English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපේ රට, මහා මුහුද අපේ දරුවන්ටද? නැතහොත් චීනෙටද?
"සහෝදර, සහෝදරිය, ධීවර වෘත්තියත්, අපගේ ගමත්, දරුවන්ගේ ජීවිතත්, රටත්, ආරක්ෂා කර ගැනීම අපගේ ප‍්‍රධාන වගකිම බව අප සිතමු. එබැවින් ආණ්ඩුවට බලකර, අපගේ රටත්, සුන්දර පරිසරයත්, ජන ජීවිතයත්, වනසන මෙම විනාශකාරී ව්‍යාපෘතිය නවත්වා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමු." යැයි පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය  නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

හෙට, එනම් 2016 ඔක් - 01 දින පෙ.ව 10.00 - 12.00 දක්වා කම්මල්තොට සිට හැදල දක්වා මුහුදු තීරයේ ප‍්‍රදේශ කිහිපයකදීම පොර්ට් සිටි සංවර්ධන සැලැස්මට විරැද්ධව, විරෝධතාවයන් පවත්වන අතර එම විරෝධතාවන්ට සහභාගි වෙමින් මහ මුහුදේ හදන පොර්ට් සිටියක් අපට එපා යැයි රජයට බලකර සිටිමු යැයි එම ව්‍යාපාරය ඉල්ලා සිටියි.


පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය


චීන ආන්ඩුවේ අවශ්‍යතාවය මත පසුගිය රජය මගින් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මුහුද ගොඩකර අක්කර 575ක භූමියක් සකැසීමට අපේක්ෂිතව තිබුනද, එම අවස්ථාවේ විපක්ෂ නායකව සිටි, රනිල් වික‍්‍රසිංහ මහතා ප‍්‍රකාශ කළේ,  බස්නාහිර පලාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත් උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය විනාශ කරමින්, මුහුදු වෙරල නැති කරන මෙම ව්‍යාපෘතිය නීතිි විරෝධී මෙන්ම ඉතා හානිකර බැවින්,  තමන් බලයට පැමිණි වහාම එය නවතා දමන බවයි.

එහෙත්, එදා එසේ කියූ අගමැතිවරයා ප‍්‍රමුක ඒකාබද්ධ ආන්ඩුව මේ වන විට මෙම ව්‍යාපෘතිය මගින්  ධීවර වෘත්තියට හානියක් සිදු නොවන බවත් වැලි ගන්නේ මුහුදු වෙරලේ සිට කිලෝමීටර් 30ක් දුර ඈත මුහුදෙන් බවත් පට්ටපල් බොරු කියමින් නැව්වලින් වැලි ගන්නකොට පොඩි බාධාවක් වන බවත් මෙමගින් හානි වන ධීවර ජනතාවට රු. මිලියන 500ක වන්දි හා ස්වයං රැකියා ලබා දෙන බව පවසමින්, වරාය නගරය කලින් තිබූ සීමාව තවත් අක්කර 200කින් පමණ වැඩි කර ඉඳිකිරිම් නැවත ආරම්භ කිරිමට උත්සාහ කරමින් ප‍්‍රදේශයේ ධීවර කාර්යාල මගින් වරින් වර ධීවරයන් හට වන්දි ලබාදෙන බව හඟවන ආකාරයෙන් වැඩ සටහන් දියත් කරමින් ධීවර ජනතාවත් රටේ පොදු ජනතාවත් නොමග යවමින් සිටී.

මෙමගින්, ඉතා පැහැදිලි වන්නේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම ධීවර කර්මාන්තයටත්, රටටත්, විනාශයක් වන බැවින්, මේ සඳහා එල්ල වන විරෝධය අවම කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහයයි.

යම් හෙයකින් ආණ්ඩුවේ රැුවටිලි වලට හසුවී, ජනතාව නිහඬව බලා සිටියහොත්, මෙයින් සිදුවන්නේ ලංකාවේ සිදුවන විශාලතම පරිසර  හානිය වන අතර, වසර තුනක් මුහුදේ වැලි කැනීම් සිදු කරනු ඇත.

එ් කියන්නේ ආන්ඩුවම කියන පරිදි වසර තුනක් ධීවර කර්මාන්තයට බාධා ඇතිවන බවයි.

ඇත්තටම වැලි ගන්නේ වෙරලේ සිට කිලෝමීටර් 2ක් දුරිනි ඒ කියන්නේ විනාශ කිරීමට නියමිතව ඇත්තේ, අප වැඩියෙන්ම රැකියාව කරන ප‍්‍රදේශය හා මසුන් බෝවන ස්ථානයන්ය.

රනිල් වික්ක‍්‍රමසිංහ කියූ පරිදි හික්කඩුවේ සිට කල්පිටිය දක්වා ධීවරයන් සංඛ්‍යාව අසූ දහසකට අධිකය. පානදුර සිට මීගමුව දක්වා ධීවරයන් සංඛ්‍යාව පනස්දාහකට අධිකය.

මෙම ව්‍යාපෘතියෙන් හානි වන ධීවරයන් සංඛ්‍යාවට ආණ්ඩුව කියන වන්දිය නොහොත්, මහ මුහුද විනාශ කරමින්, අපගේ නිදහසේ රැකියාව කරගන යාමට මෙතෙක් තිබූ නිදහස, අපගේ කැමැත්තෙන්ම නැති කර දැමීමට, චීනයෙන් ඉල්ලා දෙන පගාව, වැලිගන්නා වසර තුනට, පානදුර සිට මීගමුව දක්වා ධීවර ජනතාවට බෙදුවහොත්, පවුලේ හතරදෙනෙක් සිටියහොත්, එක් අයෙකු හට දිනකට ලැබෙන වීන පගාව රු.3කටත් අඩු මුදලකි. පවුලක් සඳහා දිනකට රු. 12කට අඩු මුදලකි.

එපමණක් නොව කලූගල් කියුබ් ලක්ෂ ගනනාවක් සඳහා විශාල ප‍්‍රමානයේ ඩයිනමයිට් පුපුරවමින්   මුහුදේ කිලෝමීටර් ගනනාවක කොරල්පර හා ගල් පර විනාශකරමින් වැලි ඝන මීටර් මිලියන 100ක් පමන විශාල වලක් හාරා, ධීවර කර්මාන්තය, විනාශකරමින්, රටම වනසන මෙම ව්‍යාපෘතිය යම් හෙයකින් ආණ්ඩුව කි‍්‍රයාත්මක කලහොත්, මීගමුව කලපුව හා මුහුද එකතුවීම නොවැලැක් විය හැකි කරුණකි. එවන් අවස්ථාවකදී විශාල ජීවිත හානියක් සිදුවීමද නොවැලැක්විය හැකි කරුණකි.

එමෙන්ම අප හට අපේම වෙරලෙන් වැලි බේසමක් ගතහොත් පොලීසි උසාවි යන්නට සිදුවන, තමුන්ගේම ඉඩමේ ධීවරයෙකුගේ පැලකට අතු බැදගන්නවත්, අවසර නැති නීතියක් ඇති රටේ මුහුදෙන් වසර තුනක් නැව්වලින් වැලි ගැනීමටත්, මහ මුහුද ගොඩ කර අතු පැලක් නොව නගරයක් සෑදීමටත් චීනයට අවසර දෙන්නේ කෙසේද? නීතියේ සාධාරණත්වයක් තිබේද?

මේ වන විටත් හම්බන්තොට ප‍්‍රදේශයේ කොටසක් ද, කොළඹ වරායේ කොටසක්ද චීනයට ලබාදී ඇති ආණ්ඩුව අනාගතයේදී වරාය නගරය වෙනුවෙන් අක්කර 700ක් හා හම්බන්තොටින් තවත් අක්කර පහලොස්දාහක් චීනයට ලබාදීමට කටයුතු කරන්නේ, තමුන්ගේම රටේ බිම් අඟලක්වත් අයිති නැති අපගේම සහෝදර පුරවැසියන් ලක්ෂ ගනනාවක් සිටියදීයි.

මෙවන් ලෙස රට තුල චීන කොලනි හැදුනොත් අපේ රට තුල ඇති වන්නේ මොන වගේ තත්වයක්ද? එය මොන තරම් භයානකද?  

මෙම ඉඩම් වීනයට දෙන්නේ අනූනම අවුරුදු බදු ක‍්‍රමයට බව ආන්ඩුව කියමින් සාධාරණීය කරණය කරයි. එසේ කියන අයට අවුරුදු අනූනමයක් ජීවත් විය හැකිද? මෙහි වගකීම බාරගන්නේ කවුද? සිදුවන්නේ අනාගතයේදී අපගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් හට රට වෙනුවෙන් වීනය සමග තවත් යුද්ධයක් කිරීමටයි.  

මෙවන් ලෙස දේශපාලකයන්ට හිතු මතේ රට විකිනීමට ඉඩදී බලා සිටියහොත් කවදා හෝ අනාගතයේදී අපේ රටත්, මහ මුහුදත්, චීනය විසින් අයිතිකර ගැනීමත්, අපටත් අපේ දරුවන්ටත් චීන නැව්වල කම්කරුවන් ලෙස කටයුතු කිරීමටත් චීන නැව්වලින් අල්ලන අපේම මාලූ අපේ රටේ ජනතාවට චීනුන්ගෙන් මිලදී ගැනීමටත් සිදුවනු ඇත.    



එබැවින්, සහෝදර, සහෝදරිය, ධීවර වෘත්තියත්, අපගේ ගමත්, දරුවන්ගේ ජීවිතත්, රටත්, ආරක්ෂා කර ගැනීම අපගේ ප‍්‍රධාන වගකිම බව අප සිතමු. එබැවින් ආණ්ඩුවට බලකර, අපගේ රටත්, සුන්දර පරිසරයත්, ජන ජීවිතයත්, වනසන මෙම විනාශකාරී ව්‍යාපෘතිය නවත්වත්වා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමු.

එන්න 2016 ඔක් - 01 දින පෙ.ව 10.00 - 12.00 දක්වා කම්මල්තොට සිට හැදල දක්වා පවත්වනු ලබන විරෝධතාවයට ඔබේ ප‍්‍රදේශයේ දී එක්වන්න.


වැඩි විස්තර සඳහා අමතන්න  - සරත් ඉද්දමල්ගොඩ පියතුමා -  071 431 5124    ෂෙරාඞ් ජයවර්ධන පියතුමා  - 071 425 9133    /  අරුණ රොෂාන්ත  -  077 789 5109   / හර්මන් කුමාර – 077 318 4532
 

පෝට්සිටි විරෝධි ජාතික ව්‍යාපාරය,   අංක- 64, හලාවත පාර , මීගමුව.


ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා
 



2016-09-30
Advertisement

Find us on Facebook