English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


තනි ඉලක්කයට තඩිබෑම

කලාතුරකින් සිදුවන පරිදි, සියලූ පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලූ පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා තුවක්කුවකිනි. ඊට නොදෙවැනි වීමට ඉටා ගත් එක්සත් ජාතික පක්ෂයත්, ඊට වඩා සැර අඩු කාලතුවක්කුවකින් වුවත්, එවැනිම ප‍්‍රහාරයක් එල්ල කෙළේය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අණදෙන නිලධාරියාම ඒ පක්ෂය පැත්තෙන් වැඬේ පටන් ගත්තේය. මීට අමතරව තවත් බොහෝ දෙනා මේ ප‍්‍රහාරයට එක් වූහ. මෙය මෘදු ඉලක්කයකි. ඒ, උතුරු පළාත් සභා මහ ඇමතිවරයා ය. මෙය, මාධ්‍ය මගින් හොඳින් තලූමැරුවේය.

ඊනියා ඒකාබද්ධ විපක්ෂයට ද්විත්ව සහනයක් ලැබුණි. එක පැත්තකින්, 2015 ජනවාරි 8 වැනි දායින් පසු ප‍්‍රථම වරට බාහිරින් එල්ල වන ප‍්‍රහාරයන්ගෙන් මොහොතකට වැළැකී සිටීමට ඊට හැකි විය. අනිත් අතට, වෙනත් අයගේ ක‍්‍රියාකලාපයන් මගින් ඔවුන්ගේ ප‍්‍රකාශිත ප‍්‍රතිපත්තිවලට සුජාත භාවයක් ලබා ගත්තේය.

මේ ඝෝෂාවට හේතු කවරේද? ඒ වූ කලී, මීට දින කිහිපයකට පෙර, යාපනේ පවත්වන ලද, විශාල සෙනගක් සහභාගී වූ හර්තාලයකි. එම හර්තාලය පසුපස තිබුණේ උතුරු පළාත් සභා මහ ඇමතිවරයාගේ ජාතිවාදය බව තීන්දු කෙරුණි.

බෞද්ධ පන්සල්

පැහැදිළිවම ඔවුන් කියවා තිබුණේ, මාධ්‍ය වාර්තාවල මහ අකුරුවලින් ලියැවුණු කොටස් මිස කුඩා අකුරින් ලියැවුණු සමස්ත අන්තර්ගතය නොවේ. වෙනත් වචනවලින් කිවහොත්, ඒ හර්තාලයට පාදක වූ හේතු කාරණා ගැන හෝ ඒ සා ජනතා සහභාගීත්වයක් ඊට ලැබුණේ මන්ද යන්න හෝ සළකා බැලූණේ නැත. බරසාර දේශපාලඥයන්ගෙන් ඉටු විය යුතුව තිබුණේ එය නොවේද?

සිංහල මාධ්‍යවේදීන්ගේ වාර්තා අනුව, උතුරේ ජීවත් වන දෙමළ ජනතාව තුළ පවතින සැකසාංකා මේ හර්තාලයට හේතු වූ බව පෙන්නුම් කෙරුණි. (මාධ්‍යකරුවාගේ වාර්ගිකත්වය මෙහි සඳහන් කරන්නේ, එම හර්තාල්කරුවන් පිළිබඳ විශේෂ ලැදියාවක් මෙම මාධ්‍යකරුවන් තුළ නොමැති බව දැක්වීමට පමණි).

බෞද්ධයන් වාසය නොකරන උතුරේ ස්ථානවල බෞද්ධ පන්සල් පිහිටුවීම හරහා තමන්ගේ ප‍්‍රදේශ පිටස්තරයන් විසින් ආක‍්‍රමණය කරනු ලැබෙතැයි උතුරේ ජනතාව කණස්සල්ලට පත්ව සැකසාංකා ඇති කරගන්නා බව උතුරු මහ ඇමතිවරයා කියයි. පිට පළාත්වල වෙසෙන සිංහල බෞද්ධයන් උතුරේ දෙමළ ගම්වල පදිංචි කරවන බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ චෝදනා කිරීම, පුදුම එළවන අසාමාන්‍ය කාරණයක්ද? සිංහල බෞද්ධයන්ද, සිංහල නොවන පිරිස් තමන්ගේ පළාත්වල පදිංචි වන විට හෝ බෞද්ධ නොවන ආගමික ස්ථාන තමන්ගේ පළාත්වල ගොඩනැගෙන විට මේ අයුරින්ම චෝදනා කොට නැත්ද? ඇත්ත වශයෙන්ම අද යාපනේ හර්තාලයට විරෝධය දක්වන පිරිස්ම අතීතයේදී එම කාරණය සම්බන්ධයෙන්ම දකුණේ විරෝධතා අවුළුවාලූවන් ය. කළ යුතුව ඇත්තේ ඉතා සරළ දෙයකි. ඒ, සැක සාංකා ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති

උතුරේ ජනතාව තුළ සැකසාංකා මෝරා වැඞීමට තවත් හේතුවක් වී ඇත්තේ, මැතිවරණ කාලයේත් ඉන් පසුවත්, නව ආණ්ඩුව විසින් දෙන ලද පොරොන්දු ඉටු නොවී තිබීමයි. එම පොරොන්දු ඉටු කර දීම කඩිනම් කිරීමෙන් මෙවැනි හර්තාල් සඳහා උපයෝගී කරගන්නා පදනම් දෙදරවාලීමට ආණ්ඩුවට හැකියාව තිබේ. ආණ්ඩුව දී ඇති එවැනි එක් පොරොන්දුවක් වන්නේ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ බිහිසුණු හදිසි නීති රෙගුලාසි අහෝසි කිරීමයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව ප‍්‍රතිඥා දුන්නා පමණක් නොව, ඔවුන් නිදහස් කරන දින වකවානු පවා සඳහන් කෙළේය. ඔවුන් නිදහස් කරනවා වෙනුවට ‘දේශපාලන සිරකරුවන්’ කියා කොටසක් නැති බව කියමින් ආණ්ඩුව දැන් ප‍්‍රශ්නයෙන් මගහරී. මීට කලින් පැවති ආණ්ඩුවත්, මෙවැනි සිරකරුවන් දහස් ගණනක් නිදහස් කොට ඇති තත්වය තුළ, ඊට කලිනුත් එසේ නිදහස් කොට ඇති තත්වය තුළ. මෙය විසඳිය නොහැකි දුෂ්කර ප‍්‍රශ්නයක් වීමට ඉඩක් නැත.

දෙමළ ජනතාවගෙන් හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් ඒවායේ නියම හිමිකරුවන්ට ආපසු ලබා දීමේ ප‍්‍රශ්නයත් මීට සමාන ය. ඒ පිළිබඳ නොයෙක් පොරොන්දු දී තිබේ. දින වකවානු ඉදිරිපත් කොට තිබේ. එහෙත් ඒ පොරොන්දු ඉටු කිරීමට ඇති කැපවීමේ අඩුවක් පෙනෙන්ට ඇත. ඇතැම් සොක්කන් විසින් ඒවා ආපසු දීමට එරෙහි ප‍්‍රකාශ පවා කරන තත්වය තුළ තත්වය තවත් දුෂ්කර කෙරේ.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පවා සිරකරුවන්ට වධ දෙන බවට චෝදනා නැගේ. ඒවා වහා විභාග කරනවා මිස පැත්තක දැමීම නොකළ යුතුය. චෝදනාවල සත්‍යාසත්‍ය භාවය පිරිසිඳ දත හැක්කේ එවිට පමණි. අතුරුදහන් වූවන් පිළිබඳ හෝඩුවා සොයා බැලීම සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීම පමා වීම, තවත් චෝදනාවකි. එසේම, යුද්ධයේ අවසාන කාලයේ සිදු වී යැයි කියන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ සොයා බැලෙන යාන්ත‍්‍රණ ගැනත් ඔවුන් තුළ ප‍්‍රශ්න තිබේ. අතීතයේ අප ලබා ඇති අත්දැකීම් අනුව, මේ කාරණා සැහැල්ලූවෙන් ඉවතලෑ හැකි දේවල් නොවේ.

සාමකාමී විරෝධතාව

දෙන ලද පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳ චෝදනාව උතුරට පමණක් සීමා වන්නක් නොවන බව අප මතක තබා ගත යුතුය. එය උතුරට මෙන්ම දකුණටත් පොදු ය. ඒ නිසා උතුරේ මිනිසුන් ඒ ගැන හඬ නගන විට ඔවුන් අපේ විරුද්ධවාදීන් වශයෙන් ගැනීම හෝ ඔවුන්ගේ විරෝධතාවන් ගැන අප කෝපයට පත්වීම නොහොබී.

මේ හර්තාලය පැවැත්වුණේ, දෙමළ කතා කරන උතුරේ ජනතාවගේ පැමිණිලි, සැකසාංකා සහ වෙනත් ප‍්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා බව උතුරු පළාත් මහ ඇමතිවරයා කියා තිබේ. එය, බෞද්ධයන්ට හෝ සිංහලයන්ට හෝ ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් නොවන බවත් ඔහු පෙන්වා දී තිබේ. එය ඉතා සාමකාමී හර්තාලයක් වූ අතර ඒ සඳහා ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බවත් අප පිළිගත යුතුය. දකුණේ ජනතාවත් එම අයිතියම පාවිච්චි කරති. විටෙක ඒවා කලහකාරී ස්වරූපයක්ද ගනී. එහෙත් ඒ ගැන දැන් මෙන් විවේචන ඉදිරිපත් වන බවක් අප දැක නැති වීමෙන් පෙනී යන්නේ, වර්තමාන විවේචනය තුළ යම් ජාතිවාදී හැඩයක්ද ඇති බවයි.

තවත් කාරණයක් වන්නේ, ඔවුන් ඉදිරිපත් කරන ෆෙඩරල් ක‍්‍රමයක් පිළිබඳ කතිකාවයි. ඓතිහාසිකව ගත් විට මේ ෆෙඩරල් ඉල්ලීම මුලින්ම ඉදිරිපත් කොට ඇත්තේ උඩරට සිංහල ජනතාවයි. වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සිටි ෆෙඩරල් පක්ෂය, 1947 මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව විසින් පරාජය කරන ලදි. එම ජනතාව ෆෙඩරල්වාදි ධජය අතට ගත්තේ ඊට බොහෝ කලකට පසුව ය. ඒ, රාජ්‍ය මර්දනය හමුවේ ලද අත්දැකීම් හේතුකොටගෙනයි. ෆෙඩරල් ක‍්‍රමය යන්නෙන්, රට වෙන් වීමක් හෝ බෙදා වෙන් කිරීමක් අදහස් වන්නේ නැත. ඇත්තෙන්ම එය වනාහී, තනි රටක සාමූහිකව ජීවත් වීමේ පාලන ක‍්‍රමයකි.

ලෝකයේ ෆෙඩරල් රාජ්‍යයන් බොහොමයක් තිබේ. ඒ අතරේ, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයන්ද තිබේ. කෙසේ වෙතත්, සියයට සීයක් ෆෙඩරල් රාජ්‍යයන් වශයෙන් ගිනිය හැකි රටවල් අද ඇත්තේ නැත. වර්තමාන ප‍්‍රවණතාව වන්නේ, ෆෙඩරල් සහ ඒකීය යන ක‍්‍රම දෙකේ සංකලනයක් වෙත ගමන් කිරීමයි. උදාහරණයක් වශයෙන්, ෆෙඩරල් ඉන්දියාවේ මේ වන විට රාජ්‍ය බලය කේන්ද්‍රගතව තිබෙන්නේ මධ්‍යම රජය තුළ ය. ඒකීය රාජ්‍යයක් වන එක්සත් රාජධානියේ ෆෙඩරල් ලක්ෂණ තිබේ. එය තුළ ඒ ඒ රාජ්‍ය ඒකක සඳහා වෙනම පාර්ලිමේන්තු පවා තිබේ.

ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමය සහ ඒකීය රාජ්‍ය ක‍්‍රමය

ෆෙඩරල් ක‍්‍රමය ඒ ඒ ජාතික කොටස් විවිධ ආකාරයෙන් අර්ථ දක්වනු ලැබීම ලංකාවේ දක්නට ලැබෙන තත්වයයි. උතුරේ දෙමළ ජනතාව පොදුවේ ෆෙඩරල් ක‍්‍රමයකට පක්ෂපාතීත්වය දක්වන අතර, සිංහල ජනතාව එය දකින්නේ රට බෙදීමක් වශයෙනි. එසේම ඒකීය රාජ්‍ය ක‍්‍රමය දෙමළ ජනතාව දකින්නේ සිංහලයන් විසින් තමන් මත ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා පාවිච්චි කෙරෙන රාජ්‍ය ක‍්‍රමයක් වශයෙනි. මේ අනුව, නූතන ශ‍්‍රී ලංකාවේ දේශපාලනික සන්දර්භය තුළ, ෆෙඩරල්වාදය සහ ඒකීයවාදය ඒවායේ ස්වාභාවික අර්ථ පරයා ගොස් තිබේ.

මීට හේතු වී ඇත්තේත් සැකයයි. එම සැකය පලවා හැරිය හැක්කේ ශිෂ්ට සම්පන්න මිනිසුන් වශයෙන් ඒ ගැන අදහස් හුවමාරු කර ගැනීමෙන් සහ සංවාද කර ගැනීමෙනි. වැදගත් වන්නේ, දැඩි මතධාරී ආස්ථානයන් පසෙකින් තබා, ඒ ඒ ප‍්‍රශ්නය පිළිබඳ තාර්කික සහ ප‍්‍රායෝගික අවබෝධයකට ළඟා වීමයි.

මිනීමරා ගත් යුද්ධය අවසන්ව අවුරුදු හතක් ගතව තිබේ. පේන තෙක් මානයක නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානයක් බිහි වීමේ ඉඩක් නැත. එසේම වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම්ද නැත. බොහෝ දෙනාගේ ආක්‍රෝෂයට පත්ව සිටින උතුරු මහ ඇමතිවරයා පවා එවැන්නක් ඉල්ලන්නේ නැත. ඉතිං, ෆෙඩරල් ඉල්ලීමක් පිළිබඳ අප අනවශ්‍ය අන්දමින් ප‍්‍රකෝප විය යුත්තේ ඇයි? එම ඉල්ලීම දශක හයකට වැඩි කාලයක් තිස්සේ අපේ දේශපාලන කතිකාව තුළ තිබී ඇති බව මෙහිදී මතක තබා ගත යුතුය.

රාජ්‍යයක ස්වභාවය තීන්දු වන්නේ එහි සාරයෙන් මිස පෙනුමෙන් නොවේ. ඒ නිසා වැදගත් වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතා සුභසිද්ධිය සඳහා වන පාලන සාරයයි. ෆෙඩරල් වුවත්, ඒකීය වුවත්, එය අධිකාරීවාදී පාලනයක් නම් එය විනාශකාරී ය. ව්‍යාජ දේශප්‍රේමී සටන්පාඨ සහ මාධ්‍ය සංදර්ශන හරහා පෙන්නුම් කෙරෙන්නේ, මේ සාධකය පිළිබඳ දේශපාලඥයන්, බුද්ධිමතුන් සහ පූජ්‍ය පක්ෂය වැඩි අවධානයක් යොමු කොට නැති බවකි.

බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන්

කාරණා දෙකක් සිහියේ තබා ගත යුතුය. එකක් වන්නේ, ඒකීය රාජ්‍ය ක‍්‍රමය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් බවයි. ලංකාව එක් සේසත් කළ අවස්ථාවලදි පවා එය එක්සත් රටක් වුණා මිස ඒකීය රටක් වී නැත. දෙවැනි කාරණය වන්නේ, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී පැරණි ඉතිහාසය මත යැපීමට යාමේ මුග්ධ භාවයෙන් අත්මිදීමයි. ඒ ඉපැරණි ඉතිහාසය හාරා අවුස්සා බැලීම, ‘මුලින් ආවේ කිකිළියද, බිත්තරයද?’ වැනි උරචක‍්‍රමාලයක් කරේ එල්ලා ගැනීමකි.

ජාතික සංහිඳියාව සඳහා වන සෞම්‍ය පරිසරයක් අද තිබේ. එනිසා, ඇතැම් බුද්ධිමතුන් සහ ආණ්ඩුවේ ඇතැම් කොටස් කියන්නේ, ඊනියා ඒකාබද්ධ විපක්ෂය සහ ජාතිවාදී බලවේගවලට තල්ලූවක් විය හැකි ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවයි. එසේ වුවහොත් සිදුවන්නේ, වර්තමානයේ පවතින සංහිඳයාව සඳහා වන ප‍්‍රති-යෝජනා නැති තත්වයක් තුළ, ජාතිවාදි බලවේග විසින් දේශපාලන වේදිකාවේ ආධිපත්‍යය හසුරුවනු ලැබීමයි. එය වඩාත් භයානක ය. කළ යුතුව ඇත්තේ සහ මෙතෙක් ආණ්ඩුව කිරීමට අපොහොසත්ව ඇත්තේ, ජාතික සංහිඳියාව සඳහා ජනතාව බලමුළු ගැන්වීමත්, ජාතිවාදීන්ට ඒ මගින් පිළිතුරු දීමත් ය.


ජයතිලක ද සිල්වා

(2016 සැප්තැම්බර් 30 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Concentrated Fire on Single Target නැමැති ලිපියේ සිංහල පරිවර්තන ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි



2016-10-05
Advertisement

Find us on Facebook