English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විවියන් ගුණවර්ධන, කාන්තාව, ප‍්‍රජාතන්ත්‍ර​වාදය සහ නව ව්‍යවස්ථාව

විවියන් ගුණවර්ධන

වයලට් විවියන් ගුණවර්ධන ඡන්ම ශත සංවත්සර උත්සවයේ සංවිධායක මණ්ඩලයට පළමුව මම ස්තුතිවන්ත වෙනවා, මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම ගැන

විවියන් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ දේශපාලන නායිකාවකගේ ජීවිතය සමරන උත්සවයකදී මට කථා කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි.

මෙම දේශනයට සූදානම්වීමේදී විවියන් ගුණවර්ධන ගැන ලියවුණු බොහෝ දේ කියෙව්වෙමි. ඇය විස්තර කිරීමට භාවිතා කෙරුණු වචන කිහිපයක් මා කිය වූ සෑම ලිපියකම පාහේ දක්නට ලැබුණි. එනම් සටන්කාමී කැරලිකාරී විප්ලවකාරී චතුර යන වචන නිතර ඇයව විස්තර කිරීමට භාවිතා කර තිබුණි. සාමාන්‍යයෙන් කාන්තාවක් විස්තර කරන්න භාවිතා නොවන වචන විශේෂයෙන්ම කාන්තාවක් ප‍්‍රශංසා කිරීමට භාවිතා නොකරන වචන මේවා කියවන විට විවියන් ගුණවර්ධන පිළිබඳව විශාල කුතුහලයක් මා තුළ ඇති විය.

ඉතාමත් සම්ප‍්‍රදායිකව හැඳුනු වැඩුණු රදල, ඉහල පාන්තික පසුබිමක කාන්තාවක් ඇගේ සමාජයෙන් පැණවූ තහංචි බිඳ ප‍්‍රගතිශීලී සහ සටන්කාමී දේශපාලන කි‍්‍රයාදරියක් සහ නායිකාවක් බවට පත්වූයේ කෙසේද? විශේෂයෙන් ඒ වකවානුව තුළ ඉහළ පාන්තික කාන්තාවන්ගේ උරුමය වූයේ හොඳ බිරින්දෑවරුන් සහ මව්වරුන් වීමය. අද දවසේ වුවද එය ඒ තරම්ම වෙනස් වී නොමැත. නමුත් කාන්තාවන්ට උරුම වූ එම සම්ප‍්‍රදායික භූමිකාව බිඳ වෙනස් ජීවිතයක් ගත කිරීමට ඇයට ධෛර්යය, මගපෙන්වීම සහ උත්තේජනය ලැබුණේ කෙසේද? මා විවියන් ගුණවර්ධන සහෝදරිය පිළිබඳව අසා ඇති සහ කියවා ඇති දේ අනුව ඇය සාධාරණය හා යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි කෙනෙක. නිර්භීතව නොසැලී ඇය විශ්වාස කළ දේ වෙනුවෙන් සටන් කරපු කෙනෙක්.



හරිනි අමරසූරිය

මා සිතනා ආකාරයට විශේෂයෙන්ම වාමාංශික දේශපාලනයට අද අවශ්‍ය වී ඇත්තේ මෙවන් චරිත. 1980 ගණන්වල සිදුවුණු දේශපාලන හා ආර්ථික වෙනස්කම් නිසා නවළිබර්ල් මතවාදයේ දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය සමග විකල්ප දේශපාලන හා ආර්ථික මතවාද නැති වී ගිය යුගයක් ලෙස සැලකිය හැකිය. මෙම කාලය තුළ ලංකාවේ වාමාංශික දේශපාලඥයන්ගේ සහ මත දරන්නන්ගේ ආත්ම විශ්වාසය විනාශ වී ගිය යුගයකි. කොතරම් දුරට වමේ දේශපාලඥයින්ගේ සහ මතදරන්නන්ගේ ආත්ම විශ්වාසය නැතිවුණාද කිවහොත් අද ඔවුන් සමාජවාදී සමාජ පරිවර්ථනයක් ගැන කථාකරනවා වෙනුවට ධනවාදී සමාජය තුළ ප‍්‍රායෝගික සහ යථාර්ථවාදී දේශපාලනයක් කිරීම යන තැනට පසුබැස ඇත. නමුත් මේ වන විට විකල්ප දේශපාලන පිළිබඳ දාර්ශනික සාකච්ඡුාවන් සහ අත්හදා බැලීම්වලට ලෝකය යොමු වී ඇත. නමුත් අවාසනාවකට ලංකාවේ වමට අද ගෝලීය වශයෙන් සිදුවන සුවිසල් වෙනස්වීම් සහ ප‍්‍රවනතා පිළිබඳ සංවේදීතාවය ඉතා අඩු බවයි මගේ හැඟීම. සම්ප‍්‍රදායිකව සමාජවාදී නැඹුරුවක් අති ලතින් ඇමෙරිකානු රටවල් පමණක් නොව ධනවාදයේ කේන්ද්‍රස්ථාන වන බටහිර යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ වුවද අද නව ලිබර්ලිවාදයේ අවසානය, ධනවාදයේ අර්බුදය, වෙළඳපොලේ අර්බුදය, ගෝලීය මූල්‍ය ආයතනය හා ප‍්‍රාග් ධනයේ දූෂණය ගැන සාකච්ඡුාවෙමින් විවිධ අරගල හරහා නව දේශපාලන ප‍්‍රවනතා බිහිවෙමින් පවතී. නමුත් ඊට ප‍්‍රතිපක්ෂව අප තවමත් නව ලිබරල්වාදය සහ ධනවාදය නූතනත්වය සහ අලූත් දෙය නියෝජනය කරන මතවාදය ලෙෂ සලකමින් පවතී. අවම වශයෙන් අද ලෝකය මුහුණපාන ප‍්‍රධානතම ගැටන්‍දාවක් වන ස්වාභාවික සම්පත්වල සීමාවන්, දේශගුණ විපර්යාස වැනි ගැටන්‍දා නිසා ධනවාදය පවත්වා ගෙන යාමට අවශ්‍ය අසීමිත පරිභෝජනය සහ අසීමිත ආර්ථික වර්ධනයට ඇතව තියෙන අභියෝග පවා අපට නොපෙනෙන සුන්‍දාය. අප තවම කථා කරන සංවර්ධන මාදිලිය ෆොසිල් ඉන්ධන මත යැපෙන ආර්ථික වර්ධනය ගැන පමණක් හිතන සම්ප‍්‍රදායික සංවර්ධන මාදිලියක්. විවියන් ගුණවර්ධන අද ජීවතුන් අතර සිටියානම් අප සමාජය තුළ දිනෙන් දින උග‍්‍ර වන අසමානතා අසාධාරණ ගැන ඇය කුමක් කරයිද? අපට මේ සිදු වී ඇත්තේ කුමක්ද? ලංකාවේ වමට සිදු වී ඇත්තේ කුමක්ද? අපගේ ප‍්‍රගතිශීලී සහ සටන්කාමී දේශපාලන නායකයන් කොහිද? අපගේ විකල්ප මතවාද කොහිද?

මා සිතනා අන්දමටට සාම්ප‍්‍රදායික රදල පවුලක ගැහැණු දරුවෙකුට උරුම වූ ජීවිතයෙන් බිදී, සාම්ප‍්‍රදායික නොවුණු නිදහස් ජීවිතයක් ගත කිරීමට හැකි වුනු විවියන් ගුණවර්ධන චරිතයේ තිබුණු ඒ නිර්භීත, හිතුවක්කාර, කැරලිකාර ගති ලක්ෂණවල අවශ්‍යතාවය ඉතා තදින් දැනෙන මොහොතක් මේ. විකල්ප මතවාදවල ශඛ්‍යතාවය පෙන්නුම් කෙරෙන විප්ලවකාරී චරිතයන් අපට අත්‍යවශ්‍ය වී ඇත.

පසුගිය කාලය තුළ මා ලැබූ අත්දැකීම් කිහිපයක් තුළින් මට හැඟී ගිය දෙයක් ඇත. එනම් ලංකාව තුළ යම් කිසි වෙනසක් ඇති කිරීමට නම් අප කි‍්‍රයාත්මක වන ආකාරයේ විශාල වෙනසක් අවශ්‍ය වන බවත්, ඒ වෙනස ඇති කළ හැකි හෝ අවම වශයෙන් ඒ සඳහා උවමනාවක් ඇති දේශපාලන නායකයන්ගේ හිඟ බවය. අප 2015 වෙනසක් ආරම්භ කළෙමු. වෙනසක් ඇති කිරීමට අත්‍යවශය වුණු එක් කාරණයක් ඉෂ්ඨ වුණු නමුත් ඒ වෙනසට මගපෑවේ දේශපාලන නායකයන්ගේ දක්ෂකම ද නැතහොත් බහුතරයක් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා තියෙන සහජ උවමනාව ද? යන්න නැවත නැවත සිතිය යුතුව ඇත. ඔව් 2015 වෙනස තුළින් අවස්ථාවන් කිහිපයක් විවෘත වී ඇත. නව ව්‍යවස්ථාවක්, ජාතික ප‍්‍රශ්නයක විසඳුමක්, සංහිඳියාව ගැන කථාබහක්, ජනතාවට දේශපාලන කි‍්‍රයාවලිය තුළ සකී‍්‍රයව සහභාගීවීමට අවස්ථා වැනි වෙනස්කම් සිදු වී ඇත. නව ව්‍යවස්ථාව සහ සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ මහජන අදහස් ලබාගනිමින් සිටී. නමුත් ජනතාවගේ අදහස් ලබා ගැනීමත් ඇත්ත වශයෙන්ම තීරණ ගන්නා කි‍්‍රයාවලියත් අතර ඇති සම්බන්ධය මොකක්ද? අප ඉතිහාසය තුළ ජනතා අදහස් ලබාගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. අප රටේ මහජන අදහස් ලබා ගැනීමේ කොමිසන් කොතරම් ප‍්‍රමාණයක් තිබී ඇත්ද? අවසානයේ මේ කොමිසන්වල ඉරණම කුමක් වූයේද? අවසානයේ තීරණ ගත්තේ කවුරුන්ද? තීරණ ගත්තේ කෙසේද? අවසානයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාධාරණත්වය, සමානාත්මතාවය නිර්වචනය කෙරුණේ කෙසේද? මෙම කොමිසන් වාර්තාවලින් තැබුණු නිර්දේශ සහ උගත යුතු පාඩම්වලට සිදු වූයේ කුමක්ද? සිදුවන්නේ කුමක්ද?

ඔබ සමහරක් දන්නා පරිදි නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙස සේවය කිරීමට මට පසුගිය කාලයේ අවස්ථාවක් ලැබුණි. අප එම කර්තව්‍ය සඳහා රට වටේ ගමන් කරමින් මිනිසුන් සමග ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණි. මට දිස්ති‍්‍රක්ක 07කට පමණ යෑමට මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඉඩ ලැබුණි. මෙම කි‍්‍රයාවලියට ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වුණු බව අප නිරීක්ෂණය කළෙමු. මා විශේෂයෙන් දුටු දෙයක් නම් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සංවිධානය වෙමින් අප වෙත පැමිණ යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. අප ගිය සෑම දිස්ති‍්‍රක්කයකම කාන්තාවන් පැමිණ නව ව්‍යවස්ථාවකට යෝජනා ඉදිරිපත් කළා පමණක් නොව දවසම රැුදී සිටිමින් මෙම කි‍්‍රයාවලියට සකී‍්‍රයව සහභාගී වනු දක්නට ලැබුණි. මෙම කාන්තාවන් ඉදිරිපත් කළ යෝජනාවල පැහැදිලි වෙනසක් මම දුටුවෙමි. ඔවුන්ගේ යෝජනා පිටුපස තිබුණේ ජීවත් වීමට කරනු ලබන අරගලයක් තුළ අත්දැකීම්ය. උදාහරණයක් ලෙස ළමයින්ට අධ්‍යාපනය ලබා දීමේදී මුහුණ දෙන ගැටළු, සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදී මුහුණදෙන ගැටළු, සමාජ ආරක්ෂන අයිතීන් නැති වීමත ගෘහය තුළ හා සමාජයේ ප‍්‍රචණ්ඩත්වය සහ බලහත්කාරකම් නිසා මුහුණදිය යුතු තත්ත්වයන්, යුද්ධය නිසා පවුලේ සාමාජිකයන් අතුරුදහන් වීම සමග ඇති වන ගැටළු, ජීවනෝපාය මාර්ග නැතිවීම, ණය බරින් පෙලීම, සම්ප‍්‍රදාය සංස්කෘතිය හා ආගම නමින් පාලනයට ලක්වීම, යනාදී කරුණු ඔවුන් අප වෙත ඉදිරිපත් කළහ. මෙම ප‍්‍රශ්න හා ගැටළු තුළින් හෙම්බත් වී එම තත්ත්වයන් වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් පැමිණ සිටියහ. නව ව්‍යවස්ථාව තුළින් ඔවුන් බලාපොරොත්තු වූයේ ඔවුන් මුහුණදෙන අසාධාරණකම්වලින් ආරක්ෂාවයි. මෙම කාන්තාවන් බොහෝමයක් මෙම ප‍්‍රශ්න ඉදිරිපත් කළ පළමු අවස්ථාව ද මෙය නොවිය. එල්.එල්.ආර්.සී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නියෝජිතයන් ඉදිරිපිට පරණගම කොමිසම යන විවිධ කොමිසම් විද්වතුන් ඉදිරියේදී විවිධ අවස්ථාවන්හිදී තමන්ගේ ප‍්‍රශ්න ඉල්ලීම්, යෝජනා සහ නිර්දේශ ඔවුහු ඉදිරිපත් කර ඇත. මා පුදුමයටපත් වුණු එක් කරුණක් නම් මොවුන් විසඳුම් සෙවීම සහ අපේක්ෂා කිරීම අතහැර නොතිබීමයි. මා හිතනා අන්දමට විවියන් ගුණවර්ධන ඔවුන්ගේ මේ ලක්ෂණය අගය කිරීම නිසැකයි.

මේ කාන්තාවන් ඉල්ලා සිටියේ කුමක්ද? ගෘහය හා සමාජය තුළ සාධාරණත්වය, සමානාත්මතාවය සහ යුක්තිය. ඔවුන් කියා සිටියේ කුමක්ද? අපට සාමය අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. නමුත් අපට සාමය සාධාරණත්වය සහ සමානාත්මතාවයේ නාමයෙන් විවිධ වූ බලාධිකාරයන්වලට යටත් වීමට සූදානම් නැති බවයි. බලපෑම්වලින් නිදහස්ව ජීවත්වීමට ඇති අයිතියයි. තමන්ගේ තීරණ ගැනීමට ඇති අවකාශය, එකිනෙකාට යටත් නොවී ජීවත් වීමට තිබෙන වුවමනාවයි. මා සිතනා අන්දමට මේ අපේක්ෂාවනුත් විවියන් ගුණවර්ධන හොඳින් තීරණ ගැනීමට ඉඩ තිබුණි. ඇගේ ජීවිතය තුළත් පෞද්ගලිකව හා දේශපාලනිකව ඇය සටන් කළේ මේවාටම නොවේද?

අප ඉදිරියට ආ මෙම කාන්තාවන් කියූ දේ තුළින් එක් දෙයක් පැහැදිලි විය. එනම් අවුරුදු 60 කට අධික ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් තිබුණ ද අපගේ මූලික ප‍්‍රශ්න කිසිවක් විසඳී නොමැති බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අප භාවිතා කර ඇත්තේ රජයක් පිහිටුවීමට හා වෙනස් කිරීමට පමණි. එම කාර්යය ඉටුවූවායින් පසුව අපේ අවධානය යොමු වී ඇත්තේ පවත්නා තත්ත්වය විශේෂයෙන්ම පාලක පන්තියේ තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යාමටය. අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්තටම උනන්දුවනවා නම් මේ භාවිතය වෙනස් විය යුතුය. සාමාන්‍ය ජනතාව රටේ පුරවැසියන් වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන අපට අවශ්‍යතාවය ඇත. මා මෙසේ කියන්නේ ඇයි?

අප රටේ තීරණ ගන්නා ආකාරය ගැන මොහොතක් සිතමු. ඔව්, අද අපිට අවුරුදු 2ට කලින් තිබුණට වඩා නිදහස ඇත. මා කළින් කියූ පරිදි අලූත් ව්‍යවස්ථාවකට සහ සංහිඳියාව යාන්ත‍්‍රණය පිළිබඳ අදහස් ගන්නා කි‍්‍රයාවලිය ස්ථාපිත වී ඇත. නමුත් අදහස් ලබා ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. එම අදහස් ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලියට සහ සංහිදියා යාන්ත‍්‍රණයට සම්බන්ධ වන්නේ කෙසේද? මොහොතක් කල්පනා කරන්න. අද ව්‍යවස්ථාව ආරම්භ කරන විට වැඩිපුර අවධානය ලැබෙන්නේ කවර මාතෘකා සඳහා ද? බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවාද? ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට අවස්ථාව විවර වෙයිද? ජාතික කොඩියේ ස්වරූපය වෙනස් වෙයිද? මෙම මාතෘකා ගැන ජනතාව තුළ විවිධ අදහස් මතු වූ නමුත් රජය වගකිව යුතු තනතුරු දරන අය දැනටමත් ප‍්‍රකාශ කර සිටින අන්දමට මෙම කරුණු වෙනස් නොවනු ඇත. ඒවා වෙනස්වීමට අවශ්‍යද නැද්ද යන කාරණයට වඩා වැදගත් වී ඇත්තේ අවධානම් රහිත දේශපාලන තීරණ ගැනීමයි. අපේ කමිටු වාර්තාව කියවා බැලූවහොත් මිනිස්සුන්ගේ ප‍්‍රධාන අවශ්‍යතාවයක් වුණේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සියලූ පුරවැසියන්ට ජාතිය, ආගම, ස්තී‍්‍ර පුරුෂභාවය, ලිංගිකත්වය, පන්තිය යනාදිය කුමක් වුනත් සෑම පුරවැසියෙකුටම සමානව භුක්ති විදිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තහවුරු වන නව ව්‍යවස්ථාවක්. එනම් මිනිසුන්ගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සඵල කළ හැකි ව්‍යවස්ථාවක උවමනාව පැහැදිලිව දකින්නට හැක.

එය සිදුවීමට නම් අපේ පාලක පන්තිය පුරවැසියන්ගේ අදහස්වලට අවංකව ප‍්‍රතිචාර දැක්විය යුතුය. නමුත් එය සිදු වී ඇත්ද? සහ අනාගතයේදී එය සිදුවීමට නියමිත ද යන්න ගැන බලවත් සැකයක් ඇත. අප ඉතිහාසයේ අද්දැකීම් අපට පවසා සිටිනුයේ මෙය සාධාරණ සැකයක් බවයි. අවුරුදු 60කට අධික කාලයක් තුළ සිදු වී ඇත්තේ පාලක පන්තිය බලවත්වීම මිසක පුරවැසියන් බලවත්වීම නොවේ. ආණ්ඩු වෙනස් වුණාට වරප‍්‍රසාද හා බලය ආරක්ෂා කරන දේශපාලන සංස්කෘතිය වෙනස් වී නොමැත. නව ව්‍යවස්ථාවේ සමාජ, ආර්ථික හා සංස්කෘතික සමානාත්මතාවය සහ සාධාරණත්වය ගැන ඇති වී තියෙන සංවාදය වෙත අපේ අවධානය යොමු කරමු. අප ඉදිරියට ආ ජනතාවගේ විශේෂයෙන් කාන්තාවන්ගෙන් ආර්ථික, සමාජීය හා සංස්කෘතික සාධාරණය නව ව්‍යවස්ථාව තුළින් බලාපොරොත්තු විය. එපමණක් නොව ලඟදී විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති කාන්තාවන් බහුල වශයෙන් සහභාගී වූ මහජන රැුස්වීමක දී ආර්ථික සාධාරණත්වය, සම්පත් සාධාරණත්ව බෙදී යාම, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය වැනි සේවාවන්, පොදු සම්පත් වශයෙන් ආරක්ෂා වීම, මෙම සේවාවන් වෙළඳපොළින් ඉවත් කිරීමට රජයට ඇති වගකීම යනාදී කරුණු රාශියක් නව ව්‍යවස්ථාව තුළින් ප‍්‍රකාශයට පත්විය යුතු බව කියා සිටියාය. රැුස්වීමෙන් පසු අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් ගොස් සංදේශයක් අගමැති කාර්යාලයට භාරදෙන ලදී. මෙම පිරිසෙන් බොහෝ දෙනෙක් ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව වෙතටත් යෝජනා ඉදිරිපත් කළ අය විය.

නමුත් දැන් ලැබෙන ආරංචි අනුව මෙම ප‍්‍රවේශ ගැන ඉල්ලීම් 02 ක් දැක ගන්නට ඇත. පළමුව මෙම කාරණා කිසිවක් ව්‍යවස්ථාවට එකතු නොකළ යුතුය යැයි තර්ක කරන කණ්ඩායම. අනෙක ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් විය යුතු බව කියන කණ්ඩායම.

නමුත් ජනතාව ඉල්ලා සිටියේ මේවා මූලික අයිතිවාසිකම් හැටියට පමණක් නොව සමස්ථ ව්‍යවස්ථාව තුළින්ම සාමාජීය, සංස්කෘතික, ආර්ථික, සිවිල් හා දේශපාලන සමානාත්මතාවය සහ සාධාරණත්වය ප‍්‍රකාශ විය යුතු බවයි. දුප්පත්කමින් පීඩිත පන්තිවලට විසදුම් දිය හැකි සම්පත් සමානව සියලූ ජන කොටස් අතර බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වගකීම රජයට ව්‍යවස්ථාපිතව බල කළ යුතු බවයි. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? ව්‍යවස්ථා සම්පාදනය හරහා පාලක පන්තියත් රජයේ ප‍්‍රතිපත්ති සම්පාදන කි‍්‍රයාවලියත් පාලනයකට යටත් කිරීමට ජනතාව අපේක්ෂා කරන බවයි. මෙම අවශ්‍යතාවය මතු වී ඇත්තේ නොගැලපෙන සහ අසාධාරණ රාජ්‍ය ප‍්‍රතිපත්ති හේතුවෙන් ජනතාව හෙම්බත් නොවී සිටීම නොවේද? සෑම රජයක්ම පාහේ ඔවුන්ගේ සංවර්ධන සහ ආර්ථික ප‍්‍රතිපත්ති තුළින් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම්දීමට අපොහොසත් වී ඇති බව නොවේද?

නමුත් අප පාලක පන්තියට මෙය නොඇසුණා සේය ඇසුනත් එය අදාල නැති සේ හැසිරේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ බලයට තර්ජනයක් නොවන පරිදි කි‍්‍රායාත්මක කළ හැකි ප‍්‍රතිසංස්කරණ පමණි. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ වරප‍්‍රසාද කිසිසේත් තර්ජනය නොවන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය හා සංහිදියාව නාමිකව කි‍්‍රයාත්මක කිරීමය. මෙහිදී බලාපොරොත් කඩවන කාරණය නම් ජාතිවාදී පාලක පන්තිය මෙම ස්ථාවරයට එළඹීම නොවේ. වඩා ප‍්‍රගතිශීලී රැුඩිකල් හා ලිබරල් නායකත්වයත් අඩු වැඩි වශයෙන් මෙම ස්ථානයටම පැමිණීමය. මෙම කණ්ඩායම් දෙකම තමන්ගේ තත්ත්වයටත් බලයටත් අභියෝගයක් එල්ලවීම නොඉවසයි.

මා දකිනා ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට අප මුහුණ දෙන ප‍්‍රධානම අභියෝගය මෙයයි. එනම් පාලක පන්තිය පුරවැසි අයිතිවාසිකම් ඉටු කිරීමට වඩා තම පැවැත්ම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමයි. මෙය කොතරම් භයානක තැනකට පැමිණ ඇද්ද කිවහොත් අප දැන් ආණ්ඩු මාරු කිරීම හරහා පාලක පන්තියේ ලොකු වෙනසත් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇත.

පසුගිය රජයේ පාලන කාලය තුළ අප මෙහි ඉතාමත් භයානක අධියරකට ඇද වැටුණි. එනම් පාලක ව්‍යාපාරික පන්තිය සහ මිලිටරිය අතර ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නැගීමය. මේ ති‍්‍රත්වය එකමුතු වීම පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතාමත් භයානක දෙයකි. අප පසුගිය කාලයේදී දුටු දෙය නම් ව්‍යාපාරිකයන්ට සහ දේශපාලඥයින් අතර වෙනසක් නැති තරමට ගොඩ නැගුණු සම්මුඛ සම්බන්ධතාය. ව්‍යාපාරිකයන්ට වාසිවන පරිදි නීති සහ ප‍්‍රතිපත්ති සම්පාදනය කරන විට මිලිටරිය මගින් ඒවා කි‍්‍රයාත්මක විය. නාගරීකරණය සහ සංවර්ධනය යන නමට මුවා වී මේවා සිද්ධ විය. නමුත් සාමාන්‍ය පුද්ගලයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සම්පූර්ණයෙන්ම යටපත් විය.

මා දකින විදියට මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී දේශපාලන සංස්කෘතියට බලවත්ම තර්ජනයක් එල්ල කළ හැක්කේ කාන්තාවන්ටය. ඇයි ද කිවහොත් අපට කාන්තාවන් වීම නිසාම අසාධාරණය සහ අසමානතාවය හොඳින් දැනෙනවා, හොඳනි පේනවා, අපේ අද්දැකීම් බොහෝ දුරට තීරණය වන්නේ පවුල තුළ සහ සමාජය තුළ බලපවත්නා පුරුෂාධිපත්‍ය තුළිනි. පුරුෂාධිපත්‍ය ජාති ආගම් භේදයකින් තොරව කාන්තාවන්ට එරෙහිව කි‍්‍රයාත්මක වෙති. මේ සඳහා උදාහරණ දෙකක් මා ඉදිරිපත් කරමි.

ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අයින් කිරන මෙන් කාන්තාවන්ගෙන් හඩක් නැගී ඇත. නමුත් මෙයට විරුද්ධව ගොඩනැගී ඇති ව්‍යාපාරය, ආගම්, ජාති භේදයකින් තොරව ඉදිරිපත් වී ඇත. 16 වන වගන්තියෙන් අසාධාරණයක් සිදු වන්නේ ප‍්‍රධාන වශයෙන් කාටද? කාන්තාවන්ටය. මාගේ දෙවන උදාහරණය, පාසැල්වලට පැමිණෙන කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව මහත් සමාජ කථිකාවක් මේ දිනවල සිදු වී ඇත. එක් පැත්තකින් බොදු බල සේනා වැනි සංවිධාන මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ගැලවීමට යෝජනා කරන අතර අනෙක් පැත්තෙන් කාන්තාවන්ට සුදුසු ඇඳුම් තීරණය කිරීමට විදුහල්පතිවරුන් ඉදිරිපත් වී ඇත. කාන්තාවන් පාලනය කිරීමට භේදයකින් තොරව පීතෘ මූලික සමාජය කටයුතු කරයි. මේ නිසා අසාධාරණය සහ අසමානතාවය අපට හොඳින් තේරුම්ගත හැකිය.

මේ නිසා කාන්තාවන්ට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සමානාත්මතාවය ලබා ගැනීම සඳහා අරගලය කරන්න සිදු වී ඇත්තේ එම අයිතිවාසිකම් සහ සමානාත්මතාවය කාන්තාවන්ට ලැබීම නිසා තර්ජනයට පත් වන අයගේ පොදු සංධානයක් සමගයි. එසේම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සාධාරණත්වයත් සමානාත්මතාවයත් මෙම නව ව්‍යවස්ථාව තුළින් ලබා ගැනීමට නම් අපට අරගල කිරීමට සිදු වන්නේ දැනට පවත්නා දේශපාලන, ආර්ථික, සාමාජීය, සංස්කෘතිකමය ආකෘති තුළින් වාසි සහ බලය ගත් අය සමගයි. මේ අතර අපේ මිතුරන් ද විය හැකිය. එනමුත් කළ කිසිවක් නොමැත.

අප මේ බලාපොරොත්තු වන සැබෑ වෙනස අරගලයකින් මිස සාකච්ඡා මගින් ලබා ගත නොහැක. උපයෝගීතා දේශපාලනය හරහා කර ගත නොහැක. එම වෙනස ලබා ගැනීමටනම් අපට වයලට් විවියන් ගුණවර්ධනගේ චරිත ලක්ෂණ ඒ සටන්කාමී හැඟීම් අත්‍යවශ්‍ය වනු ඇත. විවියන් ගුණවර්ධන චරිත කථාව ලියූ ආචාර්ය පුල්සරා ලියනගේ මට පවසා සිටි දෙයක් මතකයට නැගේ. එනම් විවි කියන්නේ මේ රටට ආදරය කළ කෙනෙක්. මේ රටේ සාමාන්‍ය ජනතාවට ආදරය කළ කෙනෙක්. මේ ආදරය අව්‍යාජ ආදරයක්. අපට ඒ වගේ මිනිසුන් අද දේශපාලනයේ නැති එකයි, අපේ අවාසනාව. ස්තූතියි,

හරිනි අමරසූරිය
උපුටා ගැනීම  කළම්බො ටෙලිග‍්‍රාෆ්

-  මෙලනි




2016-10-01
Advertisement

Find us on Facebook