English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සමාජ වගකීම් - මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ශක්තිමත් සංවාදයක් අවශ්‍යයි - නි.මා. ව්‍යාපාරය
මාධ්‍ය ආචාර ධර්ම පිරිහී ගොස් ජනමාධ්‍යකින් ඉටුවිය යුතු සමාජ වගකීම් එසේ ඉටු නොවිම පිලිබඳව නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ශක්තිමත් සංවාදයක් අවශ්‍ය යැයි ප‍්‍රකාශ කරයි.  



ඔක්තෝබර් 8 දින, මාතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී තරුණයකු දුම්රියට ගෙල තබා සිය දිවි නසා ගත් ආකාරය විස්තරාත්මකව හා දර්ශන සහිතව වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් සිය සැලකිල්ල යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය නිදහස මෙන්ම, වාර්තාකරණයේ දී ආචාරධාර්මික මූලධර්ම ආරක්‍ෂා කිරීම සමාජ වගකීමක් බව සියලූ මාධ්‍ය ප‍්‍රජාව වෙත අවධාරණය කර සිටන බව සඳහන් කරයි.

සීතා රංජනි සහ සී. දොඩාවත්ත යන අය විසින්, පිළිවෙලින් කැඳවුම්කරු සහ සභාපති ලෙසට අත්සන් තබා ඇති එම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් කරයි.
 
"සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේ දී, ඒ සඳහා යොදා ගත් උපක‍්‍රමය පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් නොකළ යුතු බව ලෝකය පිළිගත් මාධ්‍ය ආචාරධර්ම අතර ද පැහැදිලිව දක්වා ඇති අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ මාධ්‍ය සංවිධාන සියල්ලේ එකඟත්වයෙන් යුතුව, ශී‍්‍ර ලංකාවේ කර්තෘ සංසදය විසින් පුවත්පත් සඳහා හඳුන්වා දී ඇති මාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයේ ද එය පැහැදිලිව විස්තර වේ. ලෝකයේ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කතිකාව ඉදිරියට යමින් තිබිය දී ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ආචාරධාර්මික මූලධර්ම පිළිබඳ අංසවේදිත්වයෙන් යුතුව වාර්තා කිරීම්වලට අදාල කතිකාව වරින්වර මතු වෙමින් යට යමින් පවතිනවා හැර මාධ්‍ය ප‍්‍රජාව අතර ඒ සම්බන්ධයෙන් බැඳීමක් ඇති වන ශක්තිමත් කතිකාවක් ගොඩ නැඟී නැත. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය නියාමනය පදනම් කරගත් ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව ගැන ක්‍ෂේත‍්‍රය සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. මාධ්‍ය නිදහස හා නිදහසේ කටයුතු කිරීමට ඇති හිමිකම ගැන  නිරන්තර අවධානයෙන් කටයුතු කරන නමුත්, සමාජ වගකීම් සහිත වාර්තාකරණය ගැන වගකීම්  සහගතව සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාව මෙම සිය දිවි නසා ගැනීමේ පුවත වාර්තා කිරීම ඔස්සේ ද නැවත මාධ්‍ය ප‍්‍රජාව වෙත මතක් කර දෙයි."

ඇතැම් රූපවාහිනී ආයතන මෙම පුවත වාර්තා කරන ලද්දේ තරුණයා සිය දිවි නසා ගන්නට යොදා ගත් උපක‍්‍රමය නැවත නැවත ප‍්‍රතිරූපණය කරමින් යැයි පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශී‍්‍ර ලාංකික ප‍්‍රජාවට, අදාල පුද්ගලයාගේ ඥාතීන්ට මහත් කම්පනයක් ඇති කරන ලද මෙම දර්ශන තවත් අතකින් සිය දිවි නසා ගන්නට පෙළඹෙන පුද්ගලයකුට එය ඉතා සරල කටයුත්තක් බවට ලඝු කොට පෙන්වා දෙන බවක් ප‍්‍රකාශ කරයිි.

එහෙත්, මාධ්‍යයේ සමාජ වගකීම විය යුත්තේ එම ආකාර දෙකෙන්ම මහජනතාව වළක්වා ගැනීම අරමුණු කරගෙන පුවත වාර්තා කිරීම බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සමාජ වගකීම් සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක් මේ රටේ ඇති කර ගැනීමේ මූලික පියවර ලෙස, ආචාරධාර්මික මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ශක්තිමත් සංවාදයකට මුල පුරන ලෙස සියලූ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත‍්‍රවලින් මෙන්ම සමාජ මාධ්‍ය ප‍්‍රජාවගෙන් ද ඉල්ලා සිටී.


-  මෙලනි




2016-10-11
Advertisement

Find us on Facebook