English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මන්ත්‍රීවරුන්ගේ විදෙස් චාරිකා: අධ්‍යයන චාරිකා ද? විනෝද චාරිකා ද?
1978 ව්‍යවස්ථාවට කරන ලද 13 වැනි සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ අපේක්ෂා කළ ප්‍රධාන අරමුණු දෙකක් විය. ඒ වන විට තීරණාත්මක කඩඉමකට පැමිණ තිබුණ උතුරු නැ‍ඟෙනහිර ගැටලුවට විසඳුමක් ඒ හරහා ලබා දීම මෙන්ම බලය විමධ්‍යගත කිරීම හරහා පරිපාලන කාර්යක්ෂමතාවක් ඇති කිරීම එහිදී ප්‍රධාන විය. තවත් වසර දෙකකදී තම තිස්වන සංවත්සරය සමරන මුත් පළාත් සභා ක්‍රමය එම අපේක්ෂිත ඉලක්කයන්හි ආසන්නයට හෝ ගමන් කර නොතිබීම කැපී පෙනෙන තත්ත්වයකි. පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් එය ස්ථාපිත කළ මොහොතේ සිටම අද දක්වාම සමාජගතව ඇත්තේ ජනතා බදු මුදල් කාබාසිනියා කරන “සුදු අලියෙකු” බවය. ආරම්භයේ සිටම තදබල විවේචන එල්ල වුවද එය තවමත් සමාජය ක්‍රමය තුළ විරාජමානව පැවතීම සැබැවින්ම විස්මයජනකය. පළාත් සභා ක්‍රමයේ සාර්ථකත්වය පිළිබඳ කතාන්දර වෙනුවට නිතර අපට ඇසෙනුයේ එහි අසාර්ථකත්වය, අතාර්කික බව පිළිබඳ කතාන්දරය. පළාත් සභා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ යළි රට තුළ කතාබහක් ඇති වූයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසකගේ රුසියානු අධ්‍යයන චාරිකාවක් මුල්කරගෙනය.

පසුගිය මුදල් වර්ෂයට අදාළව සැලසුම් කළ ව්‍යාපෘති දෙදහස් නවසිය අනූහයෙන්, දෙසීය පනස් අටක් මුදල් නොමැතිකම හේතුවෙන් නතර වී ඇති පසුබිමක පළාත් සභාව සතු අරමුදල් යොදා ගනිමින් ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පුද්ගලයන් සැප සවාරිහි යෙදීම කිසිදු ලෙසකින්වත් සාධාරණීය කළ නොහැකි තරම්ය. එය, ආරම්භයේදීම සඳහන් කරන්නෙමු.

මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට පමණක් දෙවැනි වරප්‍රසාද භුක්ති විඳින පළාත් සභා මන්ත්‍රීවරුන්ට විදෙස් අධ්‍යයන චාරිකා සඳහා අවස්ථා ලබාදීම වසර ගණනාවක සිට වාර්ෂිකව හිමි වෙයි. මෑතක් වන තෙක්ම ඒ සඳහා තායිලන්තය වැනි රටවල් තෝරා ගත්ත ද පසුගිය මාසයේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් රුසියාවේ සංචාරය කිරීමත් සමඟ සෙසු පළාත් සභා ද එය පූර්වාදර්ශය බවට පත් කර ගත් බව මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ ගමන සමඟ පෙනී යයි. ජනාධිපතිවරයාගේ නියමයෙන් පසුව නවතන ලද මෙම චාරිකාවේ එක් අදියරක් වෙනුවෙන් රුපියල් මිලියන 30 කට අධික මුදලක් වැය කිරීමට සූදානමින් සිටි බව වාර්තා විණි.

අධ්‍යයන චාරිකා ලෙස හැඳින්වුවද මේවා තනිකරම විනෝද චාරිකාය. ඇත්ත එයයි. අවිවේකී දේශපාලන ජීවිතයෙන් මිදී දින කිහිපයක් නිදහසේ තමන්ට අවශ්‍ය ආකාරයට ගත කිරීමට එය දේශපාලනඥයන්ට අවස්ථාව ලබා දෙයි. සාමාන්‍යයෙන් අධ්‍යයන චාරිකාවක් සිදුකළ යුත්තේ තමනට සමාන්තර මට්ටමේ අත්දැකීම් සහිත දියුණු පරිපාලන ක්‍රම හා ව්‍යුහයන් ස්ථාපිත රටවලට වුවද පුදුමයකට මෙන් ඉගෙන ගැනීමට යැයි කියමින් පළාත් සභා මන්ත්‍රීවරුන් සංචාරයේ යෙදෙනුයේ “සැප” ඇති රටවල පමණි. ඉන්දිය‍ාවේ ක්‍රියාත්මක පංචායත් ක්‍රමය පිළිබඳ අධ්‍යයනයකට මන්ත්‍රීවරුන්ව නම් කළහොත් රුසියාවට යෑමට පොර කන පිරිසෙන් අඩක් හෝ එහි යනු ඇතැයි අනුමාන කළ නොහැකි තරම්ය. අනෙක් අතට තමන්ගේ මුදල් භාවිත කරමින් රුසියාවේ සංචාරයක ‍නිරත වෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් මේ එකදු පුද්ගලයකු හෝ එසේ කරනු ඇතැයි ද විශ්වාස කළ නොහැකිය. මෙම ගමන් අධ්‍යයන චාරිකා ලෙස හැඳින්වුවද යළි මෙරටට පැමිණි පසු අඩුම තරමින් ඒ පිළිබඳ පත්‍රිකාවක් සැකසූ, වාර්තාවක් ලබාදුන් පළාත් සභා මන්ත්‍රීවරයකු පිළිබඳව පසුගිය ඉතිහාසය තුළ අප නම් අසා නොමැත.

පසුගිය ජනවාරියේදී ද මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරු මේ ආකාරයට සිංගප්පූරු සංචාරයක නිරත වූ අතර එහිදී සාප්පු සවාරියේ යෑමට වඩා වැඩි දෙයක් සිදු නොවුණි. එම සංචාරය තවත් අතකින් මධ්‍යම පළාත් සභාවට කළු ලපයක් එක් කළේ ගමන තුළ සිදුවූ නොමනා ක්‍රියාවක් නිසා එක් මන්ත්‍රීවරයකු සතියක කාලයක් අත්අඩංගුවේ පසු වූ බැවිනි.

පළාත් සභා ක්‍රමය මෙරටට ස්ථාපිත කළ පසු මුල්ම වසරේදී රට පුරා ඇති පළාත් සභා සියල්ලටම මධ්‍යම රජය ලබා දුන්නේ රුපියල් කෝටි නවයක මුදලක් පමණි. නමුත් 2016 වසරේදී රුපියල් බිලියන එකසිය හැටතුනක මුදලක් මධ්‍යම රජයෙන් පළාත් සභාවලට ලබා දී ඇත. රජය එසේ පිරිනමනුයේ බදු හා බදු නොවන ආදායම මඟින් තමන්ට ලැබෙන මුදල්ය. අනිත් අතට විවිධ බදු පැනවීම හරහා පළාත් සභා ද වාර්ෂිකව විශාල මුදල් ඉපයීමක් ස්වයංව සිදු කරයි. අධ්‍යයන චාරිකා යැයි කියන මේ ගමන්වලට වැය කරනුයේ ජනතාවගෙන් අය කරන එම බදු මුදල්ය. එබැවින් මෙම විගඩම් පිළිබඳව ප්‍රශ්න කිරීමේ සදාචාරාත්මක හැකියාවක් පුරවැසියන් සතුව පවතී.

ජනතා මුදල් අවභාවිතාවේ ‍යොදවමින් විදේශ සංචාරයන්හි නිරත වීමේ කැත පුරුද්ද පශ්චාත් නිදහස් සමයේ සිටම දැකගත හැකි මුත් එය “විලාසිතාවක්” බවට පත් වූයේ රාජපක්ෂ යුගයේදීය. “ජම්බෝ” දූත කණ්ඩායම් සමඟින් ජාත්‍යන්තර සමුළුවලට හා විදේශ සංචාරවලට එක්වීම රාජපක්ෂ යුගයේ අතිශයින්ම සාමාන්‍යකරණය වී තිබිණි.

ජනාධිපතිවරයා පමණක් නොව ඇතැම් මැති ඇමැතිවරුන් ද පවුල් පිටින් පිටරට ගමන්වල නිරත වූ අවස්ථා ඒ සමයෙහි අනන්තවත් දක්නට ලැබිණි. වරක් කොලොම්බියාවේ මෙඩිලින්හි 2014 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර පැවැති ජාත්‍යන්තර සමුළුවකට විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා ඒ වන විට දහයේ පන්තියේ ඉගෙනුම ලැබු තම පුත්‍රයා වූ විභූතිව රැගෙන ගොස් තිබුණේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමට ඔහුගේ නමද ඇතුළු කරමිනි. එදාට සාපේක්ෂව වර්තමානයේ එම තත්ත්වයෙහි පැහැදිලි වෙනසක් දැකගත හැකි මුත් තවමත් එය මුළුමනින්ම නතර වී නොමැති බව කිව යුතුය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා වැනි ඉහළ ප්‍රභූන් පෞද්ගලිකවම එවැනි සන්දර්ශනවලට අකමැත්තක් දක්වමින් ගරු කටයුතු ආදර්ශවත් හැසිරිමක් ප්‍රදර්ශනය කළ ද තවමත් ඉහත කී නිෂේධනාත්මක දෑට අනුබල දෙන කණ්ඩායම් “යහපාලනය” තුළ ද දැකගත හැකිය. පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට රාජපක්ෂ සමයේ තරමට නොවුණත් විශාල දූත පිරිසක් මෙරටින් සම්බන්ධ වීම, ජනවාරි 08 පාලන වෙනස සිදු කිරීමට කැප වූ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ අතර එතරම් පිරිසක් රැගෙන ගියේ බත් තැම්බීමට දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබිණි. තම භූමිකාව හා හැසිරීම තුළ නිතරම සරලකම හා නිහතමානීත්වය ප්‍රදර්ශනය කරන නායකයන් දෙදෙනෙකු රටේ ඉහළම පුටුවල සිටියදී එවැන්නක් සිදුවීම බොහෝ දෙනා ප්‍රශ්න කර තිබිණි. රටේ රාජ්‍ය නායකයා සම්බන්ධ වන ජාත්‍යන්තර සමුළු ආවරණය කිරීම සිදු කළ යුතු මුත් මේ සා විශාල පිරිසක් ඒවාට සම්බන්ධ කරගත යුතු ද යන්න ප්‍රශ්නාර්ථයකි. පොදුවේ ගත් විට නොමිලේ ලැබෙන මේ විදේශීය සංචාර සඳහා වැඩිම “ගිජුකමක්” දක්වනුයේ පොදු අවකාශය තුළ විදේශීය කුමන්ත්‍රණ පිළිබඳව පැය විසිහතරේම කතා කරන මහත්තුරුන් වීම විශේෂත්වයකි. පොදු අවකාශය හා පෞද්ගලික අවකාශය තුළ මේ “මහත්වරුන්” හැසිරෙනුයේ පැහැදිලිවම එකිනෙකට වෙනස් ආකාරයටය.

නූතන තාක්ෂණික දියුණුව සමඟින් විශ්වය එකම ගම්මානයක් බවට පත් වී ඇති මොහොතක දැනුම ලබා ගැනීමට යැයි කියමින් අධ්‍යයන චාරිකා ලෙස විදේශ සංචාරයන්හි නිරත වීම අර්ථ විරහිත ක්‍රියාවකි. සැබෑ වුවමනාවක් ඇත්නම් නවීන තාක්ෂණික විධි ක්‍රම හරහා අවශ්‍ය දැනුම පහසුවෙන් උකහා ගත හැකිය. ඒ වෙනුවෙන් ඒ අදාළ රටට ජනතා බදු මුදල් නාස්ති කරමින් යා යුතුම කියා දෙයක් නොමැත. අනෙක් අතට සතියකින් දෙකකින් යමක් ඉගෙන ගැනීමට හා තදින් ග්‍රහණය කර ගත හැකි ද යන්න තවත් කාරණයකි. පළාත් සභා මැති ඇමැතිවරුන්ට පමණක් නොව රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට ද මේ කාරණය එකසේ අදාළය. “අධ්‍යයනය” යනු මැති ඇමැතිවරුන්ට කටගැස්මකට වඩා වැඩි දෙයක් නොවේ. පාර්ලිමේන්තුව සතුව වටිනා පුස්තකාලයක් ඇතත් එය භාවිත කරනුයේ අතළොස්සක් වූ මන්ත්‍රීවරු පමණි. එනිසාම පාර්ලිමේන්තු වාද විවාද හි පැවැතිය යුතු ගුණාත්මක තත්ත්වය මේ වන විට බරපතළ ලෙස කඩා වැටී තිබේ. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්වීම විෂයයෙහි එම සාරගර්භ භාවය ගිලිහීම ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ දෙනා හඳුන්වති.

පුරවැසියන් හා මහජන නියෝජිතයන් අතර අනුපාතය ගත් විට ශ්‍රී ලංකාව සෙසු රටවල් සමඟ ඉහළින්ම ස්ථානගතව සිටී. මිලියන 1200 කට වැඩි ජනගහනයක් සිටින ඉන්දියාවේ මන්ත්‍රීවරු 545ක් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් සිටින මේ රටේ ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරු හාරසිය විසිහත් දෙනෙක් ද සිටිති. දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනයන්හි මන්ත්‍රීවරු ද හාරදහස් හාරසිය අසුහය ද ඊට එකතු කළහොත් මෙරට සිටින මුළු මහජන නියෝජිතයින් සංඛ්‍යාව පන්දහස් එකසිය තිස්අටක් පමණ වේ. එනම් සෑම පුරවැසියන් හාරදහස් තුන්සියයකටම එක් මහජන නියෝජිතයෙක් බැගින් අපට සිටී. ඉදිරියේදී පළාත් පාලන ආයතන සඳහා තෝරා ගනු ලබන නියෝජිතයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා වී ඇති පසුබිමක මෙම අනුපාතය තවත් අඩුවිය හැකිය.

අවසාන විග්‍රහයේදී මේ සියලු දෙනාගේ වැය බර දැරීමට සිදුව ඇත්තේ රටේ බදු ගෙවන ජනතාවටය. ජනතාව ඉහළ පිරිවැයක් මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා මෙම කොට්ඨාසය වෙනුවෙන් දැරුව ද ඊට පෙරළා ප්‍රතිලාභ සමාජයට ලැබෙනවා ද යන්න ගැටලුවකි. කසළ බැහැර කිරීම, විදුලි බල්බ නඩත්තුව, මාර්ග සංවර්ධනය වැනි කාරණාවලදී පවා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් පසුපස යෑමට සිදුවන්නේ නම් පළාත් සභා හා පළාත් පාලන ආයතන තවදුරටත් පවත්වාගෙන යා යුතු ද යන ප්‍රශ්නාර්ථය මතු වෙයි. රටේ පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා ඇති තත්ත්වයක් තුළ වුවද නිලධාරී පාලනය යටතේ ඒවා බිඳ වැටීමකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වේ. එබඳු තත්ත්වයක් තුළ පළාත් පාලනය සඳහා මහජන නියෝජිතයන් අවශ්‍යම ද යන තර්කය මතු කරයි. සැබැවින්ම මේ රටට අද අවශ්‍යව ඇත්තේ වැඩි වැඩියෙන් තනතුරු නිර්මාණය කිරීම නොවේ. තනතුරු වෙනුවට අද අවශ්‍යව ඇත්තේ රට ඉහළට නැංවීමේ වුවමනාව පමණි. ඒ සඳහා වූ ස්වර්ණමය අවස්ථාවක් මේ වන විට රට අභ්‍යන්තරිකව මෙන්ම ඉන් පරිබාහිරව ද නිර්මාණය වී ඇත. අද මෙරටේ ක්‍රියාත්මක වනුයේ සම්මුතිවාදී පාලනයකි. රටේ ප්‍රධාන පක්ෂ දෙක නිශ්චිත පොදු අරමුණක් වෙනුවෙන් එහිදී එකට එක්ව ඇත. ඒ තුළ රටකට ඉදිරියට යෑමට අවශ්‍ය විශාල ශක්තියක් වන දේශපාලන ස්ථාවරත්වය රට තුළ තහවුරු වී ඇත. එබැවින් මෙම අවස්ථාව පරිස්සමින් යුතුව අප කළමනාකරණය කර ගත යුතුව තිබේ.

බාහිර සාධක දෙස බලන විට ආසියාව යළි ලොව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය බවට පත් වෙමින් සිටී. කාර්මික නිෂ්පාදනය අතින් වසර එකසිය දහසයක් පුරා ඇමෙරිකා එක්සත් ජනපදය භුක්ති විඳි අනභිභවනීය තත්ත්වය චීනය මේ වන විට අත්පත් කරගෙන ඇත. මේ වන විට අපනයන අතින් ඉදිරියෙන් පවතිනුයේ චීනයයි. ඩොලර් සංචිතවලින් අති බහුතරය භාවිත කරනුයේ ආසියාවය. ඉන්දියන් සාගරය ලොව වැදගත්ම සාගර කලාපය බවට පත්වෙමින් සිටී. ඉරාකය, ඉන්දුනීසියාව අතර කලාපය ලෝකයේ නාවික හා ගුවන් ගමන් වැඩිම කලාපය බවට පත්වෙමින් සිටි. එහි මධ්‍යයේ පිහිටි රටක් ලෙස එම පිහිටීම නිසි ලෙස ආයෝජනය කළහොත් ශ්‍රී ලංකාවට ද පහසුවෙන් ලොව බලගතු රටක් බවට පත් විය හැකිය. එම භූ දේශපාලනික වාසිය තුළ ඉදිරියට යෑමට අවශ්‍ය වනුයේ යහපත් අවංක ලාභ චේතනාවෙන් තොර, ජනතා මුදල් ගසා නොකන අධිෂ්ඨානයක් පමණි. සමාජයටම මඟ පෙන්වන්නන් ලෙස මහජන නියෝජිතයන්ට එහිදී පැවැරි ඇති වගකීම සුළුපටු නොවේ.

  චාමර ලක්ෂාන් කුමාර

-  මෙලනි






2016-10-01
Advertisement

Find us on Facebook