English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විග්නේෂ්වරන්ගේ දේශපාලනය පිටුවහල් කළ හැකිද?

ශ‍්‍රී ලංකාවෙි පැවැති සිවිල් යුද්ධය දෙමළ කොටි නායකත්වය, හමුදාව විසින් මරා දැමිමෙන් අනතුරුව 2009 දී අවසන් විය. එදා මෙදා තුර පැවති සහ පවතින ශ‍්‍රී ලංකා ආණ්ඩු, සාමය ගොඩනැංවීම සඳහා ප‍්‍රයත්නයන් සමුදායක් ගත් බවට ප‍්‍රකාශ වෙි.

විශේෂයෙන්ම පැවති මහින්ද රාජපක්ෂ අවධියේදී විශාල පරිමාණව යටිතල පහසුකම් සැපයීමී මගින් සාමය නැවත ගොඩනැගීම සඳහා අන්තවාදීව ක‍්‍රියාත්මක විය. යටිතල පහසුකමි සැපයීම මගින් සාමය ගොඩනැගීම අන්තවාදී වු බව ප‍්‍රකාශකල හැක්කේ එම ක‍්‍රියාවලින් ජනතා සම්මුතියෙන් ඇත්ව ජනතාව වෙත බලහත්කාරයෙන් පැටවීම හේතුවෙනි. හමුදාව නිරන්තරයෙන් ම වන්නියේ දෙමළ ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා මැදිහත්වීම මහින්දගේ ආණ්ඩුව සාධරණීකරණය කරනු ලැබුවේ ‘‘ත‍්‍රස්තවාදය නැවත හිසඑසවීම වැලැක්වීම සඳහා හමුදාවේ අවිහිංසක මැදිහත්වීමක් ලෙසය.” මෙකී දෘෂ්දෘෂ්ටිවාදය සහ රාජ්‍ය මර්ධනකාරී ප‍්‍රතිපත්ති උතුර සහ දකුණ තුල ප‍්‍රතික්ෂේප වන්නේ 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජිමය මහජන ඡන්දයෙන් පරාජය කිරීමෙනි.

එම ජනවාරි 08 වැනිදා සිදුවු පුද්ගල වෙනස මහජන ජයග‍්‍රහණයක් සහ මහජන විප්ලවයක් ලෙස අර්ථ ගැන්විණී. එහෙත් සැබවින්ම විප්ලවයක් සිදුවීද? රාජපක්ෂ පාලන යාන්ත‍්‍රණය තුළදී එළිපිටම රඟදැක්වු මර්ධනය ”යහපාලන ආණ්ඩුව” යටතේ රහසිගතව සිදුවීමට ආරම්භවෙමින් පෙනීයන්නේ මර්ධනයේ පුනරාගමනයයි.

විග්නේෂ්වරන් අපට මතක්කර දෙනු ලබන්නේ එම මර්ධනයේ නැවත ඉපදීමය. ජාතිවාදී සහ වාමාංශීක ව්‍යාපාරයන් එක පෙළට සිට ප‍්‍රතික්ෂේප කරන්නේද එම මර්ධනයයි. දෙමළ ඩයස්පොරාවේ රූපකයක් ලෙස හංවඩූ ගසමින් සැබවින්ම විග්නේෂ්වරන් නියෝජනය කරනු ලබන දේශපාලන මතය බැහැර කළ හැකිද?

2015 නොවැම්බර් මස සිට සති 08ක කාලයක් වන්නි භුමියේ රැදි සිටිමින් සැරිසැරු සිංහල අවිවාහක මා හට, විග්නේෂ්වරන්ගේ දේශපාලනික ඉල්ලීමි හී පවතින යථාර්තවාදී බව වටහාගත හැකිය. විග්නේෂ්වරන්ගේ දේශපාලන මතක් කිරීම් ප‍්‍රක්ෂණය කරනු ලබන්නේ වන්නියේ සැගවී ඇති දේශපාලනික අවශ්‍යතාවයි. විග්නේෂ්වරන්ගේ දේශපාලන ටොකු ඇනිල්ලෙන් මතක් කරනු ලැබූවේ තිස් අවුරුද්දු යුද්ධය හේතුවෙන් දරුවන්, නැසියන්, ජිවිත කාලය තුළ උපයාගත් සබ්බසකලමනාවම අහිමිකිරීම් මත ගොඩ නැගී ඇති වන්නිවරු වේදනාවය. ‘‘තියුණු අසිපතක සෙවනයට‘‘ කෘතිය පෙන්වා දෙන ආකාරයට නිදහස් කොටි හමුදාව තරවුයේ ස්වකැමැත්තෙන් සහ බලහත්කාරයෙන් බදවා ගත් ස්ත‍්‍රී – පුරුෂ ශ‍්‍රමයෙනි. 1972 සහ 1980 දශකයේදී නිදහස් කොටි ලෙසම ජනතා විමුක්ති පෙරමූණ ද දකණේ දරුවන් සහ දැරියන් තම ව්‍යාපාරයට බඳවාගත් අතර ජවිපෙ දේශපාලන මතය නොසලකන්නන් මරා දමන ලදී. කලකට පෙර දකුණ බලාපොරොත්තු වු එහෙත් නිසිලෙස ඉටුනොවු මර්ධනයට ලක්වු වන් සඳහා වන සාධාරණය අද උතුර ඉල්ලා සිටින්නේ නැවත නැගිටින කොටි ලෙස දෙමළ ජනතාව හංවඩු නොගසා, හමුදා කදවුරු ඉවත්කර, තමාගේ ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ඔබ මුලතිවි මාර්ගයෙන් කේපාපිලවි ගම්මානය වෙත පිවිසෙන විට ම ගුවන් හමුදා මුලස්ථානයක් හමුවේවි. එකී මුලස්ථානය ඉදිකරන ලද්දේ කේපාපිලව් ගම්වැසියන්ගේ මුල්ඉඩම් හමුදාව වෙත ලබා ගනිමිණි. 2004 සුනාමිය සහ දිග්ගැස්සුණු යුද්ධය විසින් මෙම වැසියන්ගේ ජිවිත සමිපුර්ණයෙන්ම අකර්මණ්‍යකර තිබේ. විවාහක ස්වාමිපුරුෂයා සහ ගොවිතැනට පැවති ඉඩම අහිමි විවාහක කතුන් දෛනික කුලීවැඩට ගුවන් හමුදා මුලස්ථානය පසුකරයන්නේ ගැහෙන හදවතිනි. ගැහැණු දරුවන් පාසැල් යාම තනිව කිසිවිටක සිදුනොකරන්නේ හමුදා ඉලන්දාරින්ගෙන් සහ පීතෘමුලික රාජ්‍ය තන්ත‍්‍රයෙන් රැකවරණය ලැබීම නිශ්චිත නොවන හෙයිනි.

සුනන්දිපුරම්, ධර්මපුරම් හි ජිවත් වු කාලය තුළ මා ලද අනෙක් අත්දැකීම නම් හමුදාව විසින් වන්නි ගම්මාන නිරන්තර සෝදිසියට ලක්කිරීමයි. දවසට තෙවරක් අවි අතින් ගත් බයිසිකලයේ නැගි හමුදා සොල්දාදුවන් ගම්මාන සෝදිසි කිරීම මගින් විද්‍යාමාන වන්නේ දෙමළ වන්නිවරු තවමත් විශ්වාසකළ නොහැකි බව නොවේ ද? ආයුධ අතැති පිරිමි හමුදා සොල්දාදුවන් නෛමිතික ප‍්‍රචණ්ඩත්වයේ සලකුණක් වන අතර එමගින් ජනතා වෙත සිදුවන තරවටුකිරීමක් ගම්‍ය වේ. ශ‍්‍රී ලංකාවේ ජනතා ව්‍යාපාර, වාමාංශික ව්‍යාපාර සහ ස්ත‍්‍රීවාදී ව්‍යාපාර මෙම නෛමිතික ප‍්‍රචණ්ඩත්වයන් ඉවසා සිටිම උබතෝකෝටියකි. විග්නේෂ්වරන් විසින් මෙම නෛමිතික ප‍්‍රචණ්ඩත්ව සහ ජනතා ව්‍යාපාරයන්හි නිශ්ශබ්දතාව ප‍්‍රශ්න කරණු ලැබේ. මෙකී ප‍්‍රශ්නකිරීම පවාදීමක් වන්නේ කෙසේද?

තියුණු අසිපතක සෙවන යට ලිවු තමිලිනි, තම කෘතිය තුළින් නිදහස් කොටි ව්‍යාපාරයේ දේශපාලන දෘෂ්ටිය පිලිබඳ විවෙිචනයක් සිදුකරණු ලබයි. එහෙත් එම ව්‍යාපාරයට සම්බන්දවීමේ හේතුකාරක සහ පෙළබවීම් ඇය සාධාරණය කරනු ලබයි. ඇය මෙන්ම දේශපාලන, ආර්ථික සහ සමාජීය පීඩනයට ලක්වු වන්නිවරු ආයුධ අතට ගැනීමෙන් විමුක්තිය සොයායන ලදී. යුද්ධයෙන් පසුව විමුක්ති කොටින්ගේ වැන්දඹුවන් සහ අනෙක් වැන්දඹුවන්, අපයෝජනයට ලක්වු ගැහැණුන් ඉල්ලා සිටින නිදහස, සමානාත්මතාවය පිළිබඳ මතක් කිරීමක් විග්නේෂ්වරන්ගේ දේශපාලන ප‍්‍රකාශන තුළ අන්තර්ගත වන්නේ එබැවිනි.

යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා බියකරු විය හැකි බවට සංඥා නිකුත් වෙමින් තිබේ. එසේ වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මර්ධන දේශපාලනය සිදුකරණු ලැබූවෙි එලිපිටය. ප‍්‍රකෘති මුහුණේන් යුතුවය. යහපාලන ආණ්ඩුව විසින් මර්ධන දේශපාලනය සිදුකරණු ලබන්නේ වෙස්මුහුණක් සහිතව සැගවීගෙනෙ බව ඇතැම් සිදුවීම් වලින් පෙන්වීම ආරම්භ වී තිබේ. මහින්දගේ ප‍්‍රකෘතිය සිංහල බෞද්ධ ජනපි‍්‍රය දේශපාලනයට ආමන්ත‍්‍රණය කළ අතර, වර්ථමාන යහපාලන ආණ්ඩුව සිංහල බෞද්ධ සහ දෙමළ හිතැති ජනප‍්‍රිය දේශපාලනය මගින් දේශීය සහ අන්තර්ජාතික ප‍්‍රජාව පක්ෂපාතිකර ගැනීමට උත්සුක වී ඇත. නමුත් විග්නේෂ්වරන් සහ ඔහුගේ දේශපාලනික දර්ශනය, ‘යහපාලන ආණ්ඩු ප්‍රෝඩාව‘ හෙලිකිරීමට උත්සුකවේ. උත්ප‍්‍රාසය නම් විග්නේෂ්වරන් ‘දේශදෝහියකු’ සහ ‘ප‍්‍රතිගාමියකු‘ ලෙස වාමාංශික කණ්ඩායම්, ජාතිකවාදීන් සමඟ එක්ව මෙකී යහපාලන ආණ්ඩුව විසින් ද නොසලකාහැරීමය. එබැවින් මේ ‘දේශපාලනික නොසලකා හැරීම‘ යනුම අයුක්තිසහගත ලාංකීය අතීතිය නැවත නැවතත් මුණගැසීම නොවේ ද?

අරුණි සමරකෝන් | Aruni Samarakoon


උපුටා ගැනීම - විකල්ප


-  මෙලනි






2016-10-01
Advertisement

Find us on Facebook