English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


හමුදාව සාවද්‍ය තොරතුරු දුන් බවට විත්තියෙන් චෝදනා !

යුද හමුදාව විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන සාවද්‍ය බවට එල්ල වූ විරෝධයක් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසිය වෙත බාර කරන මෙන් මුලතිවි දිසා විනිසුරු නියෝග කරයි.

දිසා විනිසුරුවරයා එසේ නියෝග කළේ මුලතිව් අධිකරණයේ ගොනු කොට තිබූ හබයාස්කෝපුස් නඩු දහතුනක් එකවර විභාගයට ගත් අවස්ථාවේදීයි.

යුද සමයේ අවසන් දින කීපයේදී ජීවිත බේරා දෙන ලෙස ඉල්ලමින් ඥාතීන් විසින් යුද හමුදාවට බාර දුන් එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් ඇතුළුව දෙමළ වැසියන් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙම හබයාස්කෝපස් නඩු පවරා තිබේ.

කතෝලික පියතුමන්ලා

පැමිණිලිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.ඒ.රත්නවේල්, වව්නියාවේ වාර්තාකරු දිනසේන රතුගමගේට කියා සිටියේ එම පිරිස හමුදාවට බාරදෙන ලද අවස්ථාවේ සාක්කි වශයෙන් කතෝලික පියතුමන්ලා දෙදෙනෙකුද සිටි බවට පැමිණිලි කරුවන් සාක්කි ඉදිරිපත් කරන බවයි.

නමුත් මේ වන විට එම කතෝලික පියතුමන්ලාද අතුරුදහන් වී ඇති බව කී නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ නඩුවක් ගොණු කොට ඇතැයිද පැවසීය.

මේ සම්බන්ධයෙන් වූ පසුගිය නඩු වාරයේ දී යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු අධිකරණයට කරුණු දක්වමින් යුද හමුදා භාරයට ගත් පිරිසකගේ නාමලේඛනයක් හමුදාව සතුව ඇති බව පැවසුවද ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ රජය මගින් පුනරුත්ථාපනය කොට නිදහස් කළ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ගේ නාමලේඛනයක් යැයි රත්නවේල් නීතිඥවරයා සදහන් කළේය.

මෙය හිතාමතාම කළ බරපතළ වැරැද්දක් බවට තමන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රහස් පොලීසියට නියෝග කළ බව ද නීතිඥවරයා පැවසීය.

ලබන නොවැම්බර් මස විසි දෙවනි දිනට මෙම නඩුව කල් තැබූ මුලතිව් දිසා විනිසුරුවරයා එදිනට රහස් පොලිස් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කොට තිබේ.


උපුටා ගැනීම -  බීබීසි සංදේශය


-  මෙලනි




2016-09-30
Advertisement

Find us on Facebook