English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ
ඡායාරූපය - මෙලනි මානෙල් පෙරේරා

මානව හිමිකම් වැඩ සටහන් ගණනාවක් පිණිස ඔක්තෝබර් 01 දින කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම පිණිස ගිය ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු එහිදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම ප්‍රශ්ණ ගණනාවක් ඉස්මත්තට ගෙන එයි.

ප්‍රථමයෙන්ම කිවයුත්තේ මෙය තත්වය රුකී ප්‍රනාන්දුට පමණක් මුහුණ දීමට සිදුව ඇති තත්වයක් නොවන බව ය. ආණ්ඩුවේ සංක්‍රාන්ති යුක්ති වැඩ ක්‍රියාවළිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබද වැදගත් ලිපියක් පළ කරමින් මන්නාරමෙහි මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් සරූර් පෙන්වා දී තිබුණේ සතියක් ඇතුළත වන්නියෙහි ස්‍ත්‍රී මානව හිමිකම් ක්‍රියාකාරීන් තිදෙනෙකුට ම යුද හා පොලිස් බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුවූ බවයි.

මෙය වර්ධනය වන ප්‍රවණතාවයක්ද නැත්ද කීමට තවම කල් වැඩි නමුත් එවැනි බිය ගැන්වීම් වැළැක්වීමට ආණ්ඩුව ගන්නා පියවරක් නැති බව නම් පැහැදිළි ය.

දැන් දැන් එන්න එන්නම ආණ්ඩුව මානව හිමිකම් ක්‍රියාකාරිත්වය දෙස වපරැහින් බලන බව පෙනෙන්නට තිබේ. පසුගිය දා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව කොළඹ පැවැති අන්තර් ජාතික සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා තිබුනේ රාජ්‍ය නොවන සංවිධාන විසින් රටවල් අස්ථාවර කරන අවස්ථා ඇති බවයි. ඔහු මේ ප්‍රකාශය කළ සන්දර්භය නම් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සංවිධාන ආණ්ඩුව කෙරෙහි වඩ වඩා විවේචනාත්මක ස්ථාවරයන් කරා මාරු වෙමින් සිටීමයි. රාජපක්ෂ ද අරාබි වසන්තය සම්බන්ධයෙන් මෙම චෝදනාවම කළේය.

ආණ්ඩුවේ මානව හිමිකම් කතා සහ ක්‍රියා අතර පරතරය ද පුළුල් වන බවක් පෙනේ. ආණ්ඩුවේ ප්‍රධානීන් ජනමාධ්‍ය පාලනය කිරීම සඳහා වහෙන් ඔරෝ බාසාවෙන් කරන කතා වල නිමක් ද නැත.

පොලීසිය සහ යුද හමුදාව තමන්ට ඉහළින් කපුටකුවත් පියෑඹිය නොයුතුයැයි සිතා සිටි යුද්ධ මානසිකත්වයෙන් ගලවා ගැනීමට ආණ්ඩුව ප්‍රමාණවත් පියවර ගෙන නැත. රුකී ප්‍රනාන්දු ප්‍රශ්ණ කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැනටමත් පෙන්වා දී ඇත්තේ පොලීසියට සහ යුද්ධ හමුදාවට මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් කිසිදු පලදායක පෙන්වීමක් ආණ්ඩුවේ දේශපාලන ප්‍රධානීන් ලබා නොදෙන බවය.

ආණ්ඩුවේ සන්ක්‍රාන්ති වැඩ සටහන සඳහා පත් කරන ලද ප්‍රතිවිචාරණ කාර්‍ය සාධක බලකාය සඳහා ආරාධනය කරන ලද අය අතර රුකී ප්‍රනාන්දු ද විය. එසේ නමුත් දැන් පෙනි යන්නේ ඔහු පිළිබඳව ලිපි ගොනුවක් ත්‍රස්ත විමර්ශණ අංශය දිගටම පවත්වා ගෙන යන බව ය. මෙය ඔහු සම්බන්ධ කාරණයක් පමණක් විය නොහැක. රාජපක්ෂ සමයෙහි දී මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයින් ක්‍රියාධාරිනියන් බොහෝ දෙනෛකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශණ අංශය ලිපි ගොනු පවත්වා ගෙන යන බව සැකයෙන් තොර ය.

ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් මෙගා වැඩ සටහන් ඉදිරිපත් කරයි. සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණේ චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වයෙන් සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිසන්ධානය සඳහා වැඩසටහන, 2016’ නම් ලියැවිල්ල ජනාධිපතිවරයා විසින් අනුමත කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බවයි. එහි ප්‍රබල මානව හිමිකම් ඉදිරි දර්ශණයක් තිබේ. එනමුත් එවැනි මෙගා ලියැවිලි ජනයා ජිවත්වන පොළවට පහත්වන්නේ නැත.

ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන‍ඥයකු විසින් පහර දෙවවන ලද මීපුර කර්තෘ ප්‍රෙඩී ප්‍රනාන්දු පිළිබඳ සිදුවීම ගන්න. එම මැරවර දේශපාලනඥයා අත් අඩංඟුවට ගැනීමට ආණ්ඩුවේ පොලීසිය පියවර ගන්නේ නැත. පහර දීමෙන් පසු රෝහල් ගතව සිටි ඔහුට ජනාධිපතිවරයා පවා කතා කළේ ය. නමුත් මැරවරයා නිදැල්ලේ ය. ආණ්ඩුවේ කතා වැඩ වෙන්නේ නැති තරම් ය‍.

2014 මාර්තු මාසයෙහි අත් අඩංඟුවට ගෙන පසුව ඇප මත නිදහස් කරන ලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ජෙයකුමාරී බාලේන්ද්‍රන්ට තවම කිසිදු නඩුවක් පවරා නැත. ඇය සිටින්නේ නොනිල නිවාස අඩස්සියක ය. ඇයට සිය දියණිය සමඟ විසීමේ අයිතිය ද නැතිව ගොස් තිබේ. මෙම බිය ගැන්වීමේ විපාකය වී ඇත්තේ ඇය මානව හිමිකම් ක්ෂෙත්‍රෙයෙහි අක්‍රීයවීමය. ආණ්ඩුවට එවැනි ප්‍රශ්ණ පෙනෙන්නේ නැත.

රුකී ප්‍රනාන්දුට එරෙහිව රාජපක්ෂ සමයෙහි පණවන ලද, 2014 මාර්තු මාසයෙහි ඔහු අත් අඩංඟුවට ගැනීම පිළිබඳව කතා කිරීමේ තහණම තව ම එළෙසම ය. ත්‍රස්ත විමර්ශණ අංශය එම වාරණය ඉවත් කිරීමට ඉඩ දෙන්නේ ම නැත.

ඔහු 2014 මාර්තුවෙහි දී අත්අඩංඟුවට ගැනුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. 2015 ජනවාරි ජනාධිපතිවරණයෙහි එක් පොරොන්දුවක් වූයේ එම දුෂ්ඨ පනත අහෝසි කරන බව ය. තවම එම පනත යටතේ පොලිස් මර්දනය ක්‍රියාත්මක වෙයි. ඊටත් වඩා නරකම දේ මෙයයි: එම පනත වෙනුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත අප කිසිවකු දැක නැතත් අන්තර් ජාතික පිරිස් විසින් දැක තිබේ. ඔවුන් කියන්නේ මෙම නව කෙටුම්පත සහමුලින්ම මානව හිමිකම් කෝණයෙන් අප්‍රමාණවත් බවයි.

රාජපක්ෂ පාලන සමයෙහි ගොඩ නඟන ලද ගෝඨාභයගේ deep state ක්‍රියාකාරිත්වය, එනම් දේශපාලන අධිකාරිය ඉක්මවා යන ආරක්ෂක අංශ සහ රාජ්‍ය බුද්ධි අංශයන්හි ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයන් මෙම ආණ්ඩුව යටතේ ද යම් දුරකට පවත්නා බව පැහැදිළි ය. නිදසුනක් නම් යුද හමුදා ජෙනරල්වරුන් ආණ්ඩුවේ පිළිවෙත්වලට පිටින් තවමත් දේශපාලන කතා පැවැත්වීම ය.

එනයින් රුකී ප්‍රනාන්දු ගුවන් තොටුපොළෙහි රඳවා ප්‍රශ්ණ කිරීම අප සැළකිය යුත්තේ අහම්බ සිදුවීමක් ලෙස නොවේ. ක්‍රියා දාමයක එක් සිදුවිමක් ලෙස ය. ඒ විසින් පෙන්නුම් කරන්නේ එක්කෝ ආණ්ඩුවේ මානව හිමිකම් ප්‍රවිශ්ඨයට ඉහළින් deep state ක්‍රියාකාරිත්වය තවමත් පවතින බව ය. නැත්නම් ආණ්ඩුව දැනුවත්ව ම මානව හිමිකම් ක්‍රියාකාරිත්වය මැඩළීමේ යෙදී සිටින බව ය. එසේත් නැත්නම් ආණ්ඩුව ගත යුතු පියවර ගැනීමට බැරිතරමේ කවර හෝ දුබලතාවයකින් පෙළෙන බව ය.

ආරක්ෂක අංශයන්හි ප්‍රතිසංස්කරණ කළ යුතු බවට 2005 සැප්තැම්බර් මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරයේදී සම්මත වූ යෝජනාවෙන් ශ්‍රී ලංකාණ්ඩුව පිළිගෙන තිබේ. තමන් විසින් කර ඇති එවැනි කවර හෝ ප්‍රතිසංස්කරණයක් ගැන ආණ්ඩුවට තවම නම් කියන්නට දෙයක් නැත.

  සුනන්ද දේශප්‍රිය

-  මෙලනි





2016-10-03
Advertisement

Find us on Facebook