English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම (අවසාන කොටස)
ඡායාරූපය  - මෙලනි මානෙල් පෙරේරා

ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක‍්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග‍්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති නාට්‍යයේදී, පර්සියානුවන් ගැනත්, ඔවුන් විඳි දුක් වේදනා ගැනත් ඔහු දරන්නේ සානුකම්පික ආකල්පයකි. තවත් ග‍්‍රීක ජාතිකයෙකු වන යුරිපිඞීස්, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය ලියුවේ, මුළුමණින්ම ට්‍රෝජාන් වැසියන්ගේ දෘෂ්ටි කෝණයෙනි. එහිදී, ජීවිතයක් තුළ දැකිය හැකි කුරිරුතම අත්දැකීම් තමාට දැක ගැනීමට සිදු විණැයි හෙකූබා සිතන්නීය. ඇගේ රාජකීය සැමියා සහ පුතා හෙක්ටර් මියගොසිනි. ඇගේ නගරය ගිනි ගෙන දැවෙයි. ඇය ඇතුළු අනිත් කාන්තාවන් ජීවිතාන්තයට කැප වු වහලූන් සේ රැුගෙන යාමට සූදානම් කොට තිබේ. එසේ තිබියදී, ජයග‍්‍රාහී ග‍්‍රීකයෝ ඇගේ එකම මුණුපුරාවත් ඝාතනය කරති. (අවසාන වරට විස්කෝතු වගයක් කමින් අත්අඩංගුවේ සිටි, දෙමළ කොටි නායකයාගේ බාලම පුතාගේ ඉරණමත් ඊට සමාන විය: අති ඝෝර දර්ශනයක්). මහළු ගැහැනියට හැකි වුණේ, සිය පුංචි මුණුපුරාගේ අවමගුල් කටයුතු උඩින්පල්ලෙන් කර දැමීමට පමණි. සමස්ත නාට්‍යයම, එකම විලාපයකි. එය, නැරඹීම තියා කියවීම පවා අතිශය සන්තාපය දනවන කෘතියකි. ඒ වනාහී, සතුරු ට්‍රෝජානුවන් ගැන ග‍්‍රීකයෙකු විසින් ලියන ලද්දකි. ෂේක්ස්පියර් ලියූ ‘‘ජුලියස් සීසර්’’ නාට්‍යයේදී, ලූසිලියස්ගේ එඩිතර භාවය සහ පක්ෂපාතීත්වය තේරුම් ගත් ඇන්ටනි, සිරකරුවාට දයාවෙන් සළකන්නැයි නියෝග කොට, එවැනි මිනිසෙකු තමාගේ මිතුරෙකු නොවී සතුරෙකු වීම ගැන තමාට ඇත්තේ කණගාටුවක් බව කියයි. ‘‘මියැදෙන ගෝල්’’ යනු, ඇනටෝලියාවේ විසූ සෙල්ටික ගැලසියානුවන් පරදා පර්ගමොන්හි අට්ටාලූස් විසින් ගොඩනැංවූ සුප‍්‍රකට ප‍්‍රතිමාවකි. මියැදෙන ගෝලික රණකාමියෙකු ඒ ප‍්‍රතිමාවෙන් මූර්තිමත් කෙරෙන අතර, ඔහුගේ පලිහ සහ කඩුව ඔහු පසෙකින් තිබේ. එහෙත් මේ මරණාසන්න රණකාමියා ස්වකීය ඉරණමට යටත් නොවී, මරණයට එරෙහි අරගලයක නිරතව සිටින සෙයක් ප‍්‍රතිමාවෙන් නිරූපණය කෙරේ. අවසාන වශයෙන්, ඒ හරහා එක අතකින් යුද ජයග‍්‍රහණයක් සැමරෙන අතර අනිත් අතින් සතුරාගේ එඩිතර භාවයත් පිළිඹිබු කෙරේ. ලෝකයේ නොයෙක් තැන්වල මෙවැනි උදාහරණ සොයා ගත හැක. ඒවායේදී, සතුරා කෙරෙහි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් ගෞරවයක් තිළිණ කෙරේ. එවැනි තැකීමක් තුළින් පෙන්නුම් කරන්නේ, එක්තරා චෛතසික ස්වාධීනත්වයක් සහ ආත්මීය ශ්‍රේෂ්ඨත්වයකි. එහෙත් අසිරිමත් ශ‍්‍රී ලංකාවේ දෙපර්ශ්වයෙන්ම එවැනි හැසිරීමක් පෙන්නුම් කොට නැත.

‘‘පාරාදීස දූවට’ හැරෙන විට, දැන් අතුගා දමා ඇති කොටි සංවිධානය චිත‍්‍රණය කෙරෙන්නේ, දරුණුතම බලවේගයක් වශයෙනි. ඒ ඇයි? මෙහිදී මම මගේ ‘‘ශ‍්‍රී ලංකාව පිළිබඳ ප‍්‍රසිද්ධ ලේඛන’’ දෙවැනි වෙළුමේ 85 වැනි පිටුවෙන් කොටසක් උපුටා දක්වමි: ‘‘ඔවුන්ගේ ශක්තිමත්ම අවස්ථාවේ කොටි සංවිධානයට සටන් සාමාජිකයන් 30,000 ක් සිටියේ යැයි කියති. අවසානයේදි එය දහස් ගණනකටත්, ඊටත් පසුව සිය ගණනකටත් අඩු විය. ඔවුන්ට මුහුණදීමට සිදු වුණේ, 250,000 ක හමුදාවකටයි. කොටින්ට ජෙට් යානා සහ හෙලිකොප්ටර් තිබුණේ නැත. ඔවුන්ට තිබූ පෙති දෙකේ අහස් යානා ඉතා ප‍්‍රාථමික විය. ඒවායේ සැබෑ හමුදාමය වටිනාකමක් තිබුණේ නැත. එක පැත්තකින් විදේශ රාජ්‍යයන් මගින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ, තවත් අතකින් භූගෝලීය සහ හමුදාමය වශයෙන් වට කරනු ලැබූ කොටි සංවිධානය කොටු වී සිටියේය. ඊට ප‍්‍රතිපක්ෂව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විවිධ රටවල්වලින් ආධාර සහ උපදෙස් ලබා ගත් අතර, සමහර රටවල් ඔවුනොවුන් අතරේ මොන මතභේද තිබුණත්, ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරගයට ආධාර කෙළේය. තලිබාන් සටන්කරුවන් යුද්ධ කරන්නේ, ගමනාගමනය දුෂ්කර කඳු දුර්ගවලයි. කොටින් සටන් කෙළේ, කැලෑවෙන් වට වී මුත්, තැනිතලා පෙදෙසකයි. ශ‍්‍රී ලංකාව දූපතක් වීම නිසා, එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය වෙලාවකදී පැන යා හැකි සහ සේනා තර කර ගත හැකි ගොඩබිම් දේශ සීමාවක් තවත් රටක් සමග තිබුණේ නැත. එසේ වන කල, පුදුමය වන්නේ, අවසානයේදි ශ‍්‍රී ලංකා ආණ්ඩුව ජය ගැනීම නොව, ඒ සා කලක් ජයග‍්‍රහණය සඳහා ගත වුණේ මන්ද යන්නයි.’’

ඉහත ‘‘ඇයි?’ යන්නට පිළිතුර විය හැක්කේ, සතුරාව පුම්බන තරමට, ජයග‍්‍රහණය සහ සාර්ථකත්වයත් පිම්බෙන බවයි. තර්ජනයක් වූ (මියගිය) සතුරා පුම්බන තරමට, කෙනෙකු ළඟා කර ගන්නා කීර්තිය සහ යසස ද පිම්බෙන්නේය.

හිටපු හමුදා ජෙනරාල්වරයෙකු විසින් ලියන ලද, ‘නන්දිකාදල් දක්වා වැටුණු මාර්ගය’ නැමැති, (මා කියවා නැති) යුද්ධයට අදාළ පොතක් ගැන මේ දිනවල බෙහෙවින් සාකච්ඡා කෙරේ. වෙනත් රටවල පුද්ගලයන් ඔවුන් සහභාගී වූ යුද්ධ ගැන, සෑහෙන තරමක අපක්ෂපාතීත්වයෙන් සහ විෂයබද්ධතාවයෙන් යුක්ත ලේඛන සම්පාදනය කොට තිබේ. එහෙත් ලංකාවේදී යුද්ධයක් දක්වා දිග් ගැස්සුණු අනුක‍්‍රමික ඓතිහාසික ක‍්‍රියාවලිය පිළිබඳ සැලකිලිමත් වෙමින්, සමබර අවබෝධයක් ලබා දෙන අගැයීමක් කිරීම, විශේෂයෙන් ‘යුද අපරාධ’ සහ ‘මානව හිමිකම් අපහරණයන්’ පිළිබඳ අශෝභන සහ ලජ්ජා සහගත සෙවනැලි මධ්‍යයේ, පහසු කටයුත්තක් නොවන බවක් පෙනෙන්ට තිබේ. මේ සම්බන්ධයෙන් මට නිර්දේශ කළ හැක්කේ, පිටස්තර පුද්ගලයෙකු වූ පෝල් මූර්ක‍්‍රාෆ්ට් ලියූ, ‘‘දෙමළ කොටින් මුළුමණින් විනාශ වීම: ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන යුද්ධයෙන් ලද විරල ජයග‍්‍රහණය’’ නැමැති කෘතියයි. (මේ පොත ගැන ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට 2013 ජුනි 9 වැනි දා මා කළ විචාරයක්, මගේ ‘‘ශ‍්‍රී ලංකාව: නෂ්ට වූ පාරාදීසය?’’ නැමැති කෘතියේ අන්තර්ගත වෙයි). කොටින්, තමන්ගේම විනාශයේ නිර්මාපකයන් වූ බව මූර්ක‍්‍රාෆ්ට් කියයි. ඉන්දියානු බුද්ධි සේවයේ විශ‍්‍රාම ලත් ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මට එවූ පෞද්ගලික සටහනක මෙසේ ලියා තිබේ: ‘‘කොටින් විසින් රජිව් ගාන්ධිව ඝාතනය කළ මොහොතේම, තමන්ගේ ජාතික ස්වාධීනත්වය පිළිබඳ සෑම අපේක්ෂාවක්මත් ඔවුන් විසින් නසා ගන්නා ලදි.’’

මේ විෂය සම්බන්ධ විශේෂඥයෙකු නොවන මට පෙනෙන පරිදි, දේශපාලනික සහ හමුදාමය බලය එක පුද්ගලයෙකු අතේ ගොනු වීම යෝග්‍ය නැත. නැපෝලියන් සහ හිට්ලර් ඊට උදාහරණයි. මීට ප‍්‍රතිපක්ෂව, සදාම් හුසේන් (ඒකාධිපතියා) කුවේට් රට ආක‍්‍රමණය කොට කඳවුරු බැඳ ගත් අවස්ථාවේ, ජනාධිපති (ජ්‍යෙෂ්ඨ) බුෂ් හැරුණේ ඒකාබද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරාල් කොලින් පවල් වෙතටයි. බිම් මට්ටමේ හමුදා ක‍්‍රියාන්විතය භාර කෙරුණේ, පවතින තත්වය මනාව හදාරා තමාට අවශ්‍ය මිනිස් සම්පත් සහ වෙනත් අංගෝපාංග පිළිබඳ ඇස්තමේන්තුවක් දේශපාලනික නායකත්වය වෙත සැපයූ, ජෙනරාල් නෝර්මන් ෂ්වාස්කෝෆ්ටයි. වෙනත් තැනක මා ලියා ඇති පරිදි, (මහැදුරු සුන් යැයිද හැඳින්වෙන) සුන් සූ විසින් ලියන ලද ‘‘යුද කලාව’’ නැමැති කෘතිය ප‍්‍රභාකරන් කියවා තිබුණේ නම් එයින් ඔහු කිසිවක් ඉගෙනගෙන නැති බව කිව යුතුය. සැබෑ නායකයෙකු කිසි දවසක කෝපයෙන්, පළිගැනීමේ චේතනාවෙන් හෝ එදිරිවාදීකම් පිරිමසා ගැනීම වෙනුවෙන් කටයුතු නොකරන බව මහැදුරු සුන් ලියා තිබේ. ආධානග‍්‍රාහීත්වයට වැඩි ආයුෂ නැත. දරා සිටීමේ හැකියාව, වෙනස් වීම සහ වෙනස් තත්වයන්ට අනුගත වීම සඳහා අවශ්‍ය කෙරේ. (සභාපති මා ඕගේ ප‍්‍රකට උපාය නිර්දේශයක් වූ ‘‘සතුරා ඉදිරියට එන විට අපි පසුබසිමු. සතුරා කඳවුරුලන විට අපි ඔහුට වද දෙමු. සතුරා විඩාවට පත් විට අපි පහර දෙමු. සතුරා පසුබසින විට අපි ඔහු හඹා යමු’’ යන්න, මහැදුරු සුන්ගෙන් උගත් පාඩමකි).

සිංහල සහ දෙමළ යන ප‍්‍රජාවන් දෙකේම අන්තවාදීන් ඉදිරියේ මා විවේචනයට ලක්විය හැක. එහෙත් තමන්ගේ අතීතය දෙස අවංකව හැරී බැලීමට ධෛර්යයක් සහ අව්‍යාජත්වයක් දෙමළ ජනතාවට නැත්නම් සෙස්සන්ව විවේචනය කිරීමේ සදාචාරමය අයිතියකට ඔවුන්ට හිමිකම් කිව හැකිද? ඉහතින් මා සටහන් කොට ඇති පරිදි, ඉතිහාසය යනු, ජයග‍්‍රාහකයා විසින් ගොඩනගා, සංරක්ෂණය කොට, අනලස්ව වපුරා හරින ලද්දකි. පුද්ගලික අත්දැකීම් සහ පැතිරුණු දැනුමක් සහිත කෙනෙකු විසින් දෙමළ කොටින්ගේ දෘෂ්ටි කෝණයෙන් එම ඉතිහාසය දවසක ලියැවෙතැයි මම උදක්ම අපේක්ෂා කරමි. එවිට මේ විසම කෑලි එකට එකතු කොට, තමන්ගේම වන සාම්‍යයක් සාදා ගැනීමට මතු පරම්පරාවට හැකි වනු ඇත. දෙමළ ජනතාව සම්බන්ධයෙන් වන අති මහත් වැදගත් කම අවතක්සේරු කළ නොහැකි තරමේ එකී සිදුවීම් ගැන තමන්ගේම වන අවබෝධයක් ඇති කර ගැනීමට එවිට ඔවුන්ට හැකි වනු ඇත.

මහාචාර්ය චාල්ස් සර්වාන්

(2016 ඔක්තෝබර් 01 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ War & History: Sharing Some Thoughts නැමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)
 (අවසාන කොටස)

-  මෙලනි




2016-10-12
Advertisement

Find us on Facebook