ප්‍රතික්ෂේප කිරීමක් වන්නේය. ක්‍රිස්තියානිය, බුදුදහම සහ ඉස්ලාම් වැනි කිසි ආගමකට, තමන්ගේ ආගම විශ්ව ආගමකැයි කිව නොහැක. මේ විශ්ව භාවය ඉල්ලා සිටිය හැකි එකම ආගමක් වෙතොත් ඒ හින්දු ආගම පමණි. මන්ද යත්, එම ආගම ප්‍රතිපත්ති සහ සදාතන සත්‍යයන් මිස කිසි පුද්ගලයෙකු මත පදනම්ව නැති බැවිනි. සනාතන දහම යනුවෙන් එය හැඳින්වෙන්නේ එබැවිනි. සියල්ලන්ට අයත් විය හැක්කේ එවැනි ආගමක් පමණි. හේතුව, කිසි තනි පුද්ගල අධිකාරයක් මත එය පදනම් නොවීමයි.

පී. සෝමපාලන්

(2016 ඔක්තෝබර් 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ constitution Does Not Help Cultivate Moral Values නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

-  මෙලනි



2016-10-17
Advertisement

Find us on Facebook