English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"සංහිඳියාව" මේකද?
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් දිගින් දිගටම සිය වගකීම ඉටුකිරිම පිළබඳව නිරන්තර උත්සාහයක යෙදි  සිටියි. පසුගිය සෙනසුරාදා  (ඔක්තෝබර් 08දා) එම ව්‍යාපාරය, "මීගමුවේ අපි" - සිවිල් සංවිධාන එකතුව සමගින් එක්ව  මිගමුව ප‍්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට දී මහජනතාව දැනුවත් කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් රජයට බලකරනු වස් මහජන අත්සන් ලබාගැනීමේ උත්සාහයක නිරත විය.

 
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මගී ජනතාව දැනුවත් කිරීම සඳහා "මීගමුවේ අපි" - සිවිල් සංවිධාන එකතුව විසින් බෙදාහරිනු ලැබූ "සංහිඳියාව" මේකද? යන පත‍්‍රිකාව දේශපාලන සිරකරුවන් පිළිබඳව මෙසේ පැහැදිළිකර තිබුණි.    

01. කවුද මේ දේශපාලන සිරකරුවන්?
    මේ සමාජය අපි බලාපොරොත්තු වන සාධාරණ සමාජය නොවේ. මේ ගැන බොහෝ දෙනා නිකන් බලා ඉද්දී තමන් බලාපොරොත්තු වන සාධාරණ සමාජය වෙනුවෙන් අරගල කරන මිනිස්සුත් ඉන්නවා. මේ හේතුව නිසා අත්අඩංගුවට ගෙන සිරගත කළ අය තමයි අපි දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වන්නේ. 1971දීත්, 1988-89 කාලෙදීත්, දෙමළ ජනයාගේ කැරැල්ල තුළත්, වර්තමාන දකුණේ විප්ලවීය දේශපාලනය තුළත් අපිට දේශපාලන සිරකරුවන් දක්නට ලැබෙනවා.

02. උතුරේ තිබුනේ ත‍්‍රස්තවාදයක් නේද? ත‍්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවෝ වෙන්නෙ කොහොමද?
    මේ හංවඩුව දෙන්නේ කවුද? මේ හංවඩුව 71දීත්, 89දීත් පාලකයෝ හා ඒ අයට ගැති මාධ්‍යය කැරලිකරුවන්ට දුන්නා. ඒත් අපි අමතක කරන්න හොඳ නැහැ, 1956 සිටම දේශපාලන විසඳුමක් නොදීම නිසා දිග්ගැහුණු ප‍්‍රශ්නයක් ශ‍්‍රී ලංකාවේ තවමත් තිබෙනවා. තමන්ගේ අයිතීන් පාගද්දී, වර්ගවාදී කෝලහාල නිර්මාණය කරමින් දිගින් දිගටම ජාතියක් ලෙසම තමන්ව සංහාරයට ලක් කරද්දී, ඊට එරෙහිව කරපු සිය ගාන්ධිවාදී, අහිංසාවාදී විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දී සිංහල දේශපාලනය කෙරෙහි තිබූ සියලූම විශ්වාසයන් මුළුමනින් බිඳවැටුණා. දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තේ ඒ වාතාවරණ තුළයි. දකුණේ ආණ්ඩු මේ දෙමළ කැරැල්ල මර්දනය කෙරුවේ ලක්ෂ ගණනකගේ ජීවිත බිලිගනිමින්. කැරළිකරුවන්ගේ නායකයින් බොහෝමයක් මරා දමනු ලැබුවා. තවත් බොහෝ දෙනෙකු අත් අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට පත් වුණු අයත් දේශපාලන සිරකරුවන් තමයි.



03. කැරළිකරුවන් අත්අඩංගුවට ගැනීම වැරදිද?

    කාව අත්අඩංගුවට ගත්තත් පැය 24 ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීම තමයි නීතිය. ඒත් මේ අයව අත්අඩංගුවට පත්වෙන්නේ සාමාන්‍ය නීතිය යටතේ නෙමෙයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත (PTA) යටතේ.  PTA යටතේ අත්අඩංගුවට ගන්නා අයව බොහෝ කාලයක් ර`දවා තබා ගන්න, ඒ තුළින් කායික හා මානසික වද හිංසා පමුණුවන්න, අවුරුදු 10 - 15 වුණත් ඇප නොදී තබා ගන්න ආරක්ෂක අංශවලට හා නීති අංශවලට නිදහසක් ලැබී තිබෙනවා.

    දකුණේ ආණ්ඩු උතුර පමණක් නෙමේ, 88 - 89 කාලයේ දකුණේ කැරලිකරුවන් මර්දනය කළෙත් මේ නීතිය යටතේ විකල්ප දේශපාලන මතධාරින් මර්දනය කළෙත්, කරන්නෙත් මේ නීතිය යටතේ. මේ නීතියම මානව විරෝධීයි. සදාචාර  විරෝධීයි. ධර්ම විරෝධීයි.

    අනිත් එක දේශපාලන කැරැල්ලක් කියන්නේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුත්තක් හෝ ආණ්ඩු තමන්ගේ වාසියට තනාගත් PTA වගේ දුර්දාන්ත, මානව විරෝධී පනතක් යටතේ නඩු පැවරිය යුත්තක් යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක දේශපාලන පීඩනයකට එරෙහිව මතුවන පීඩිතයින්ගේ ප‍්‍රතිචාරයක්. 71 දී නම් ඒ වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටෙව්වා. ඒත් ඊට පස්සේ එහෙම නැතිව PTA යටතේ දැඩි මර්දනයකට කායිකව හා මානසිකව පීඩාවට ලක් කරමින්, තමන් නොදන්නා භාෂාවකින් ලියැවුණු ප‍්‍රකාශයකට අත්සන් ගෙන, නඩු පවරා, සිරගත කරනවා. මේ නිසයි දැන් ආණ්ඩුව කියන්නේ දේශපාලන සිරකාරයෝ නැහැ ඉන්නේ අපරාධකාරයෝ කියලා. ඒත් අඩංගුවට පත්වෙලා ඉන්න අයගේ ඇත්ත විස්තර හොයලා බලපු අය මේ ප‍්‍රකාශය පිළිගන්නේ නැහැ. ඒක බොරුවක්.



04.මේ අයව නිදහස් කිරීම භයානක නැද්ද? ඔවුන් ආයෙත් ආයුධ අතට ගත්තොත්?
මේක රාජපක්ෂලා ඇතුළු වීරවංශ, ගම්මන්පිල හා කල්ලිය ගොඩ නගමින් සිටින බොරු භීතිකාවක්. නැගෙනහිර හා තදාසන්න ප‍්‍රදේශවල ඝාතනයන් ඇතුළු ඛේදවාචකයන්ට වගකිව යුතු කරුණා අම්මාන්, පිල්ලයාන් වැනි අය, දයා මාස්ටර් වැනි අය, කොටි සංවිධානයට නැව් ගණන් ආයුධ සපයන්නට ජාත්‍යන්තරව දායක වුණු කේ. පී. වැනි අය කිසිම නීතිමය ක‍්‍රියාවලියකින් තොරව, පුනරුත්ථාපන ක‍්‍රියාවලියකින් තොරව නිදහස් වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම 12,000 ක් පමණ නිදහස් කර තිබෙනවා. 2011 දී 800 ක් පමණ හිටපු කොටි සාමාජික සාමාජිකාවන් බස් රථවලින් කොළඹ, කතරගම ඇතුළු රටේ විවිධ තැන් නරඹන චාරිකාවකට ප‍්‍රදර්ශනාත්මකව යොදා ගනිමින් නිදහස් කළා. එතකොට ඔය වීරවංශලා, ගම්මන්පිලලා හෝ වෙන කවුරුවත් කිව්වේ නැහැ "කොටි නිදහස් කරනවා. බලාගෙනයි. ආයෙත් ආයුධ අතට ගනියි." කියලා. කොටි සංවිධානයේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට හිමිකම් නොතිබුණු 160ක් පමණ වන අසරණම පිරිසකට එරෙහිව තමයි දැන් මේ බංකොලොත් නායකයෝ බොරුවට මොර දෙන්නේ. මේ වගේ අය තමයි අතීතයේ ඉදන්ම මේ ප‍්‍රශ්නේ වවාගෙන කෑවේ.

05. කොටි සංවිධානයට උදව් කළ අය අපරාධකාරයෝ නෙමේ ද?   
    පේ‍්‍රමදාස කොටින්ට මුදල් හා ආයුධ දුන්නා ඉන්දියන් හමුදාව එක්ක සටන් කරන්න. ඔය කෑගහන මහින්ද රාජපක්ෂ ජනාධිපති ඡන්දේ වර්ජනය කර ගන්න කොටින්ට විශාල මුදලක් දුන්නු බව කියනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ පවා සාක්ෂි ඇතිව ඇතැම් අය කතා කරලා තියනවා. චන්ද්‍රිකාත් විජය ඉන්න කාලේ ඉඳන්ම කොටි සංවිධානෙත් එක්ක රහස් සාකච්ඡා තියලා තියෙනවා. රනිලූත් සටන් විරාමයට පෙර නිල නොවන රහස් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතිං මේ ලොකු ලොක්කෝ ඔක්කොම නිල නොවන රහස් ගණුදෙනුවල යෙදිලා තියෙනවා. එහෙම නම් ඒ ඔක්කොම අපරාධකාරයෝ.



    වසර ගණනාවක් පුරා කොටි පාලනය යටතේ ජීවත් වුනු ජන කොටසකට ඊට ඍජුව හා වක‍්‍රව සම්බන්ද නොවී ඉන්න බැහැ. අනෙක් අතට කොටි බවට පත්වූණේ ඒ අයගෙම දරුවෝ .මුණුපුරෝ, සහෝදර සහෝදරියෝ. ඒ අය ඒ තත්ත්වයට පත්වන්න ආණ්ඩුවලින්, දකුණේ මැරයන්ගෙන් හමුදාවේ හා පොලිසිවල අයගෙන් සිදුවුණු අකටයුතුකම් ගැන අපට වඩා ඒ අය අත්දැකීමෙන් දන්නවා. අපි හිතන්න  ඕනෙ අපට ඒ අත්දැකීම් ලැබුණා නම් අපි මොකද කරන්නේ කියලා.

06. එතකොට සිරගතවෙලා ඉන්න අය අහිංසකද?

    අත්අඩංගුවට පත්වුණු ප‍්‍රධාන පෙළේ නායක නායිකාවන් හැමදෙනෙක්ම පාහේ නිදහස් වෙලා ඉන්නේ. ඉතිරි අය ඇත්තෙන්ම හරිම අසරණයි. ඔවුන්ට පවරලා තිබෙන අපරාධ නඩු පිළිබඳවත් ලොකු ගැටළු තිබෙනවා. තතු දන්නා අය කියන පරිදි ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය පිළිබඳව අත්අඩංගුවට අරගෙන නඩු පවරලා තියෙන්නේ ඒ අසල පිහිඹියා ගහක අත්තක් කපපු කුලී වැඩ කරන වයසක මනුස්සයෙක්. චන්ද්‍රිකා ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ නඩු පවරලා අවු 290 ක සිරද`ඩුවමක් නියම වෙලා ඉන්නේ අත් අඩංගුවට පත්වෙනකම්ම වවුනියාවෙන් මෙපිටට ආපු නැති කෙනෙක්. ඉතිං එල්ලලා පහර දීලා, නියපොතු ගලවලා, ලිංගේන්ද්‍රීයයන් තලලා, වදහිංසා පමුණුවලාගනු ලබන්නේ යැයි කියන, සිංහලෙන් ලියපු ප‍්‍රකාශ පදනම් කරගෙන සිදුවන මේ නීතිමය ක‍්‍රියාවලිය පිළිබඳ ලොකු ගැටළු තියෙනවා.

07. දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු යැයි අප කියන්නේ ඇයි?
    මේක ප‍්‍රධාන ආගම් ගණනාවක පහස ලබන රටක්. මේක ධර්මද්වීපයක් කියලත් කියනවා. ඉතිං බුද්ධාගමට අනුව මේක මෛත‍්‍රිය පිළිබඳ කාරණාවක්. ක‍්‍රිස්තියානියට අනුව මේක පේ‍්‍රමය හා දයාව පිළිබඳ කාරණාවක්. ඒ ඔක්කොටම වඩා මේක යුක්කිය හා සාධාරණය පිළිබඳ කාරණාවක්.

    මේ වගේ දේවල් නිසා දෙමළ ජනතාව සිංහල ජනතාව තව තවත් අවිශ්වාස කරන එක වළක්වන්න බැහැ. සැබෑ සංහිඳියාවකට මේක ලොකු බාධාවක්.



    පවතින නීති රාමුව තුළ මේකට විසඳුමක් නැහැ. එම නිසා දේශපාලන තීන්දුවක් ගත යුතුයි. ජේ.ආර්. 71 කැරළිකරුවන් නිදහස් කලේ දේශපාලන තීන්දුවක් අනුව. රාජපක්ෂ කරුණා අම්මාන්, පිල්ලයාන්, කේ.පී, දයා මාස්ටර් වැනි අය නිදහස් කරන්නේ දේශපාලන තීන්දුවක් අනුව. ජනපති මෛත‍්‍රීගේ ආණුඩුවට ඒක කරන්න හොඳටම පුළුවන්. එහෙම නැත්නම් මෛත‍්‍රීගේ මෛත‍්‍රීයෙන් වැඩක් නැහැ.

අපිට තියෙන ප‍්‍රශ්නෙ  මේකයි. ආණ්ඩුව තාමත් මහින්දලට මෙච්චර බයද කියන එකයි.
එම නිසා කොන්දේසි විරහිතව දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස අපි හ`ඩනගා කියන්නෙමු.


"මීගමුවේ අපි" - සිවිල් සංවිධාන එකතුව -  2016.10.08

ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා






2016-10-10
Advertisement

Find us on Facebook