English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඥාණසාරගේ ගිනි තැබීමේ අයිතිය සහ විග්නේශ්වරන්ගේ කතා කිරීමේ අයිතිය

අපේ රට හරි පුදුමාකාරය. දැන් පෙනෙන අන්දමට ජනවර්ග අතර වෛරය අවුස්සන කිසිදු දේශපාලන හෝ ආගමික අන්තවාදි ක්‍රියාකාරකම් දකුණුදිග ලංකාවෙහි සිදු වන්නේම නැත. එවැනි දෑ සිදුවන්නේ උතුරෙහි නැගෙනහිරෙහිය.

බොදුබල සේනාවේ සිට විමල් වීරවංශගේ අමාත්‍යාංශය විසින් නඩත්තු කරන ලද සිංහල රාවය දක්වා ඇති ශ්‍රමණවේශධාරීන් ජාතිවාදී කල්ලි කණ්ඩායම් ගයන්නේ අවිහිංසාවාදී සාම ගීත පම‍ණය.

අප කවුරුත් දන්නා පරිදි 2014 වර්ශයේ ජනවාරි 15වන දින ශ්‍රමණවේශදාරී ඥාණසාරගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම රැස්වීමක් පවත්වන ලදී. එහිදී කරන ලද කතා සහමුලින්ම මුස්ලිම් ජනයාට එරෙහිව වෛරය අවුලවන ඒවා විය. එහිදී ඥණසාර කළ කතාව අසා සිටින්නන් කුපිත කරවන සුලු විය. එකී අවුලුවන සුළු කතා වලින් පසු ඥාණසාර කණ්ඩායම මුස්ලිම් ජනයා ජීවත්වන පෙදෙස් හරහා ගමන් කළේය. ඉන් අනතුරුව සිදුවූ මුස්ලිම් විරෝධී ප්‍රහාර ශ්‍රී ලංකාවට කලු ලපයක් බවට පත්විය.

දැන් ඒ ඥණසාරම වවුනියාවට ගොස් එහි සිංහල දෙමළ ජනයා අතර වෛර අවුස්සයි. ඊට පාදක කර ගන්නේ උතුරු මහ ඇමැති විග්නේශවරන් ‘දෙමළ පිබිදීම’ට නායකත්වය දීමට සහ එහිදී කරන ලද කතාවය. ගම්මන්පිල කොටුව දුම්රිය පළ ඉදිරිපිටට ගොස් විග්නේශ්වරන් ජාතිවාදී කතා පැවැත්වියැයි අත්අඩංඟුවට ගන්නා ලෙස කැ ගසයි. ඥාණසාර කියන්නේ උතුරු පළාත් සභාව විසුරුවා හැරිය යුතු බවයි.

පසුගිය 28දා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ මහජන උද්ඝෝෂනය දඩමිමා කරගෙන දෙමළ ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයින්‍ බියගන්වා ඔවුන්ගේ රැස්වීමේ සහ කතා කිරිමේ නිදහස මර්දනය කිරීමට කැස කවන දකුණේ අන්තවාදී ප්‍රයත්නයන් තවම ඉවරයක් නැත. යාපනයේ පැවැති උද්ඝෝෂණය සහමුලින්ම සාමකාමී එකක් වූ අතර එහිදී සිංහල හෝ මුස්ලිම් ජනයාට එරෙහි වෛර ප්‍රකාශන කිසිවක් කෙරුණේ නැත. (ඒ බව දැන් හිටපු ජනාධිපති රාජපක්ෂ ද පිළිගෙන තිබේ.)

පෙනෙන් විදිහට ශ්‍රී ලංකාවේ බෞද්ධ සිවුරුදරා සිටින ඥණසාරට මුස්ලිම් දෙමළ විරෝධි කතා පැවැත්වීමටත් ප්‍රචන්ඩ ලෙස සිය මතය ක්‍රියාවට නැංවීමටත් අයිතිය තිබේ. එවැනි අවස්ථාවන්ට විරුද්ධව ශ්‍රිලනිප හෝ එජාප හෝ ජවිපෙ හෝ එකදිගට කතා පවත්වන්නේ නැත. නිහඬතාවය මගින් ඥාණසාර නිකායේ අන්තවාදයට සහ ප්‍රචන්ඩත්වයට සහය දෙති. ඒ කොතෙක්ද යත් ‘සිංහල රාවය’ නමින් උතුරෙහි සිංහල ගම්මානයක පිහිටුවීමට පවා වීරවංසවාදී අන්තවාදීන්ට දැන් අවසර ලැබී තිබේ.

එසේ නමුත් බහුතර ජන්දයකින් බලයට පත් උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ට සාමකාමී ලෙස තමන්ට අවශ්‍ය කුමන අන්දමේ දේශපාලන විසඳුමක්දැයි කියන්නට අවසර නැත. සංහල ජනයා නැති පෙදෙස්හි යුද හමුදාව බෞද්ධ පන්සල් ඉදිකිරීම වැරදි යැයි කියන්නට අයිතියක් නැත. යුද්ධයෙන් හත්වසරක් ගතවී ඇතත් උතුර පුරවා සිටින අමතර යුද හමුදා පිරිස් ඉවත් කරන ලෙස කියන්නට අවසර නැත. එමෙන්ම ආණ්ඩුවේ ප්‍රතිසංධාන වැඩ සටහන සාර්ථක ප්‍රතිපල පෙන්වා නැතැයි කියන්නට අවසර නැත. එසේ කියන කළ ජාතිවාදි කතා පවත්වන්නේ යැයි ද ආණඩුවේ ප්‍රතිසංධාන වැඩ පිළිවෙලට අකුල් හෙළන්නේයැයි තර්ජනාත්මක ස්වරයෙන් කතා පවත්වති.

ඇත්ත වශයෙන්ම නම් විග්නේශ්වරන්ට සහ ‍‘දෙමළ පිබිදීම’ මහජන උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් විසින් ගෙන යන ව්‍යාපාරය මෙරට ජනයාගේ මූලික අයිතිවාසිකම් වන රුස්වීමේ සහ අදහස් ප්‍රකාශණයේ අයිතිය කෙළෙසීමකි. එමෙන්ම මෙම ව්‍යාපාරයේ අරමුණ දෙමළ ජනයා බිය ගන්වා ඔවුන්ගේ ඉල්ලිම් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයන්හි යෙදීම වැළැක්විමය.

‘දෙමළ පිබිදීම’ උද්ඝෝෂණයෙහිදී දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්ණවලට විසදුම ලෙස සන්ධිය නැත්නම් පෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටිම මහා වරදක් ලෙස දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ අන්තවාදී ශ්‍රමණවේශධාරී සංවිධාන පින්තාරු කරති.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ගෝලයින් විසින්ම මුදා හරින ලද 1983 දෙමළ විරෝධී කලු ජූලියෙන් පසු ඔහු විසින්ම ව්‍යවස්ථාවෙහි 06වන සංසෝධනය ගෙන ආවේය. මෙම සංසෝධනයෙන් කියැවුනේ කිසිදු දේශපාලන පක්ෂයකට ශ්‍රී ලංකාව තුල වෙනම රටක් ගොඩ නැගීම අරමුණ වශයෙන් පවත්වා ගැනීම තහනම් බවයි.

ඇත්ත වශයෙන්ම නම් එම සංශෝධනයෙන් සිදු කැරුණේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට වැට බැදීමකි. තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාමකාමී ලෙස ප්‍රකාශ කිරීමට සෑම ජන කොටසකටම තිබිය යුතු අයිතිය එමගින් අහෝසි කරන ලදී. අවසානයේදී එහි ප්‍රතිපලය වූයේ 6වන සංසෝධනය මලින් වි‍ලංගු ලූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ තැන සනනද්ධ දේශපාලනය විසින් අල්ලා ගැනීමය. එම වර්ධනය විසින් ජේ. ආර්. ජයවර්ධනගේ සමස්ත දේශපාලන – ආර්ථික සැළැස්මම පුපුරුවා හරින ලදී. ඉන් ලද අත්දැකීම මත ශ්‍රී ලංකාවට සන්ධීය දේශපාලන ක්‍රමයක් අවශ්‍යයැයි අවසානයේදී ජේ.ආර්. ජයවර්ධන පවා කියා සිටියේය.

ආත්ම ගරුත්වයක් ඇති සමානයින් ලෙස ජීවත්වීමේ අවශ්‍යතාවය ජනවර්ගයක සාමුහික විඥානය බවට පත් වූ විට එය ලෙයින් හෝ යකඩින් නැත්නම් කැ මොර දීමෙන් හෝ නතර කළ නොහැකි බව ජේ.ආර්. ජයවර්ධන තේරුම් ගන්නා විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබුණි. 1983 කලු ජූලිය මගින්ද සිංහල අන්තවාදින් උත්සාහ කළේ දෙමළ ජනයා බිය ගැන්වීමටය. ඥාණසාර නිකාය 2014 ජනවාරියේදී අලුත්ගමදී ක්‍රියාවට නැගුයේද එම න්‍යායමය. ඒ මුස්ලිම් ජනයා බිය ගැන්වීමටය.

ජේ. ආර්. විසින් ගෙන එන ලද 06වන සංසෝධනය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද බාධාවක් ලෙස සළකා 1998 දී සම්මත කෙරැණු මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශණය එම සංසෝධනය ඉවත් කළ යුතු බව කියා සිටියේය. එකී කොළඹ ප්‍රකාශණයට ශ්‍රී ලංකා කර්තෘ සංසදය, පුවත්පත් හිමිකරු සමාජය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අත්සන් කළෝය‍. එසේ තිබියදී සන්ධීය ක්‍රමයක් අවශ්‍ය බව කියා සිටීම රට කැඩීමට අනුබල දීමක් වන්නේ කෙසේද?

දැන් ප්‍රශ්ණය අප සන්ධීය ක්‍රමයකට පක්ෂද නැත්ද යන්න නොවේ. එවැනි මතයක් දැරීමටත් ප්‍රකාශ කිරීමටත් මෙරට ඕනෑම අයකුට ඇති අයිතියයි. එම සාකච්ජාව දෙමළ සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයෙන් පළවා හැරිය හොත් සිදුවන්නේ සිදුවන්නේ එය යටි බිම්ගත වීමයි. එවැනි වර්ධනයකින් වාසියක් වන්නේ දෙපැත්තේම අන්තවාදී පිරිස්වලට පමණකි.

මෙම අන්තවාදී ප්‍රහාරයන් හමුවෙහි උතුරෙහි දේශපාලන පක්ෂ දෙමළ පිබිදීමෙහි ඉල්ලීම් වටා ගොනු වෙමින් සිටිනු දැන් දැක ගත හැකිය. ආණ්ඩුව දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් මේතාක් පෙන්වා ඇති ගොලුබෙලි දේශපාලනය තවදුරටත් එළෙසම පවතින්නේ නම් මෙම ව්‍යාපාරය මෙරට දෙමළ දේශපාලනයෙහි හැරවුම් ලක්ෂයක් බවට පත්වීමට ඉඩ තිබේ.

දෙමළ ජනතාවගේ රැස්විමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරමින් සිංහල ජනයා අතර දේශපාලන මැදිහත්විමක් කිරීම අද දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් බලවේගයන්ගේ හදිසි යුතුකමක් සහ වගකීමක් වේ. එය දෙපාර්ශවයේම අන්තවාදය දුර්වල කැරෙන මැදිහත්විමක් විය යුතුය‍

දෙමළ ජනයාගේ මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් මෑත කාලයෙහි ආණ්ඩුවේ සහ හමුදා නායකයින් දී ඇත්තේ බැහැ යන උත්තරය පමණි. යාපනයේ හමුදාව සතු බිම් අඟලක් වත් දෙන්නේ නැහැ, සන්ධීය/පෙඩරල් ක්‍රමයක් දෙන්නේ නැහැ/දේශපාලන සිරකරුවන් කියා පිරිසක් ඇත්තේ නැහැ, විදේශීය විනිසුරන් ගෙන්වන්නේ නැහැ යනාදි වශයෙනි. ඒ වෙනුවට තමන් විසඳුම් ලෙස ඉදිරිපත් කරන්නේ මොනවාදැයි කීමට ආණ්ඩුව තවම සමත් වී නැත.

එබැවින් ආණ්ඩුවේ කොටස්කරුවන් වන සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් විග්නේශවරන්ට බැට දීමේ මුවාවෙන් දෙමළ ජනයා බිය ගැන්වීමට කැරෙන කූටෝපායන්ට එරෙහිව සිය හඩ අවධි කළ යුතුය. දැනට නම් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හඬ සහ රාජපක්ෂගේ හඬ අතර වෙනසක් නැති තරම්ය. ආණ්ඩු බලවේගයන්හි එම ජාතිවාදී නැඹුරුවට එරෙහිව නැගි සිටිම එහි ප්‍රජාතන්ත්‍රවාදි පිරිස්හි හදිසි යුතුකම වේ.

සුනන්ද දේශප්‍රිය 

-  මෙලනි



2016-10-07
Advertisement

Find us on Facebook