English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


නීතියට පටහැනි ජනාධිපතිවරණයක් !



විරුද්ධ පක්ෂවලට ජනාධිපතිවරණයක් සඳහා සූදානම්වීමට ප‍්‍රමාණවත් කාලයක් නොලැබෙන ආකාරයට හා පාප් වහන්සේගේ ලංකා සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන අතර ඒ සඳහා 1988 අංක 30 දරන පනතින් සංශෝධිත 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ එන විධිවිධානවලට පටහැනිව අධිකරණයෙන් ලබාගන්නා අර්ථකථනයක් හා නියෝගයක් මගින් එම හදිසි වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම ආණ්ඩුවේ මුදුනේම සිටින බලවතුන් කිහිපදෙනකු විසින් රහසේ තීන්දු කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ප‍්‍රභවයකින් දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් රටක මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී පාප් වහන්සේ ඒ රටේ සංචාරය කරන්නේ නැත. පාප් වහන්සේගේ සංචාරය සඳහා ජනවාරි 13 සිට 15 දක්වා දින නියම කොට තිබෙන අතර එමසංචාරයේදී පාප්වහන්සේ උතුරටද යෑමට බලාපොරොත්තු වේ. එම සංචාරයෙන් පසු පාප් වහන්සේ කුමක් කියනු ඇත්ද? ඒ තත්ත්වය කතෝලික බැතිමතුන් කෙරෙහි කවර ආකාරයට බලපානු ඇත්ද යන ප‍්‍රශ්නයසැලකිල්ලට ගනිමින් පාප්වහන්සේගේ ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර ජනාධිපතිවරණයේ සියලූ කටයුතු අවසන් කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබේ.

එහෙත් එම හදිසි වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැගීමේදී ජනාධිපතිවරණ පනතින් ජනාධිපති වරණයක් සඳහා නියම කර තිබෙන කාර්ය පටිපාටිය සමග ගැටෙන තත්ත්වයක් ඇතිවිය හැකි බව මෙම උපයා මාර්ගික වැඩ පිළිවෙළේ නියමුවන් තේරුම් ගෙන තිබෙන අතර, ඒ නිසා ඇතිවිය හැකි ගැටලූ කල්තියා අධිකරණය මගින් විසඳාගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

අවුරුදු හතරේ කාලය සම්පූර්ණ වන නොවැම්බර් 19 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදිජනාධිපතිවරණයක් ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කළ හැකිය. ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපතිවරණ පනතේ එන ජනාධිපතිවරණයක් සඳහා වන කාර්ය පටිපාටිය පාප්වහන්සේ පැමිණීමට පෙර ක‍්‍රියාත්මක කිරීමේදී කාලය ප‍්‍රමාණවත් නොවීම පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නගී.

ජනාධිපතිවරණ පනතට අනුවජනාධිපතිවරණයක් ආරම්භ කොට අවසන් කිරීම සඳහා ලබාදී තිබෙන අවම කාලය දින 46කි. උපරිම කාලයදින 65කි.

1988දී ජනාධිපතිවරණ පනතට ඉදිරිපත් කළ සංශෝධනයට පෙර ඒ සඳහා ලබාදී තිබූ උපරිම කාලය දින 90ක් වූ අතර එය දින 65 දක්වා දින 25කින් අඩුකරන ලද්දේ එවකට රටේ පැවති ප‍්‍රචණ්ඩ වාතාවරණය සලකාය. ප‍්‍රචණ්ඩ ව්‍යාපාරවලට මැතිවරණය කඩාකප්පල් කිරීමට ඉඩ නොලැබෙන ලෙස ජනාධිපතිවරණය කෙටි කාලයක් තුළ පවත්වා අවසන් කිරීම එම සංශෝධනයේ අරමුණ විය.

මැතිවරණවලට එරෙහිව පැවති ප‍්‍රචණ්ඩ වාතාවරණය අවසන්වීමෙන් පසුත් උපරිම කාලය සඳහා වන සීමා වෙනස් කිරීමක් සිදු නොවීය.

දැන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නය වනුයේ පාප්වහන්සේගේ ලංකා සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කිරීමේදී එසේ කළ හැකිවන්නේ කප්පාදු කර තිබෙන උපරිම කාලය නොදී අවම කාලය ලබාදෙන ප‍්‍රතිපත්තියක් මගින් පමණය. එවැනි පිළිවෙතක් ජනාධිපතිවරණයක් පැවැත්වෙන කාලය ගැන කල්තියා දැන සිටි ජනාධිපතිවරයාට වාසිදායක විය හැකි වුවත් අනෙක් අපේක්ෂකයන්ට සාධාරණවන්නේ නැත.

අනෙක් අතට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (5) අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමකදී නාමයෝජනා කළයුතු දිනයද ඡන්ද විමසීම පැවැත්විය යුතු දිනයද තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය.

ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු දිනයේ උපරිම කාලය දින 25කින් අඩුකර තිබියදීත් උපරිම කාලයක් වෙනුවට අවම කාලයක් ලබාදෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නයක් පවතී.

එහිදී පාප්වහන්සේගේ පැමිණීම හා ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට තිබෙන හදිස්සිය දින නියම කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා යොදාගත යුතු නිර්ණායකයක් වන්නේ නැත.

එහිදී ඇතිවිය හැකි ව්‍යාකූලතාව ජයගැනීම සඳහා ජනාධිපතිවරයාගේ හතර වසර සම්පූර්ණවීමට පෙර නාමයෝජන දිනය ප‍්‍රකාශ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලකෙරෙන අධිකරණ අර්ථකථනයක් සමග අධිකරණ නියෝගයක් ලබාගැනීමට මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන මොළකාරයන්ගේ අපේක්ෂාව වී තිබේ.

ඔවුන් අපේක්ෂා කරන දේ එසේ සිදුවුවහොත් නාමයෝජනා සඳහා වන දැන්වීම ප‍්‍රකාශ වනු ඇත්තේ ජනාධිපතිවරයාගේ හතර අවුරුදු කාලය සම්පූර්ණවීමට පෙරය. නාමයෝජනා භාරගැනීම හා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත්තේ එම හතර අවුරුදු කාලය සම්පූර්ණවීමෙන් පසුවය. මෙය ජනාධිපතිවරණයක් සඳහා නීතියෙන් නියම කරන ලද පටිපාටිය විකෘති කෙරෙන නීතියට පටහැනි ක‍්‍රියාදාමයකි.

උපුටා ගැනීම රාවය පුවත්පත
-MMP



2014-08-10
Advertisement

Find us on Facebook